වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




මං තවම ජනප්‍රිය නැහැ

මං තවම ජනප්‍රිය නැහැ

රුවන් හේවගේ

ඇත්තම කියන්නම්. බොරුවක් නෙවෙයි මුදලකට කියලා මං රඟපෑවේ නැහැ. මට මුදල් හොයන්න වුවමනා වුණේ නැහැ. රංගනයෙන් අවස්ථා සොයා ගියා. චරිත බැලුවේ. මුදල් බැලුවේ නැහැ.

ඔබේ නම කියන්නකො?

රුවන් හේවගේ

රඟපාන්නේ කොච්චර කල් ඉඳලද?

මගෙ අප්පේ දැන් සෑහෙන කාලයක්. මං හිතන්නේ වසර තිහකටත් වැඩියි.

රඟපෑ චිත්‍රපට ප්‍රමාණය මතක් කළොත්?

පණහකට වැඩි මිසක් අඩු නැහැ.

එතකොට ටෙලි නාට්‍ය?

තිහකටත් වැඩියි

ඒත් ඔබ වැඩිය ජනප්‍රිය නැහැ නේද?

වැඩිය නෙවෙයි, මං කොහොමටත් ජනප්‍රිය නැහැනෙ.

ඇයි එහෙම වුණේ?

හේතුවක් දන්නේ නැහැ. හැබැයි රඟපාන එක අතහැරලා නැහැ.

මුලින්ම රඟපාන්න අවස්ථාව දුන්නේ කවුද?

ගාමිණී ෆොන්සේකා මහත්තයා. අදහන්න වටින රත්තරං මිනිහෙක්.

පළමු රංගන අත්දැකීම ගැන මතක කළොත්?

මං ඉස්සර නිතරම ගාමිණී මහත්තයව මුණ ගැහෙන්න යනවා. ඔහු මට දිනයක් දීලා ඒ දිනයට හැඳල විජය ස්ටුඩියෝ එකට එන්න කිව්වා. නිකම් නෙවෙයි. ටයි කෝට් ඇඳගෙනයි එන්න කිව්වේ. මම ඔහු කිව්ව දිනයට කිව්ව වෙලාවට ටයි කෝට් ඇඳගෙන ජැන්ඩියට එතනට ගියා. එතැන එකම කලබලයක්. එදා තමයි යකඩයා චිත්‍රපටයේ මංගල රූගත කිරීම. මටත් ඒකට සහභාගිවන්නට ලැබුණා.

චිත්‍රපට ගැන ආසාවක් ඇති වන්නේ කොහොමද?

මට ධීවරයෝ චිත්‍රපටය බලන්න අවස්්ථාව ලැබුණා. පුදුම ලස්සන චිත්‍රපටයක්. මට සිනමා පිස්සුව හැදෙන්නේ එතෙන්දි. ගාමිණී මහත්තයාව හමුවෙන්න පටන් ගත්තේ ඒකයි.

හොඳ චරිතයක් සිනමාවේදී ඔබට ලැබුණෙ නැති තරම්?

ඇයි නැත්තේ. හිත හොඳ කොල්ලා චිත්‍රපටයේ හොඳ රෝල් එකක් කළා.

ඇයි ඔබට වැඩිය හොඳ චරිත ලැබුණේ නැත්තේ?

ඒ කාලෙ මං හරිම කෙට්ටුයි. ලොකු ලස්සනකුත් නැහැ. ඒක වෙන්න ඇති චාන්සස් අඩු වුණේ.

විජය කුමාරතුංගව ඔබට හමුවන්නේ මොන චිත්‍රපටයේදීද?

විශ්මය චිත්‍රපටයේදී. ඔහුව සමීපව ඇසුරු කළා. හිත හොඳ මිනිහෙක් කියලා කියන්න පුළුවන්.

මතක හිටින දර්ශන රඟපෑවේ මොන චිත්‍රපටයේදීද?

රණදෙරණ කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද ඒකේ දැවැන්ත කඩු සටනක් තිබුණා. ඒකයි වැඩිපුරම ඒක මතක.

රඟපාලා වැඩිපුරම ලැබුණු මුදල කීයක්ද?

ඇත්තම කියන්නම්. බොරුවක් නෙවෙයි මුදලකට කියලා මං රඟපෑවේ නැහැ. මට මුදල් හොයන්න වුවමනා වුණේ නැහැ. රංගනයෙන් අවස්ථා සොයා ගියා. චරිත බැලුවේ. මුදල් බැලුවේ නැහැ.

රංගන අවස්ථාවන් ඉල්ලමින් අධ්‍යක්ෂවරුන්ට කරදර කළේ නැද්ද?

මොකද නැත්තේ. ගොඩක් අයට කරදර කළා. සමහරුන්ගේ ගෙවල්වලට මං පාන්දර යද්දී ඔවුන් ඇහැරිලාවත් නැහැ. ඉතින් බැනුම් අහගෙන තමයි ගෙදර ආවේ.

ඒ කාලේ ඔබ චිත්‍රපටයක් කළා නේද?

ඔව්. යකාගෙ දූපත ගැනනේ ඔය අහන්නේ.

ඔව්. ඒක අද එනවා හෙට එනවා කියලා කිව්වට කවදාවත්ම තිරයට ආවේ නැහැ?

මේ ලෝකේ දෙයක් දැනගෙන නෙවෙයි මං ඒ චිත්‍රපටය හැදුවේ. ඒකයි වැරැදුණේ. තාක්ෂණික දෝෂ මත මට මිලිමීටර් 35 රීල් එකට එය ගන්න බැරි වුණා. ඉතින් කොහෙ පෙන්වන්නද.

ඒ වෙලවේ නොදැනුම්වත්කම නිසා ඔබට වැරැදුණා?

ඒක විතරක් නෙවෙයි. බොහෝ අවස්ථාවලදි වැරැදුණෟා.

කවුද ඔබව අත් නොහැරිය අධ්‍යක්ෂවරු?

එරංග සේනාරත්න, අශෝක සෙනරත් මුදලිගේ, ලුවී වැන්ඩස්ට්‍රාටන්, නැසීගිය පතිරාජ එල්. එස්. දයානන්ද. ඔවුන් ඔවුන්ගේ නිර්මාණවලට මාව නිරන්තරයෙන්ම එකතු කර ගත්තා.

ඔබ තවත් චිත්‍රපටයක් පසුකාලිනව අධ්‍යක්ෂණය කළා නේද?

ඒකෙ නම පුංචි එවුන් සූරයෝ. ළඟදීම තිරයට ඒවි.

දිගින් දිගටම පොලිස් චරිත කළේ ඇයි?

වසුදා, දාමිනි වගේ නාට්‍යවල මං එක දිගට පොලිස් චරිත කළා. වෛද්‍ය චරිත, ලෝයර් චරිත, පල්ලියේ ෆාදර්ලගේ චරිත මං කළා. එකම තැනක කොටු වුණේ නැහැ.

රංගනය අත හරින්නෙම නැහැ වගෙයි?

රංගනය තමා මගේ ජීවිතය. මැරෙනකම් මං රඟපානවා.


රූපවාහිනියට 35යි ගුවන්විදුලියට 91යි
රුපියල් සත කලාවයි

අනුර මාධව ජයසේකර රචනා කළ 'රූපවාහිනියට 35යි - ගුවන්විදුලියට 91යි - රුපියල් සත කලාවයි කෘතිය නිකුත් වී ඇත.
රූපවාහිනි සහ ගුවන්විදුලි මාධ්‍යයන් වෙතින් පැමිණි තමන් මඟ සහ ඉදිරි දශකයේදී එහි ගතිකත්වය අළලා මෙම කෘතිය රචනා කර ඇත.


ජයකොඩි සෙනෙවිරත්නගේ රසකතා දොරට වඩී

සම්මානනීය ලේඛක ජයකොඩි සෙනෙවිරත්න රචනා කළ 'රසකතා' කෘතිය ජූලි 25 වැනිදා මරදානේ පූජ්‍ය එස් මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේදී නිකුත් කෙරේ.
සාහිත්‍ය නිර්මාණ සඳහා ම වෙන් වූ 1965 වසරේ සිට දවස ආයතනය විසින් සතිපතා පළ කළ 'රසකතා' පුවත්පතට උපහාරක් ලෙස එහි නිර්මාණ එකතුවකින් මෙම කෘතිය එළිදැක්වේ.