වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රීති රන්දෙනියගේ ගිනි ගැන සනත් ගුණතිලකගෙන් ලියමනක්

ප්‍රීති රන්දෙනියගේ ගිනි ගැන සනත් ගුණතිලකගෙන් ලියමනක්

මා හිතාදර සොයුරිය ප්‍රීති වෙතයි,

ඔබ මට ලබා දුන් ඔබේ නවතම කෘතිය 'ගිනි' මා කියවා හාමර කළේ පසුගිය දිනක රාත්‍රියේය. නමුත් එක් දිනක් තුළ එක දිගටම එය කියවා නිම කිරීමට තරම්, එය රසවත් වූ බව ද අතිශයෝක්තියෙන් තොරව පවසන්නෙමි. පොත රසවත් වුව ද, එයින් උද්දීපනය වූයේ ශෝකී රසයයි.

ගැහැනියකගේ දෛවය මේ තරම් කුරිරු විය යුතුදැයි විමලාවතීගේ චරිතය කියවූ විට මට හැඟුණි. මට ඇයව සම කළ හක්කේ නූතන පරාචාරාවකටය. බෞද්ධ සාහිත්‍යයේ එන පටාචාරා කුමරිය මෙන්ම සියලු සැප සම්පත් හා මවුපියන් අත්හැර තම පෙම්වතා සමඟ රහසේම විවාහ වු විමලාවතීට ද අත් වන්නේ දුකමය. තම ජීවිත කාලය මුළුල්ලේම විවිධ විවිධ අවස්ථාවල, විවධ සිද්ධීන් නිසා දුකේම ගැලෙන ඇය, දුක අනුභව කරමින් ජීවත් වූ තැනැත්තියක් ලෙස හැඳින්වීම නිවැරැදි යැයි මා විශ්වාස කරමි. වෙනසකට දැකිය හැක්කේ පටාචාරා ජීවත් වූයේ බුදුන් දවස බැවින්, ඇයව සසරින් එගොඩ කිරීමට බුදුන් වහන්සේගේ දෙසුමක් ප්‍රමාණවත් වූ නමුත් විමලාවතීගේ ජීවිතයට සුභද්‍ර තෙරිණියගේ අවවාද අනුශාසනා කෙතරම් පිටිවහලක් වුවත්, ගිහි ජීවිතයේ අඛණ්ඩව ලැබෙන දුක්ඛ දෝමනස්සවලින් එගොඩවීමට එය ප්‍රමාණවත් වී නොමැත. එබැවින් යම් මොහොතක සතුටට පත්වන විමලාවතී ඊළඟ මොහොතේ අනපේක්ෂිත ලෙස ශෝකයට පත්වීම වැලැක්වීමට තරම් ඔබේ පෑන උත්සුක නොවූයේ මන්දයි ගැටලුවක් ද මා සිතේ හට ගැනුණි.

විමලාවතීගේ ජීවිතයේ අනුවේදනීයම අවස්ථාවක් ලෙස මා දකින්නේ කුඩා කළ තමා හැරදමා ගිය දුක වෛරයක් බවට පෙරලා ගත් විමලාවතීගේ පියුමි දුව ඇයට මවක ලෙස සැලකීමට අකමැති බව පෙන්වන අවස්ථාවයි. සත්ව උද්‍යානයට අධ්‍යාපන චරිකාවක් ආ අවස්ථාවක තම දුව මුණ ගැසීම පිණිස විමලාවතී රසකැවිලි රැගෙන සත්ව උද්‍යානයේ ගේට්ටුව ළඟට පැමිණේ. නමුත් දුව 'පියුමි' නිහඬව මව ප්‍රතික්ෂේප කරයි.

පෙතේ පිටු අංක 106-107-108).

පොත දිගට කියවාගෙන යාමේදී, ගැහැනියක් වූ පමණින්ම මෙතරම් දුක් කන්දරාවක් ඉසිලීමට සිදුවීම ගැහැනියක් වී ඉපදීමේ විපාකයක් ලෙස කෙනෙකු අර්ථ දැක්වුවහොත් ඔබ එයට විරුද්ධ වෙනවාද? මා එසේ කියන්නේ විමලාවතී සුභද්‍ර තෙරණියගේ මඟ පෙන්වීම හැර වෙන කිසිම එළියක් නොපෙනෙන බැවිනි. එමෙන්ම සුභද්‍රා තෙරණියගේ සෙවනේ 'සුධර්මා' නමින් දීගය අතහැර ධර්මය වැලඳ ගත් 'රමණී' නැවත විවාහක කාන්තාවක් බවට පරිවර්තනය වීම ද, විමලාවතීට සහනයක සේයාවක්වත් නොපෙනීමට හේතු දායක වී ඇත. කෙසේ වෙතත් ධර්මයෙහි හැසිරීමට සිත එකඟ නැතිනම් නැවත ගිහි ජීවිතයට පත්වීම (ධර්මයෙහි හැසිරෙමින් වැරැදි කරනවාට වඩා) යෝග්‍ය බව ද බුද්ධ දේශනාවේ ද සඳහන් වී ඇත.

වයස් බේදයකින් තොරව විමලාවතී පිටුපස පැමිණි පිරිමි පිරිස (පිරිමි රෑන) වැඩි නැත්දැයි මට ඔබෙන් අසන්නට සිතේ. බොහෝ දෙනෙකුගේ අවධානය, ආකර්ෂණය ලබා ගැනීමට තරම් සුවිශේෂී ලක්ෂණයකින් සහ මනබඳිනා සුන්දරත්වයක් ඇය තුළ ද නිරායාසයෙන්ම පිහිටා තිබිය යුතු බව ඔබේ පොත කියවන විට මට හැඟෙයි. නමුත් ඒ රූ සපුව ඒ ආකාරයෙන්ම ඇගේ දුක්ඛ දෝමනස්සයට හේතු දායක වන බව ඔබ නොකියා කීමෙන් නැවත වතාවක් පාඨකයා ඉතා සියුම්ව නොදැනෙන පරිද්දෙන් බුද්ධ වචනය මතක් කර දෙන බව මට පසක් වේ. (පිටු අංක 181 සහ 182).

විමලාවතී සහ සුභද්‍ර මෑණියන් අතර එකී සංවාදය කියවන්නෙකුට පිලිකුල් භාවනාව පිළිබඳ අමුතුවෙන් කියාදිය යුතු නොවන අන්දමට ඔබ ඒ සංවාදය හසුරුවා ඇත. ඉලක්ක ගත කර ඇත.

කතාවේ සිද්ධීන් දෙස හොඳින් අවධානය යොමු කළහොත් මේ පිටුපස යම් සත්‍ය සිද්ධීන් රාශියක් ගොනු වී ඇතැයි මට සිතේ. ඒ සිද්ධි විශ්වසනීයත්වයෙන් සමන්විතව ඇති බැවින් පොත කියවීමේදී ඒවා ප්‍රතික්ෂේප කිරීමට මට අවශ්‍ය නොවීය. එක දිගටම මේ පොත කියවීම, කියවන්නාට රුකුලක් වන්නේ කිසිම ජීවියෙක්ව (ස්ත්‍රී වේවා, පුරුෂ වේවා) සමස්තයක් ලෙස නිවැරැදි පරිපූර්ණ තැනැත්තෙක් හෝ තැනැත්තියක් ලෙස හඳුනා ගැනීමට නොහැකි බවට මෙහි සඳහන්ව ඇති නිසාය. යම් අවස්ථාවලදී විවිධ හේතූන් මත ඉතා හොඳ පුද්ගලයෙක් ද නරකට යොමු වන අවස්ථා ඇත. නරක යැයි සම්මත මිනිසුන් සමහර අවස්ථාවන්හි ක්‍රියා කරන්නේ, හැසිරෙන්නේ ලොවටම හොඳ ආදර්ශයක් දෙමිනි. මෙය ද ස්වභාව ධර්මයයි. ඔබ එය කියවන්නාට අවබෝධ කරදීමට සාර්ථක උත්සාහයක් දරා ඇත. කෙසේ වෙතත් ප්‍රීති, ඔබේ වෑයම පිළිබඳ මා තුළ ඇත්තේ ද තදබල ප්‍රීතියකි. තදබල සතුටකි. විමලාවතීගේ චරිතයට සාපේක්ෂව අනෙකුත් පිරිමි සහ ගැහැනු චරිත පිළිබඳ සන්සන්දනාත්මකව සඳහන් කිරීමට මට අවශ්‍ය වී තිබුණත් ලිපිය දිර්ඝ කිරීමට නොකැමැති බැවින් මා එය ඉවසා දරා ගත්තෙමි.

පිරිමින් නිසා අනන්ත අප්‍රමාණ දුකට පත්වන ස්ත්‍රී වර්ගයාටම මෙකී පොත නැවත නැවත කියවා බැලීමේදී විමලාවතීට වැරදුන තැන්, විමලාවතීට හරිගිය තැන් තම ජීවිතයට ද සන්සන්දනය කර යමක් උගත හැකිය. එබැවින් මෙය සෑම ස්ත්‍රියක් විසින්ම විශේෂයෙන්ම යෞවනියන් විසින් කියවිය යුතුම පොතකි.

මෙහිදී ඔබ පිරිමින් පිළිබඳ අනවශ්‍ය ආකාරයට අවතක්සේරු කර ඇතැයි මා කිසි විටෙක නොසිතමි. එහෙත් ගැහැනුන් නිසා දුක් විඳින පිරිමින් පිළිබඳව ද ඔබ අසා ඇතැයි මම විශ්වාස කරමි. පිරිමින් වෙත වරද පටවා නැළවෙන, වැජඹෙන, ලෙලදෙන ස්ත්‍රීන්ගේ වෙස් මුහුණ ගලවා නියම මුහුණ පෙන්වීමට ඔබේ ඊළඟ ප්‍රයත්නය තුළින් උත්සාහ ගනු ඇතැයි මම විශ්වාස කරමි. එලෙස ඔබේ පෑනට බල කිරිමට මට කිසිම අයිතියක් නැත. අවශ්‍යතාවයක් ද නැත. එයට ප්‍රධාන හේතුවක් වන්නේ මොන අන්දමේ සම්බන්ධකම්, හිතවත්කම් තිබුණත්, තිබී පළුඳු වුණත් ස්ත්‍රියකට නිගා කිරීම නුසුදුසුම දෙයක් බව, නොකළ යුතුම දෙයක්ම බව මගේ සිත මා වෙත හොඳින් අවබෝධ කර ඇති නිසාය.

යම් රටක ජීවත්වන ස්ත්‍රීන්ට ඒ රටේ තිබෙන්නා වූ සැලකිල්ල මත, ගරුත්වය මත ඒ රටේ ශිෂ්ටාචාරය, සභ්‍යත්වය මැනෙන බව ලෝක පූජිත නායකයෙක් වරක් පවසා ඇත. නමුත් පෘථග්ජන මිනිසුන් වශයෙන් අපි හැමෝම අපේක්ෂා කරන ආදරය, කරුණාව, දයාව, ළෙන්ගතුකම එකිනෙකා කෙරෙහි සැලකිල්ල, ජාති, ආගම්, කුල, වයස් භේදයකින් තොරව අප දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව අපේක්ෂා කරයි.

නමුත් එය අපට නොලැබෙන විට අපි, අපේ තරාතිරම තත්ත්වය, වයස ගැන නොතකා මෝඩයන් සේ ක්‍රියාකරන අවස්ථා එමටය. දයාබර සැමියකුගේ සහ වාසනාවන්ත දරු තිදෙනෙකුගේ බිරිඳක් සහ මවක් වූ ඔබ ඉතාම ගුණවත්, කරුණාබර, විනීත තැනැත්තියක් බව අප හැමෝම දනිති. ඔබේ ඊළඟ නිර්මාණයෙන් අප සමාජයේ මෙතෙක් නොකියවුණු ගැටලුවක් පිළිබඳව අපට අවබෝධයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

ආදරණීය ප්‍රීති ඔබට ජයෙන් ජය

මීට ඔබේ සොයුරු

සනත්

පසුව ලියමි. පොතේ තැන් දෙකක බුදුන් දවස ඇස් දන් දුන් තෙරණිය ලෙස සුභා තෙරණි සහ උප්පලවණ්ණා තෙරණිය යන නම් දෙකම සඳහන්ව ඇත. ඒ වරද ඔබ නිවැරැදි කර ගන්න.