වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




නීනෝ ලයිව් සමඟ එන තිලක් ශාන්ත

නීනෝ ලයිව් සමඟ එන තිලක් ශාන්ත

රංගනයට වගේම මම නිවේදන කටයුතුවලටත් දායක වෙලා තියෙනවා. රුහුණු ගුවන්විදුලියේ ළමා නිවේදකයකු ලෙසත් මල් මල් වාරම් වැඩසටහනටත් ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. පාසල් නාට්‍ය රැසකට දායක වුණා. අධ්‍යාපන කටයුතු නිසා ටික කාලයක් රංගනයෙන් දුරස් වුණත් මම රැකියාවේ මාරුවක් අරගෙන කොළඹට එන්නෙත් රංගනයට තියෙන ආසාව නිසාමයි. පසුව මහේන්ද්‍ර පෙරේරා මහතාගේ රංගන පාඨමාලාවට සම්බන්ධ වුණා.

සිනමා නිර්මාණයකට දායක වෙන්න ඔහු වරම් ලැබූයේ මීට දස වසරකට පමණ පෙරදීයි. එහෙත් ඔහු අපට සිනමාවෙන් දකින්න ලැබුණේ නම් මෑතකදී. ඔහු නමින් තිලක් ශාන්ත. තිලක් දායක වූ කුළුඳුල් සිනමා නිර්මාණය 'නිනෝ ලයිව්' චිත්‍රපටය යි. එහි රුචීගේ මිත්‍රයා චාමර ලෙසින් පණ පොවන්නේ තිලක්. දැනට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරියකු ලෙසින් සේවය කරන ඔහු ඒ අතරේදීම රංගන ක්ෂේත්‍රයෙත් දුර ගමනක් යන්න සූදානම්.

නිනෝ ලයිව් තිරගත වෙන්න ලොකු කාලයක් ගත වුණා නේද?

ඒක ඇත්ත. අවුරුදු දහයක් විතර බලාගෙන ඉන්න සිදු වුණා. කාලයකට පසු තිරගත වීම ගැන ලොකු සතුටක් තියෙනවා. නිනෝ ලයිව් මගේ කුළුඳුල් රංගනය වගේම යුරේනි නොෂිකා, දසුන් පතිරණ ගේත් කුළුඳුල් සිනමා අත්දැකීම. නිනෝ ලයිව් කියන්නේ ආදර්ශනය දනවන සිනමා නිර්මාණයක්. ඒ වගේ ආදර්ශවත් නිර්මාණයකින් මේ ගමන ආරම්භ කරන්න ලැබීම සතුටක්.

රංගනයට පිවිසෙන්න ආසාවක් ඇති වුණේ කොහොම ද?

පුංචි කාලයේ පටන්ම මම සිනමාවට හරිම ආසයි. මම පාසල් ගියේ අම්පේගම මහා විද්‍යාලය සහ බැද්දේගම ක්‍රිස්තුදේව මහා විද්‍යාලයට. පාසල් දෙකේදීම සෞන්දර්ය කටයුතුවලට දායක වුණා. රංගනයට වගේම මම නිවේදන කටයුතුවලටත් දායක වෙලා තියෙනවා. රුහුණු ගුවන්විදුලියේ ළමා නිවේදකයකු ලෙසත් මල් මල් වාරම් වැඩසටහනටත් ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. පාසල් නාට්‍ය රැසකට දායක වුණා. අධ්‍යාපන කටයුතු නිසා ටික කාලයක් රංගනයෙන් දුරස් වුණත් මම රැකියාවේ මාරුවක් අරගෙන කොළඹට එන්නෙත් රංගනයට තියෙන ආසාව නිසාමයි. පසුව මහේන්ද්‍ර පෙරේරා මහතාගේ රංගන පාඨමාලාවට සම්බන්ධ වුණා. මහේන්ද්‍ර පෙරේරා වගේ ප්‍රවීණයෙක් යටතේ ඉගෙන ගන්න ලැබීම වාසනාවක්.

වේදිකාවට පුංචි තිරයට දායක වෙන්න තියෙන කැමැත්ත මොනවගේද?

ටෙලි නිර්මාණ වගේම වේදිකා නාට්‍යවලටත් මම කැමැතියි.

විශේෂයෙන් වේදිකා නාට්‍ය රංගනය තුළ ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. මම මීට පෙර වේදිකා නාට්‍යයකට දායක වුණා. එහි නම 'අයිරිෂ්'.

මේ වන විට දායක වුණු අනෙකුත් නිර්මාණ මොනවාද?

දැනට මම ගීත දෙකක රූප රචනාවලට දායක වෙලා තියෙනවා. සූර්යා දයාරුවන්ගේ අලුත්ම ගීතයට වගේම යුරේනි නොෂිකාගේ අලුත්ම ගීතයටත් රංගනයෙන් දායක වුණා. ඒ අතරේ කෙටි චිත්‍රපටයක රංගනයටත් සම්බන්ධ වුණා.

තිලක්ගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

සමාජයට යහපතක් කරන නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. 0776641010 අංකයට මගේ රංගනය ගැන අදහස් දක්වන්න පුළුවන්. අවුරුදු දහයක් විතර මං හිරවෙලා හිටියා. දැන් නිනෝ ලයිව් එක්ක හැමෝම මගේ රංගනය ගැන කතා කරනවා. ඉදිරියටත් සාර්ථක රංගනයන් ඉදිරිපත් කරන්න කැමැත්තෙන් සිටිනවා.