|
සනත් නන්දසිරි සප්ත අරවින්දයකියාපා බණ්ඩාර සෙනෙවිරත්න
සංගීත් නිපුන් සනත් නන්දසිරි ගැන වැදගත් ග්‍රන්ථයක්
මා කුඩා කාලයේ පටන්මයි ඔහුගේ ගීතවලට බොහොම ප්‍රිය කළේ. 1964 වසරේ පටන් මේ දක්වා ඔහු කළ නිර්මාණ පිළිබඳ යම් මතකයක් මා සතුව පවතිනවා. ඒ ඔහුගේ රසිකයකු විදියටයි. මේ ගීතය ගැයුවේ කුමන කාලයකද? ඒ සඳහා හේතුවුණේ මොන වගේ කාරණයක්ද? මේ ගීත ගැයුවේ කුමන චිත්‍රපටයකටද? වැනි මතක මගේ සිතේ තැන්පත් වී තිබුණේ ඔහුගේ සහෘදයකු විදියටයි.
ගේයපද රචකයකු මෙන්ම මාධ්‍යවේදියකු ද වන යාපා බණ්ඩාර සෙනෙවිරත්න ලියන ලද ‘සිංහල සංගීතයේ සනත් නන්දසිරි සනාතන ගී මියැසි’ විමර්ශනාත්මක සහ සෞන්දර්යාත්මක ග්‍රන්ථය අද දින (12 වැනිදා) සවස 4.15ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී එළිදකියි. මේ ඒ කෘතිය පිළිබඳ යාපා බණ්ඩාර සමඟ කළ කතාබහකි. ප්‍රවීණ ගායන ශිල්පී මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා පිළිබඳ ලියැවුණු ‘සිංහල සංගීතයේ සනත් නන්දසිරි සනාතන ගී මියැසි’ කෘතිය එළිදැක්වීමේ උලෙළ සංවිධානය වී තිබෙන්නේ කෙසේද? මා විසින් ලියන ලද සිංහල සංගීතයේ සනත් නන්දසිරි සනාතන ගී මියැසි’ විමර්ශනාත්මක සහ සෞන්දර්යාත්මක ග්‍රන්ථය එළිදැක්වීමත් සමඟ එදිනට මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, මහාචාර්ය කෝලිත භානු දිසානායක හා ආචාර්ය නුවන් නයනජිත් යන විද්වතුන්ගේ දෙසුම් කිහිපයක් පැවැත්වීමට නියමිතයි. ඊට අමතරව මහාචාර්ය සනත් නන්දසිරිගේ සිසු පිරිසක් එදිනට ඔහු ගැයූ යුගයෙන් යුගයට තෝරාගත් ගීත කිහිපයක් ඇතුළත් ගීත මාලාවක් හා තබ්ලා වාදන කිහිපයක් ඉදිරිපත් කිරීමටත් නියමිතයි. එදිනට වැඩසටහන ඉදිරිපත් කිරීම සිදු කරන්නේ නිරංජලා සරෝජනී විසින්. ඒ වගේ ම සඳහන් කළ යුත්තේ මේ කෘතිය එළිදැක්වෙන්නේ සුරස පොතක් ලෙසින් බවයි. මෙවැනි විමර්ශනාත්මක සහ සෞන්දර්යාත්මක ග්‍රන්ථයක් රචනා කිරීමට කොපමණ කාලයක් ගතවුණාද? මේ කෘතිය රචනා කිරීමට මට සිව් වසරක කාලයක් ගතවුණා. මගේ අනෙක් කටයුතු කෙරෙන අතරතුරේදියි ‘සිංහල සංගීතයේ සනත් නන්දසිරි සනාතන ගී මියැසි’ විමර්ශනාත්මක සහ සෞන්දර්යාත්මක ග්‍රන්ථය මා ලියන්නේ. ඒ නිසා තරමක කාලයක් මේ කෘතිය ලිවීමට ගතවුණා. විමර්ශනාත්මක සහ සෞන්දර්යාත්මක ග්‍රන්ථයක් ලෙසින් එළිදැක්වීමට ඔබ තෝරා ගන්නේ මහාචාර්ය සනත් නන්දසිරියි. මීට ඔහුව ම තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවාද? අපේ රටේ බිහිවුණු සංගීතඥයන් දෙස විමසිල්ලෙන් බලද්දි තමන්ම තනු නිර්මාණය කර, තමන්ම ගයා උපරිම තලයකට පත්වුණු ගායක - ගායිකාවන් හත්දෙනෙක් ඉන්නවා. ඒ හත්දෙනා මා හඳුන්වන්නේ සප්ත අරවින්ද යනුවෙන්. ඔවුන් සියලුදෙනා ම හරියට නෙළුම් මල් හතක් වගෙයි. ඒ සප්ත අරවින්ද නම් ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව, සනත් නන්දසිරි, වික්ටර් රත්නායක හා නන්දා මාලිනී යන ශිල්පීන් හා ශීල්පිනියයි. ඔවුන් සංගීතවේදියෝ වගේම ගායක - ගායිකාවන්. මීට අමතරව සංගීතවේදියන් රැසක් අපට සිටියා. කේමදාස මාස්ටර්, සරත් දසනායක, මකුලොළුව ඇතුළු ඔවුන් ඊට අයත් වුණා. ඒත් ඒ අතරින් තමන්ගේ ම තනු නිර්මාණය කරගෙන, ගයමින් ඉහළම තලයට පැමිණියේ මේ ශිල්පීන් හා ශිල්පිනිය ඇතුළු හත්දෙනායි. ඔවුන් ලබාදුන්න පිබිදීම, ආනන්දයයි අපේ රටේ මේ තාක් දුරට මේ ආකාරයෙන් සංගීතය පැවැතී ගෙන පැමිණීමේ සාධයකයක් වුණේ. ඒ මා දුටු ආකාරයයි. ඒ දැකීමෙන් පසුවයි මා මහාචාර්ය සනත් නන්දසිරි නම් ගාන්ධර්වයා පිළිබඳ විමර්ශනාත්මක සහ සෞන්දර්යාත්මක ග්‍රන්ථයක් කිරීමට සිතන්නේ. කෘතියක් ලිවීමට සිව් වසරක් ගතවීම යනු දීර්ඝ කාලයක්? විමර්ශනාත්මක සහ සෞන්දර්යාත්මක ග්‍රන්ථයක් ලියන්නට දිගු කාලයක් ගතවෙනවා. විමර්ශනාත්මක ග්‍රන්ථයක් ලිවීමේදී මා සොයා ගන්න කරුණු පිළිබඳ සියයට අනූනවයක්ම නිවැරැදි කර ගත යුතුයි. ඒ නිසා එවැනි වසර හතරක කාලයක් ගතවුණා. මොකද මෙවැනි කෘතියක් ලිවීම නවකතාවක් ලියනවා වගේ නොවෙයි. සොයාගත් කරුණු පර්යේෂණාත්මකව විමර්ශනය කරමින් ඉදිරියට යා යුතුයි. ඒ ලියන අතරෙත් තවත් බොහෝ දේ සෙවිය යුතුයි. ගුවන්විදුලි ආයතනය හා පුවත්පත්වල දක්වන අදහස්වලින් බොහෝ දේ ගනිමින් ඒවා විමර්ශනයට ලක්කරමිනුයි මේ කෘතිය රචනා වන්නේ. ඒ සඳහා දිගු කාලයක් ගතවුණා. ඒ සමහර දේ දැන ගැනීමට ඔබට මහාචාර්ය සනත් නන්දසිරි ගාන්ධර්වයන්ව නිතර නිතර මුණ ගැසීමට සිදුවන්න ඇති නේද? ඔව්. ඔහු සමඟ සමහර දේ සාකච්ඡා කළා. ඊට අදාළව විවිධ පුද්ගලයන් මුණ ගැසී ඔවුන් සමඟත් සාකච්ඡා කරමින් යම් යම් දේ ලබා ගැනීමට මා මැළි වුණේ නැහැ. ඒ කාලය ඇතුළේ ඔබ හා ඔහු අතර මොන වගේ සම්බන්ධතාවක් ද ඇතිවුණේ? මා කුඩා කාලයේ පටන්මයි ඔහුගේ ගීතවලට බොහොම ප්‍රිය කළේ. 1964 වසරේ පටන් මේ දක්වා ඔහු කළ නිර්මාණ පිළිබඳ යම් මතකයක් මා සතුව පවතිනවා. ඒ ඔහුගේ රසිකයකු විදියටයි. මේ ගීතය ගැයුවේ කුමන කාලයකද? ඒ සඳහා හේතුවුණේ මොන වගේ කාරණයක්ද? මේ ගීත ගැයුවේ කුමන චිත්‍රපටයකටද? වැනි මතක මගේ සිතේ තැන්පත් වී තිබුණේ ඔහුගේ සහෘදයකු විදියටයි. ඒ මතක නිවැරැදි කරගෙන, එතුමා ඉන්දියාවේ සිටි කාලය පිළිබඳ, එතුමා අපේ රටේ කළ නිර්මාණ පිළිබඳ කතාබහ කරමින් ඒවා විමර්ශනය කරමිනුයි කෘතිය රචනා වන්නේ. මහාචාර්ය සනත් නන්දසිරි පිළිබඳ මතකය ඔබගේ සිතේ අවදි වූ ආකාරය ගැන මතකයට නඟමුද? ඔහු මුලින්ම ‘ඇවිලුණු ගිනිදැල්....’ ගීතය ගයන්නේ 1964 වසරේදී. ඒ වනවිට මා පාසල් යන කුඩා කොල්ලෙක්. ඒ කාලයේ මට මතකයි ඔහු ඒ ගීතය ගයන විට ඔහු සංගීත ගුරුවරයා ලෙස අධ්‍යාපන කටයුතු කළේ උහන මහා විද්‍යාලයේ. ගුවන්විදුලි සරල ගීත වැඩසටහනටයි ඔහු එය ගායනා කළේ. ඔහු ගායනා කළ “මහද වීණා තත් නංවනා රාවේ....” කියන ගීතය ඉන්දියාවේ සරල ගී ශිල්පියකුට නිර්මාණය කළ තනුවක්. එක්දහස් හැට ගණන්වලදි නැවතත් ඔහු අපේ රටට පැමිණි අවස්ථාවකදි සිංහල පද යොදා නැවත ගායනා කරනවා. මගේ මතකයේ විදියට සනත් නනදසිරි ඒ ගයන්නේ ඔහුගේ දෙවැනි සරල ගී වැඩසටහනටයි. ඒ වගේ ම ඉන්දියාවේ බොහොම ආදරයට පාත්‍ර වූ මුකේෂ් ඇමෙරිකාවේ චිකාගෝ නුවරදි හෘදයා බාධයකින් මියයනවා. ඒ කාලයේ එතුමාගේ ගීතයක් අනුව සනත් නන්දසිරි මහත්තයා මෙහි ගුවන්විදුලියේ ගීතයක් ගැයුවා. ඒ එතුමාගේ අභාවය සම්බන්ධයෙනුයි. පර්වාරිෂ් (1958) චිත්‍රපටයේ මුකේෂ් ගායනා කළ ගීතයක තනුවක් අනුවයි ඒ ගීතය ගායනා කළේ. එය මුකේෂ්ගේ මරණයේ ආදාහනය සිදුවීමටත් පෙරයි ඒ ගීතය ගුවන්විදුලියේ ප්‍රචාරය වුණේ. ඔහු පිළිබඳ මෙවැනි කරුණු රැසක් මේ කෘතියේදි අන්තර්ගත වන බව කිව යුතුයි. සැබෑවටම ඔබට මහාචාර්ය සනත් නන්දසිරි මහතාව ඇසුරු කිරීමට අවස්ථාව උදාවන්නේ කුමන ආකාරයෙන්ද? එලෙස ඔහුව ඇසුරු කිරීමට මඟ පෑදෙන්නේ මා පුවත්පත් කලාවේදියකු ලෙස වැඩ කළ කාලයේයි. මට මතක විදියට කලා හෝ රසඳුන පුවත්පත් සඳහා ලිපියක් සැකසීම සඳහායි මා ඔහුව මුණ ගැසීමට යන්නේ. ඒ වනවිට ඔහු පදිංචිව සිටියේ නුගේගොඩ දුම්රිය පටුමගේයි. ඒ මුල්ම හමුවීම හරහා ඔහු ප්‍රකාශ කළ දෙයක් මට හොඳට මතකයි. මොකද ඒ වනවිටත් මා මගේ මුල්ම ගීතය ලියලයි තිබුණේ. ඒ කතාබහේදි ඔහු කළ ප්‍රකාශයක් වුණේ අප වැනි තරුණයන් ඉදිරියට යා යුතු බවයි. ඒ නිසා ඔහුටත් ගීතයක් රචනා කරන්නැයි කියා පළ කළ අදහස මා පුදුමයට පත්කළා. ඒ සඳහා ඔහු අසලම සිටිමින් මල්කාන්ති අක්කා දැක්වූයේත් එවැනි ම අදහසක්. එතැනයි ඒ මහා ගාන්ධර්වයා හා මා අතර පළමු හමුවීම සිදුවන්නේ. ඒ හමුවීමත් සමඟ මා ඔහුට ගීත කිහිපයක් ම රචනා කරනවා. පාසල් සමයේ මගේ සිතේ සැඟවී තිබුණු මතකයත් එක්ක මේ හමුවීම මිත්‍රත්වයක් බවට පත්වෙනවා. ඒ අවබෝධය මේ දක්වාමත් පැවතුණා. මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ ජීවිතයේ සිදුවුණු වඩාත් සිත්ගත් අවස්ථාවක් ඔබගේ මතකයේ වඩාත් සිත් ගන්න අයුරින් තැන්පත් වූ සිදුවීමක් සිහිපත් කරමුද? අපගේ මේ හමුවීම ඇතුළේදී සනත් නන්දසිරි මහත්තයා බොහොම ආස්වාදයෙන් කතා කළේ භාරතයේ ගතකළ ජීවිතය පිළිබඳයි. වසර ගණනක් භාරත දේශයේ ගත කළ කාලයේ සිදුවුණු එක්තරා සිදුවීමක් මගේ සිතේ පුදුම විදියට ඇඳුණා. ඒ කතාව මට සිහිපත් කළේ ගුත්තිල මූසිල කතාවයි. ඒ හා සමාන සිද්ධි ඔහුගේ කතාවල තිබුණා. මහාරාජ් කියන සංගීතවේදියාත්, තවත් ඉන්දියාවේ සිටි ඔහුගේ ගුරුතුමා වූ තබ්ලා වාදන දේවතාව යන නමින් හඳුන්වන ඔස්තාද් අහමඩ් ජාන් ඉරඛ්වා ඛාන් තබ්ලා වාදන ශිල්පියා ඇතුළු සංගීත ශිල්පීන් කිහිපදෙනෙකු ම පිළිබඳ කතාබහ කළා. එහිදි ඔහු එක්තරා වෙලාවක සඳහන් කළේ පණ්ඩිත් ගුදෙව් මහාරාජ් කියන තරුණ තබ්ලා වාදක ශිල්පියාත්, ඔස්තාද් අහමඩ් ජාන් ඉරඛ්වා ඛාන් අතර තිබුණු තබ්ලා වාදන තරගකාරී ප්‍රසංගයක් සිදුවුණු ආකාරය පිළිබඳ විස්තරයක්. එහිදි සිය ගුරුවරයා පරාද වේවි යැයි යම් බියක් ඔහුගේ සිතේ පැවතුණු අයුරුත්, එසේ නොවේවා යැයි සිතින් කළ ප්‍රාර්ථනය පිළිබඳත් මගේසිතේ නොමැකෙන අයුරින් රැඳී තිබෙනවා. ඔහු පැවසූ ඒ සිදුවීම අපට සිහිපත් කළේ ගුත්තිල හා මූසිල වීණා වාදනයයි. ඒ ආකාරයෙන් ම ඔස්තාද් අහමඩ් ජාන් ඉරඛ්වා ඛාන් ඒ තරගයෙන් ජය ගන්නවා. මෙවැනි කතා රැසක් මේ කෘතියේ සමන්විතයි. ඒ නිසා මේ සුන්දර අවස්ථාවට පැමිණෙන්නැයි මා ඔබට ඇරයුම් කිරීමටත් මෙය අවස්ථාවක් කර ගන්නවා.
|