වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




සෝමපාල රත්නායක කලුරිය කරයි

සෝමපාල රත්නායක කලුරිය කරයි

මෙරට සිනමා කෘතීන් රැසක සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සෝමපාල රත්නායක අභාවප්‍රාප්ත විය. ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකගේ බාල සොයුරා වූ හෙතෙම මිය යන විට වයස අවුරුදු හැත්තෑවකි. මහනුවර කඩුගන්නාවේ උපන් සෝමපාල එකොළොස් දෙනෙකුගෙන් යුතු පවුලේ සිවුවැනි දරුවා විය. කඩුගන්නාව මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු එහි සුගතපාල ගුරුතුමා යටතේ සංගීතය හදාරමින් සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණවීමට මුල පිරුවේය.

සෝමපාල සිනමාවට එකතු වන්නේ සුගතපාල සෙනරත් යාපාගේ හන්තාන කතාව සිනමාපටයේ පසුබිම් වාදකයකු ලෙසිනි. ආචාර්ය කේමදාසයන්ගේ මඟ පෙන්වීම යටතේ එම වාදනයට සම්බන්ධ වී සෝමපාලයන් සිය ගමන ශක්තිමත් කර ගත්තේය. මෙරට පළමු කාටුන් චිත්‍රපටය වන ගිවන්ත අර්ථසාද්ගේ දුටුගැමුණු සිනමාපටය සෝමපාලගේ පළමු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය විය.

අභාග්‍යයට එම චිත්‍රපටය තිරගත වූයේ එක් දිනක් පමණි. හඳයා සිනමාපටයෙහි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ඉන් පසුවය. විශිෂ්ට ළමා සිනමා කෘතියක් වන හඳයාහි විශිෂ්ටත්වයට සෝමපාලගෙන් ලැබුණේ අනගි දායකත්වයකි. ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට පෙළකම සෝමපාල සංගීත අධ්‍යක්ෂවරයා විය. උතුමාණෙනි, සාගරයක් මැද, කොටි වලිගය, නොමියන මිනිසුන් සහ අන්තිම රැය එම සිනමාපටයන්ය.

එමෙන්ම දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ දෙමෝදර පාලම, පෙරලිකාරයෝ ඇතුළු දිනේෂ්ගේ සියලුම චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂවරයා සෝමපාල විය. ඔක්කොම කනපිට, චෙරියෝ කැප්ටන්, සුරයන් අතර වීරයෙක්, සුදුපිරුවට යනාදී සෝමපාලයන් සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයන් අසූවක් පමණය. ඔහු හොඳම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ඒ පරාක්‍රම ජයසිංහගේ එකදා වැහි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයෙන් පෑ විශිෂ්ටත්වය හේතුවෙනි. සෝමපාල එකදා වැහි චිත්‍රපටයේ රංගනයෙන් ද දායක විය. සෝමපාලගේ රංගන හැකියාව පළමුව දක්නට ලැබුණේ රජ දරුවෝ සිනමාපටය තුළිනි. ඔහු එම චිත්‍රපටය වෙනුවෙන් තැනූ බිළිඳුනේ දරුවනේ ගීතය අද ද ඉතාමත් ජනප්‍රියය. සන්නාලියනේ ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකට ද සෝමපාල සංගීතය සපයන ලදී.

ඔහු ඉතා දක්ෂ චෙලෝ වාදකයෙකි. මෙරට චෙලෝ වාදකයන් සිටින්නේ ඉතාම සීමිත ප්‍රමාණයකි. සෝමපාල ඔවුන් අතර පෙරමුණේ සිටියේය. සෝමපාලගේ දේහය මේ වන විට අංක 78/සී, බෝපිටිය පාර, උස්වැටකෙයියාව දරන ලිපිනයෙහි තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු අද සවස හුණුපිටිය සුසාන භූමියේදී සිදු කෙරේ.


 සය මසට චිත්‍රපට 14 ක්

මෙම වසරේ ගෙවීගිය සය මස ඇතුළත සිනමාපට 14 ක් තිරගත වී තිබේ. මෑතකාලීනව අන් වර්ෂවලට සාපේක්ෂව වැඩිම සිනමාපට ගණනක් කෙටි කලක් ඇතුළතදී තිරගතව ඇත්තේ මේ වසරේදීය. ඒ අනුව බලන කල මෙම වසර අවසනදි සිනමාපට තිහක් පමණ තිරගතවීමට නියමිතව ඇත. සංඛ්‍යාත්මකව තිරගත වූ සිනමාපට ගණන වැඩි වුව ද වාණිජ අතින් ඇතැම් ඒවා සාර්ථක නොවුණු බව චිත්‍රපට ප්‍රදර්ශකවරු පෙන්වා දෙති. මෙම වසරේ මෙතෙක් තිරගත වූ සිනමාපටයන් පිළිවෙලින් මෙසේය.

ආලෝකෝ උදපාදි - චත්‍ර වීරමන් සහ භරත ගයාන් හෙටිටිආරච්චි

රන් සයුර - සුදේශ් වසන්ත පීරිස්

පේ‍්‍රමය නම් - වින්දන සහ කල්පන ආරියවංශ දෙසොහොයුරන්

සුළඟ ගිනි අරන් - විමුක්ති ජයසුන්දර

කොට උඩ එක්ස්ප්‍රස් - ඒ. ජුනයිඩීන්

බන්ධනය - උදයකාන්ත වර්ණසූරිය

නිලංජනා - නාලක විතානගේ

පැණි මකුළුවෝ - ඉසුරු වීරසිංහ මුදලි සහ චලින් මධුරංග

අලි කතාව - මහාචාර්ය සුනිල් ආරියරත්න

නිම්නයක හුදකලාව - බූඩි කීර්තිසේන

නිනෝ ලයිව් - තිසර ඉඹුලාන

28 - ප්‍රසන්න ජයකොඩි

හිම තාරකා - රොඩ්නි විදානපතිරණ

දෙවැනි වරම - ජී නන්දසේන


පුංචි අපිත් බය නෑ

21 වැනිදා සිට

අලුත් අධ්‍යක්ෂකවරයෙක් තිරයට

සහාය අධ්‍යක්ෂවරයකු ලෙස නමක් දිනා සිටි ප්‍රියන්ත පතිරගේ අධ්‍යක්ෂණය කළ ඔහුගේ කුලුඳුල් ළමා සිනමා සිතුවම පුංචි අපිත් බය නෑ දැන් මෙම මස 21 වැනිදා එනම් හෙට සිට එල්. එෆ්. ඩී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ඇරැඹේ.

මහින්ද පතිරගේ, ගිරිරාජ් කෞශල්‍ය, රජිත හිරාන් චාමිකර, සුසන්තා චන්ද්‍රමාලි, මිලින්ද පෙරේරා, සමන්ති ලැනරෝල්, නිල්මිණි බුවනෙක, වසන්ත කුමරසිරි, තිස්ස බණ්ඩාරනායක, සුනෙත් මැල්සිරිපුර, කැළුම් නිරෝෂන්, රන්ජන් ගලගෙදර, ප්‍රියජනක ගමගේ සහ සන්දීප් සන්රාජ් මෙහි චරිත මවති. සචිත් චතුරංග, ඩිල්කි නෙත්මිණි, සන්තුස් දිල්හාර, ඉෂානි විදුරංගනා, නිමිඳු චමිල්, නිමේන් වික්‍රමරත්න සහ චාන්දීප් වාසල පුංචි අපිත් බය නෑ දැන් ළමා නළු නිළියන්ය.

සහාය නිෂ්පාදනය ෂහීඩ් ඩී. මවුලානගෙනි. එස්. සුභසිංහ විධායක නිෂ්පාදකවරයාය, ගාමිණී චමින්දගේ කැමරා අධ්‍යක්ෂණයකි, රන්දික විජේමාන්න සංස්කරණ ශිල්පියාය, ලස්සන ජයසේකර සංගීත අධ්‍යක්ෂණයෙන් ද, විජේසිරි මල්ලිකාරච්චි තිර රචනයෙන් ද, ඩබ්ලිව්. රවීන්ද්‍ර සහාය අධ්‍යක්ෂණයෙන් ද, සුමති කුඩලිගම කලා අධ්‍යක්ෂණයෙන් ද, හෙන්රි ප්‍රේමරත්න අංග රචනයෙන් ද මෙයට දායක විය. පුබුදු රණසිංහගේ නිෂ්පාදන කළමනාකරණයකි.

පුංචි අපිත් බය නෑ දැන් ප්‍රියජනක ගමගේ සහ සන්දීප් සන්රාජ්ගේ නිෂ්පාදනයකි


ඩොනල්ඩ් ජයන්තට

මා.හි.ක.සු.දෙ.ලං.පු.නාමයක්

ප්‍රවේගය සහ මායා චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඩොනල්ඩ් ජයන්ත මානව හිතවාදී කලා සූරී දේශමාමක ලංකා පුත්‍ර ගෞරව නාමයෙන් පිදුම් ලබයි. ඔහු සමස්ත ලංකා සංස්කෘතික පදනමේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් දේශමාමක සුදර්ශන ගමගේ සහ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් අතින් එම ගෞරව නාමය ලබාගත්තේය.


හීන හොයන සමනල්ලු එන්න ළඟයි

ඉතා සංවේදී කතා පුවතක් ඇතුළත් රොහාන් පෙරේරාගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය කළ හීන හොයන සමනල්ලු එළඹෙන අගෝස්තු මස 02 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. සුනිල් ටී. ප්‍රනාන්දුගේ හැට හය වන සිනමා නිෂ්පාදනය වන මෙය සිනමා ශාලා හැට හයකදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු සම්පාදනය කොට තිබේ.

හේමසිරි ලියනගේ, ලූෂන් බුලත්සිංහල, දිල්හානි ඒකනායක, සෞම්‍ය ලියනගේ, ජයනි සේනානායක, උමාලි තිලකරත්න මෙහි රංගන දායකත්වය සපයයි.

රුවන් කොස්තා කැමරා අධක්ෂවරයාය. සහාය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන සැලසුම්කරණය දමින්ද ඩී. මඩවලගෙනි. නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂවරයාය. මංජුල අයගම කළා අධ්‍යක්ෂවරයාය. තිස්ස සුරේන්ද්‍රගේ සංස්කරණයකි. තිර රචනය රොහාන් පෙරේරාගෙනි. හීන හොයන සමනල්ලු විශ්ව ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.


 වෘත්තීය පුහුණු ජනසන්නිවේදන පාඨමාලාවක් නොමිලේ

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් ආරම්භ කිරීමට නියමිත ජනසන්නිවේදන පාඨමාලාව සඳහා මේ දිනවලදී අයදුම්පත් කැඳවීම ආරම්භ කොට තිබේ. මේ සඳහා ඉලක්ක ගත වන්නේ වයස අවුරුදු 16 - 21 අතර පාසල් හැරගිය තරුණ තරුණියන් වේ. මෙහි අවම සුදුසුකම වනුයේ සිංහල භාෂාවට සම්මාන සාමාර්ථයක් සහිතව අපොස සා/පෙළ විභාගයෙන් සමත්ව තිබීමයි. එමෙන්ම අපොස සා/පෙළ විභාගයට සන්නිවේදන සහ මාධ්‍ය අධ්‍යනය විෂය හදාරා තිබෙන සහ මුද්‍රිත්, විද්‍යුත් මාධ්‍යට අදාල නිර්මාණ හැකියාවකින් යුතු ඉල්ලුම්කරුවන් හට ප්‍රමුඛතාවය හිමි වේ. පූර්ණකාලීනව සතියේ දිනවල සහ අර්ධකාලීනව සති අන්තයේ මෙම පාඨමාලාව පැවැත්වේ. ඔබ මේ සඳහා උන්නදුවක් දක්වන්නේ නම් මෙම මස 30 වැනිදාට ප්‍රථම නියෝජ්‍ය අධ්‍යක්ෂ, ජාතික වෘත්තීය පුහුණු ආයතනය, අංක 354, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05 ලිපිනයට අයැදුම්පතක් එවීමෙන් පාඨමාලාවට සම්බන්ධවීමට හැකිවේ.