වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




රන්හිරු රැස් දුෂ්කර චාරිකාවක්

රන්හිරු රැස් දුෂ්කර චාරිකාවක්

සුමිත් රෝහණ තිත්තවැල්ගල

මං එදා කලා ලෝකයට ආවේ සරසවියේ දැන්වීම නිසා

ඉරිදා රාත්‍රී 9 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන 'රන් හිරු රැස්' සුප්‍රකට රුසියානු ලේඛක දොස්නොව්ස්කිගේ අපරාධය සහ දඬුවම ඇසුරෙන් තැනූ වෙනස්ම ටෙලියක් විදියටත් දැන් කතාබහටත් ලක්වෙනවා. පුංචි තිරයට ආගන්තුකයෙක් නොවන සුමිත් රෝහණ තිත්තවැල්ගල එහි අධ්‍යක්ෂවරයායි. ඔහුගේම ටෙලි නාට්‍ය 6 ක් හැරෙන්නට සංසාරේ පිය සටහන් ආදී මාලා නාටක ගණනාවකටම නිර්මාණ ඉදිරිපත් කළ සුමිත් 'මුල්' ආදී රූපවාහිනී වාර්තා වැඩසටහන් රැසකම නිෂ්පාදකවරයා වශයෙන් ද මින් පෙර ප්‍රේක්ෂකයා හමු විය. මේ වසර තුළදී ඡ්ඒර්‍ථ මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත කිරීමට නියමිත 'පුංචි අන්දරේ' සුමිත්ගේ දෙවැනි චිත්‍රපටයයි. ඊට කලින් 'ස්තුතියි නැවත එන්න' චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය.

කලා ජීවිතයේ 23 වැනි වසර ගෙවන මේ මෙහොතේ සුමිත් සරසවිය සමඟ මතක කඳු පිරන්නටයි මේ සූදානම.

* ඉතින් කොහොමද සුමිත්ට රන් හිරු රැස් මුණ ගැසෙන්නේ?

දොස්තොව්ස්කිගේ 'අපරාධය හා දඬුවම' ලෝකයේ භාෂා 129 කට පරිවර්තනය කෙරුණු කෘතියක්. ඒ ඇසුරින්මයි මහාචාර්ය නිමල් සේනානායක 'රන් හිරු රැස්' තිරකතාව රචනා කළේ. මං ස්තූතියි නැවත එන්න චිත්‍රපටය කරලා කාලයක් විවේක පාඩුවේ සිටිද්දියි මට රන් හිරු රැස් පිටපත කියවන්න ලැබෙන්නේ. එක හුස්මට එය කියවා හමාර කළ මා විඳි චමත්කාරය පුංචි තිරයට මැවීම නම් මා ඇතුළු පිරිසක්ම කටුක සහ දුෂ්කරතා ගොන්නක් අතරින් යෙදුණු චරිකාවක්.

* ඒ දර්ශන තල පිළිබඳත් ප්‍රේක්ෂකයාගේ නොමඳ අවධානයක් යොමුව ඇති හැඩයි?

ගාලු කොටු පවුර ආශ්‍රිතවයි හුඟක් දුරට රූගත කෙරුණේ. කොටු පවුර මතයි සෙන්ට් පීටර්ස්බර්ග් නගරය ඉදි කෙරුණේත්.

* ඒත් රන් හිරු රැස් ඇමරිකාවේදී චිත්‍රපටයක් විදියට නේද ලෝකයා මුලින්ම දැක්කේ?

ඔව්. ඇමෙරිකාවේ පැවැත්වුණු හූස්ටන් ජාත්‍යන්තර සිනමා උලෙළට රන් හිරු රැස් චිත්‍රපටයක් විදියටයි ඉදිරිපත් කෙරුණේ. ඒ උලෙළේ ෆීචර් ෆිල් අංශයේ සිල්වර් - රෙමි සම්මානයත් හිමි වුණේ. ඉන් පස්සේ මොස්කව් ජාත්‍යන්තර සිනමා උලෙළටත් මේ නිර්මාණයට චිත්‍රපටයක් විදියට ආරාධනා ලැබුණා. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් මට ඒ රටේදී කලාව හදරන්නට ශිෂ්‍යත්වයක් දීමට පවා උත්සුක වුණේ රන් හිරු රැස් නිසාමයි. ඉන් පස්සේ ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ මඟ පෙන්වීමෙන් අපි 'රන් හිරු රැස්' දකුණු ආසියානු සිනමා උලෙළ නියෝජනයටත් යොමු කළා.

* කොහෙමද ඉන්දියාවේදි ලැබුණු ප්‍රතිචාර?

ඉතා ඉහළයි. ඒ රටේ ජනමාධ්‍ය හරහාත් මේ පිළිබඳ චිත්‍රපටයක් විදියට පුළුල් ප්‍රචාරයක් ලැබුණා. මේ තිර නාටකය ඉතා උසස් බව ඔවුන් නිතරම කියූ දෙයක්.

* එය එසේ තිබියදීත් ඔබ ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවලට නෙවෙයිනේ රන් හිරු රැස් ගෙන යන්නේ?

කොහොමටත් ටෙලි නාට්‍යයක් විදියට පුංචි තිරෙන් මේ නිර්මාණය ප්‍රේක්ෂකයාට ගෙන යන්නයි මං මුලඉඳන්ම සිතුවේ. අනෙක දැන් ඉස්සර වගේ ටෙලි නාට්‍යයක් විකාශය කර ගන්නට නෙවෙයි අපහසු වෙන්නේ. ඒ වගේ දෙතුන් ගුණයක් දුෂ්කර වෙලා තියෙන්නේ චිත්‍රපටයක් තිරගත කර ගැනීමයි. ඒත් ඉතින් ඒ ගැටලුව හැමෝටම නැති වගත් පෙනෙනවා. ඒත් සුළු පිරිසකට ඒ ගැටලුව බල නොපාන්නේ කොහොමද කියලා මට නම් සිතාගන්න අමාරුයි.

* ඔබේ නිර්මාණ ගොන්න එකට ගත්තාම වෙනස් විදියට සමාජය දිහා බලන ගතියක් තිබෙන බවට විචාරක මත පළ වී තිබෙනවා. ඔබට සිතෙන විදියට කොහොමද ඒක එහෙම වෙන්න ඇත්තේ?

පුංචි කාලේ මං ගමක හැදුණේ. ඒ කාලේ අත්තම්මායි මාව බලා කියා ගත්තේ. සිලි සිලි බෑගයේ පොත්පත් ඔබාගෙන රබර් සෙරෙප්පු කුට්ටමක් දාගෙන මං පාසල් ගිය හැටි මට තවම මතකයි. ඒ කාලේ අපේ ගම් පළාතේ තිබුණේත් ගෙවල් තුන හතරයි. ලඳු කැලෑ තමයි වැඩිපුර තිබුණේ. ඒ කාලේ ඉඳන්ම හුදෙකලාව ඒ පරිසරයට එබෙන්න තිබ්බ ආසාව මට තිබුණා.

අත්තම්මා එක්කලා දර හොයන් එන්න කැලෑ කොළ මැල්ලුම් කඩන්න යන මාව ඉස්කෝලේට ඇරලවන්නත් ආපිට එක්කරන් එන්නත් ගෑටු අත්තම්මා කවමදාකවත් ඉස්කෝලේ නොගිය කෙනෙත්. ඒත් ඉස්කෝලේ ඉගැන්විලිවලට වඩා මං ඒ කාලේ ජීවිතේ ඉගෙන ගත්තේ අත්තම්මා මට ඉගැන් වූ කවි කතන්දරවලින්. මගේ ජීවිතේට වැඩිපුරම දැනුණේ අත්තම්මාගෙන් ඉගෙන ගත්ත ඒ සාහිත්‍යය.

* ඔය ළමා කාලේනේ?

ඉන් පස්සේ අද වනතුරුත් මං පතල් කර්මාන්තය අත්හැර නැහැ. කිසිම කලාකරුවෙක් අන්තිම කාලේ කාටවත් අතපාන්නවත් අනුන්ගෙන් තමන් වෙනුවෙන් ආධාර උපකාරක්වත් ලැබිය යුතුයි කියන තත්ත්වයට පත් විය යුතු නැහැ. ඒ මතයේ සිටින මං කළ හුඟක් නිර්මාණවලින් ප්‍රේක්ෂකයා දුටුවේ සැබෑ ජීවිතයේදී මට අසන්නට දකින්නට සහ මුණ ගැසෙන්නට ලැබුණු ගැමිකම සහ ගැමියන්වමයි. ඒ ඇසුරින් මං ලබමින් සිටින අත්දැකීම් එමටයි. නගරයට ඇවිදින් ටෙලි නාට්‍ය, චිත්‍රපට කරලා ලබන මගේ සිත් රිදවීම්, විඩාව, කාන්සිය, තෙහෙට්ටුව මැකෙන්නේම නැවත ගම්බදට ගිහින් සියල්ල අමතක කරලා පතලට බැස්සාම. සුමිත් රෝහණ කියන අධ්‍යක්ෂවරයා නිසා ඔබෙන් ඉස්මතු නොවුණු භූමිකා ගණනාවක්ම වෙනවා?

ලේඛන කලාවටත් මං ප්‍රිය කරනවා. මං මුලින්ම නවකතාවක් ලිව්වේ මට අවුරුදු 20 තරම් කාලෙදී. ඊටත් කලින් ඉස්කෝලේ බාලංශ කාලෙදී මං ලියන ඒවා තවත් අය කියවා රස විඳිනවා කියලා දැනිච්ච අවස්ථාත් තියෙනවා. ඒ කාලේ අපේ ගමේ බාබර් සාප්පුුවෙ දොර ලෑලිවල කැලේ පැනලා එන අතරේ අඟුරු කෑල්ලකින් මං මොන මොනවා හරි ලියනවා. කාලයක් ඔහොම කර කර ඉඳලා දවසක් මං කොණ්ඩෙ කපන්න ගිය වෙලාවකදි බාබර් මේ කතාව ඇදගත්තා. එයා මේ ලෑලිවල ලියන කොල්ලා හොයන්ඩ ඕන බං කියලා ඒ ළඟපාත කෙනකුට කිව්වා. 'ඇයි ඒ මොකද?' කියලා එයා ඇහුවාම බාබර් කිව්වා 'නෑ මූ මරු මරු ලියවිලි ටිකක් ලියනවා බං' කියලා. ඒත් මං එවේලේ කට ඉස්සර කරගන්න ගියේ නෑ. හැබැයි සිතට මහ පුදුම සතුටක් නම් දැනුණා.

* තිරකතා රචනයට හපන්කම් පෙන්වන ඔබ ඒ කාලේ ඉඳන් ප්‍රිය කරන කවියෙන් පාඨකයා අතරට ගියේ නෑ නේද?

තවම නෑ. ඒත් 'සඳ සාරුව' කියලා නමකුත් යොදගෙන ඒ වගේ කවි පොතක අත් පිටපතක් ළඟ තියන් ඉන්නවා. සමහර ටෙලි නාට්‍යවලට ගීත පද රචනා කරගන්නත් මට පන්නරය දුන්නේ ඒ කවිකමම වෙන්නැති.

* සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට කලක් ගත කළ ඔබට රංගනයටත් පහසුවෙන්ම පිවිසෙන්න තිබුණානේ?

ආරාධනා නම් නොලැබුණා නෙවෙයි. මං ඒ කාලේ හුඟක් වෙලාවල එරංග සේනාරත්නගේ සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කළා. ඇත්තටම මං රංගනය හදාරන්නත් පෙලඹුණා. ගාමිණී හත්තොටුවේගම ළඟ රංගනය හදාරා හාමර කරද්දී එතුමා මට කිව්වා උඹට හොඳ නළුවෙක් වෙන්න පුළුවන් කියලා. ඒ කාලේම මං සේසිරි විජේසේකර සහ ආසිරි විජේසේකර ළඟ මුද්‍රා නාට්‍ය කලාව හැදෑරුවා. ඒ වගේම මං හැදෑරූ ගුවන් විදුලි හඬකැවීම් පාඨමාලාවත් නිර්මාණ ජීවිතයේදී මට බොහෝ වැදගත් වුණු දේවල්.

* ඔබ මුල් කාලේ වේදිකාවටත් එක් වූ බවක් අසන්නට ලැබෙනවා?

ඔව්. වතාවක් මං වේදිකා නාට්‍ය අත් පිටපත් තරගයකට නිර්මාණයක් යොමු කළා. ලෙස්ලි රාමනායක මහත්මයා ඒ පිටපත තෝරාගෙන මටම ඒ නාට්‍ය නිෂ්පාදයත් බාර කළා. ඒ හැරෙන්නට එතුමාගේම ගන්ධබ්බයෝ නාට්‍යයට මා ඇතුළු 80 දෙනෙක් විතර එක් වී සිටියා. ඒත් එතැනින් එහාට මේ වනතුරුත් මං වේදිකා නට්‍ය ප්‍රේක්ෂකයෙක් පමණයි. නමුත් මගෙන් කවදා හරි දවසක මගේම ජීවිත කතාව ලියැවෙනවා වගේම වේදිකා නාට්‍යයකුත් කෙරේවි.

* නමුත් ඔබ දැන් ඔබට ඈතින් කියා බොහෝ විට කියා තිබෙනවා. ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවලින් ඈත් වෙන්නද කල්පනාව?

ඔව්. මං 23 අවුරද්දකට විතර කලින් සරසවිය පත්තරේ දැක්ක දැන්වීමක් දැකලා ඒ ඔස්සේ පැමිණි සහාය අධ්‍යක්ෂවරයකු වුණු කෙනෙක්. මං අධ්‍යක්ෂණයට පිවිසෙද්දීත් මට වයස අවුරුදු 27 යි. චිත්‍රපට දෙකකුත් ටෙලි නාට්‍ය හයකුත් ඇතුළු මා කළ නිර්මාණ මට හොඳටෝම ප්‍රමාණවත්. කලාකරුවකුට තමන්ගේ ස්ප්‍රිට් එක සමාජයට දුන්නාය කියන හැඟීම ඇති වුණාට පස්සේ අනෙක් අයට ඒ ඉඩ පවරලා ඉවත්වීම සතුටක්.

* ඉතින් මොනවාද ඔබේ ඉදිරි අපේක්ෂාව?

ඇත්තටම මගේ ජීවිතේ එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. ඒත් හැම දවසකම මනුෂ්‍යයෙක් විදියට මනුෂ්‍යයන්ට යම්කිසි සේවාවක් මගේ අතින් වෙන්න ඕනෑය කියන මතයේ සිටිනවා. ඒ අතින් මට තිබෙන බලාපොරෙත්තුව දුෂ්කර පළාතක පිළිකා කල්තබා හඳුනා ගැනීමේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ඉදි කිරීමයි. මං ඒක කවදා හරි ඉටු කරනවා. මගේ ඒ ගමනට වෛද්‍ය රජිත සුවාරිස් ආදීන්ගෙන් ලැබෙන දිරිගැන්වීම් නිසා ඉක්මනින්ම එය ඉටුවේවි කියා සිතනවා.