වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




මකුළු මිනිසාට විචාරකයන්ගේ ඉහළ පැසසුම්

මකුළු මිනිසාට විචාරකයන්ගේ ඉහළ පැසසුම්

ස්පයිඩර් මෑන් හෙවත් මකුළු මිනිසා චරිතය චිත්‍රපට ලෝලීන්හට අලුත් චරිතයක් නම් නොවෙයි. මාවල් චිත්‍රකතා චරිතයක්ව සිටි ස්පයිඩර් මෑන් මුල්වරට සිනමාවට පිවිසියේ 1977 වසරේදීය. එවක පටන් 1981 පමණ කාලය වන තෙක් මකුළු මිනිසාගේ වික්‍රමයන් ඇතුළත් චිත්‍රපට මාලාවක් තිරගත වුණා. අනතුරුව 1978 වසරේ සිට තවත් ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාවක් තිරගත කෙරුණේ ලොවපුරා ආකර්ශනය දිනා ගනිමින්. එයින් විසි වසරකට පමණ පසු මේ මකුළු මිනිසා යළි 2002 වසරේදී ද රිදී තිරයට පැමිණියේ ය. 2004 සහ 2007 වසරවල එම චිත්‍රපට මාලාව තිරගත වීමෙන් අනතුරුව ප්‍රතිනිර්මාණයක් ලෙසින් The Amazing Spider-Man  චිත්‍රපටය 2012 වසරේදී ද එහි දෙවැන්න 2014 වසරේදී ද තිරගත කෙරුණා.

මේ වසරේදී මකුළු මිනිසා යළිත් තිරයට පැමිණෙන්නේ මාවල් සිනමා විශ්වයේ චරිතයක් ලෙසින්. මාවල් සිනමා විශ්වයේ විශේෂිත චරිත සමඟින් Iron Man, The Incredible Hulk, Captain America, Thor, Avengers වැනි චිත්‍රපට අතරට එක්වන දහසය වැනි චිත්‍රපටය වන්නේ, ඉනඪඤඥප-ර්චද: ඩ්ධථඥජධථඪදඨ චිත්‍රපටය යි. අමෙරිකානු සුපිරිවීර චිත්‍රපටයක් ලෙස නිර්මාණය වී ඇති එය කොලොම්බියා පික්චර්ස් සහ මාවල් ස්ටුඩියෝස් නිෂ්පාදනයක්. බෙදාහරිනු ලබන්නේ සෝනි පික්චර්ස් විසින්.

ඇවෙන්ජර්ස් සමඟින් අත්දැකීම් ලද යොවුන් වීරයා පීටර් පාකර් තම නැන්දණිය සමඟින් ජීවත්වීමට නිවෙසට පැමිණෙනවා. ඔහුගේ උපදේශක වන්නේ, ටෝනි ස්ටාර්ක් හෙවත් අයන් මෑන්. පීටර් පාකර් තමා ලද අලුත් බලය නිසා නිතරම සතුටෙන් සිටින අතර සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේද උත්සාහයක නිරත වෙනවා. නිරන්තරයෙන් මිනිසුන්හට පොඩි පොඩි උපකාර කරමින් නොසිට ඊට වඩා යමක් ඉටුකර දැවැන්ත වීරයකු බවට පත්වීමේ වුවමනාව නිතර ඔහුගේ සිතට පැමිණෙන සිතුවිල්ලක් බවට පත් වෙනවා. දැන් පීටර් පාකර්හට එම අවස්ථාව පරීක්ෂණයක් ලෙසින් උදා වෙලා. ඒ තමා ආදරය කරන සියලු දේ විනාශ කළ හැකි සතුරෙකුට මුහුණ දීමයි.

මෙවර ස්පයිඩර් මෑන් චරිතයට පණ පොවන්නේ එංගලන්ත ජාතික නළු ටොම් හොලන්ඩ් විසිනි. 21 හැවිරිදි ටොම් The Impossible, In the Heart of the Sea, The Lost City of Z ඇතුළු චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වී ඇත. ඔහු සමඟින් මයිකල් කීටන්, ජෝන් ෆැව්රූ, සින්ද්‍යා, රොබට් ඩොව්නි ජූනියර් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.

ජෝන් වොට්ස් අධ්‍යක්ෂණය කළ Spider-Man: Homecoming  අමෙරිකානු ඩොලර් මිලියන 175ක වියදමකින් නිර්මාණය වූවකි. පසුගිය ජූලි 07 වැනිදා සිට ලොවපුරා තිරගත වීම ඇරඹි එය දැනට අමෙරිකානු ඩොලර් මිලියන 301ක ආදායමක් උපයා ගන්නට සමත් වී ඇත. මෙම චිත්‍රපටය ප්‍රේක්ෂක මෙන්ම විචාරක පැසසුමට පාත්‍ර වූ චිත්‍රපටක් බවට ද පත් වී තිබේ.  IMDb දර්ශකයේ 8.2/10ක ලකුණු ප්‍රමාණයක් ලද එය රොටෙන් ටොමැටෝස්හි විචාරක මනාපය සියයට 93ක් ලෙසින් ලබා ඇත. මෙටා ක්‍රිටික්හි එය සියයට 73ක් වේ.

රොටෙන් ටොමැටෝස් ප්‍රමුඛ විචාරය පවසන්නේ, ප්‍රති නිර්මාණයකට කළ හැකි උපරිමය Spider-Man: Homecoming  තුළ ඇතුළත් වී ඇති බවයි. එය මාවල් සිනමා විශ්වයට බරක් නොවී එයට ගැලපෙන අයුරින් බොහොම සතුටුදායක වික්‍රමාන්විත ගමනක නිරතවන බව විචාරක පිළිගැනීමයි. දි ඇට්ලන්ටික් හි විචාරක ක්‍රිස්ටෝපර් ඕර් පවසන්නේ, වේගවත් චිත්‍රපටයෙන් විනෝදජනක ගමනක යෙදෙන මේ ‘ස්පයිඩි’ මාවල් සිනමා විශ්වයට අනන්‍යතාව සහ ආදරණීය බවක් එක් කරන බවයි. තිර රචකයන් හය දෙනෙකු ජෝන් වොට්ස් නම් අධ්‍යක්ෂවරයා සමඟින් එකතුව මෙවැනි තරුණ විනෝදකාමී සුපිරි වීර චිත්‍රපටයක් නිර්මාණය කරනු විනා වෙන කුමක් නම් කරන්න ද යන්න සැන්ඩියාගෝ රීඩර්හි විචාරක මැතිව් ලිකෝනා පවසයි.