වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

අසූවේ තරුණයා සිරිල්

වේදිකාවෙන් කලාවට පා තබා හඳපානේ සත්සමුදුර තරණය කරමින් සිනමාව ජයගෙන දශක හයක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව යන මේ තෙවැදෑරුම් අංශයේම ජය කෙහෙළි නංවා ජීවන කලාවේ අසූවිය සැපිරුවත් තවමත් තරුණයකු සේ කලා ජීවිතයේ සැරිසරන සිරිල් වික්‍රමගේ නම් ප්‍රවීණ සම්මානනීය රංගධරයාට දීර්ඝායුෂ පතමි.

ලක්ෂ්මන් රණසිංහ

හේකිත්ත

වත්තල


ගංගා සහ නිශ්ශංක

එදා 'ගංගා සහ නිශ්ශංක' ටෙලි සිතුවමේ සුන්දර පෙම් යුවළ වූ චම්පා ශ්‍රියාණි සහ ලක්ෂ්මන් විජේසේකර යුවළ මෙදා වෙළෙඳ දැන්වීමකින් දකින්නට ලැබීම සතුටට කරුණකි. නැවතත් ඔබ දෙපල ටෙලි නිර්මාණයකින් දකින්නට ආසයි. ගංගා සහ නිශ්ශංක තවමත් අප මතකයේ රැඳී ඇත.

එස්. ඒ ප්‍රේමලතා

රුක්ගහතොටුපල

බණ්ඩාරගම


මොරීන් චාරුණීට

මා ඔබගේ රංගනයක් පළමුවෙන් දුටුවේ එදා 'රූමතියයි නීතියයි' චිත්‍රපටයේ මාලිනි ෆොන්සේකාගේ නැගනියගේ චරිතයට පණ පෙවූ විටදීයි. ඔබ සිනමා ටෙලි නිර්මාවල කළ රංගනයන් අපූරුයි. 'සිහින සොයා', 'වීර උදාර', 'සත්‍යා' හි රංගනයන් විශේෂයි. මැදි වියේ මවගේ චරිතයට ඔබ මැනවින් පණ පොන්නීය. ඔබගේ ඉදිරි අනාගතයද සාර්ථක වේවා.

ඊ. දයානන්ද ද සිල්වා

සීනිගම

හික්කඩුව


ඒ. ඩී රංජිත් කුමාරට ප්‍රණාමය

දැනට සිටින සහ ජීවතුන් අතරින් සමුගත් කලාකරුවන්ගේ අතීත තොරතුරු, මතකයන් මනා ලෙස එක්කර රසවත්ව මං පෙත හරහා අප වෙත ගෙන එන ඒ. ඩී රංජිත් කුමාරට අපගේ ප්‍රණාමය.

ජගත් චන්ද්‍රසිරි

පූජා ජගත්සිරි

මීරිගම පාර

පස්යාල


ක්ලැරිස්ට සිනමාව එපා වුණා ද?

පැරණි නිළියකව සිටි 'මාතලන්' චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පෙවූ ක්ලැරිස් ද සිල්වාට සිනමා ජීවිතය දැන් එපා වෙලා දෝ කියා අසන්න හිතුණා. ආයෙත් චිත්‍රපටයකින් දකින්න ආසයි.

තිලකරත්න විල්වල

මැණිකේ විල්වල

තටාකය පාර

කෑගල්ල


බොක්ස් ඔෆිස් නළුවා

'සුපර් සික්ස්', 'ප්‍රවේගය', 'ආදරණීය කතාවක්', 'සූම්', ' බන්ධනය' වැනි චිත්‍රපටවල රඟ පෑ හේමාල් රණසිංහ සිංහල සිනමාවට බිහි වූ බොක්ස් ඔෆිස් නළුවකු බව මගේ හැඟීමයි. නර්තනය සේම සටන්වලින්ද අනෙකුත් නළුවන් අබිබවා ඔහු පෙරට පැමිණ ඇත. නුදුරේදී තිරගත වන්නට නියමිත 'දේදුනු ආකාසේ' චිත්‍රපටයෙන් අලුත්ම රංගනය දකින්නට බලා සිටිමි. ඔබට ජය.

කෙනත් පෙරේරා

වැලිගම්පිටිය

ජා-ඇල


ලස්සන නිළිය රාධා

අතීතයේ අප දුටු ලස්සන නිළියක වූ රාධා ද මෙල් පසු කාලයේ නොපෙනීම ගිය මුත් ඇය රඟ පෑ නාට්‍ය නැවත විකාශය වන විට රංගන ක්ෂේත්‍රයට ඔබ වැනි නිළියක අහිමි වීම විශාල පාඩුවක් බව සිතේ. රාධා ද මෙල් නාගරික චරිත මෙන්ම ගම්බද චරිත ද මනා ලෙස නිරූපණය කරමින් කළ රංගනයන් ස්වභාවිකය. ඇය අපට සම්පතකි.

සුසිලා පතිරාජ

පුබුදුගම

උස්වැටකෙයියාව


සොඳුරු නිර්මාණකරුවා

යසපාලිත නානායක්කාර යනු සිංහල සිනමාවේ නව මං පෙත් විවර කළ නිර්මාණකරුවෙකි. 'තුෂාරා' චිත්‍රපටයෙන් සුවහසක් ප්‍රේක්ෂකයන්හට වින්දනයක් ලබා දුන් අධ්‍යක්ෂවරයෙකි. ඔහු වාණිජ සිනමාවේ සුවිශේෂි යුගපුරුෂයෙකි. ප්‍රේක්ෂක ආකර්ශනයට බඳුන්වූ 'තුෂාරා', 'අංජානා', 'නැවත හමුවෙමු', 'ගීතිකා', 'ජය සිකුරුයි' වැනි රස සාගර චිත්‍රපට රැසක් ඔහු තිළිණ කළේය. ජනප්‍රිය නිළි දිල්හානි ඒකනායක සිනමාවට හඳුන්වා දුන්නේද යසපාලිත විසිනි. ඔහු පුංචි තිරයට නිර්මාණය කළ 'පටලැවිල්ල' ද අමතක නැත. යසපාලිත නානායක්කාර නම් මේ සොඳුරු නිර්මාණකරුවා දිවියෙන් සමුගෙන ගියද සිනමාවට කළ සේවය සදා අනුස්මරණීය යි.

එච්. ඉන්ද්‍රපාල

ශ්‍රී සංඝමිත්තා මාවත

මුංහේන


එදා ගී අද ගී

පැරණි චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍යවල ඇතුළත් ගී අර්ථ රසයෙන් මෙන්ම මිහිරි තනුවෙන් ද දෙසවන් පිනවන සංගීතයෙන් පරිපූර්ණ වූ නිසා අදටත් ඒවා රසවිඳීය හැකිය. එහෙත් යථෝක්ත නිපැයුම් වෙනුවෙන් වර්තමානයේ නිර්මාණය කෙරෙන ගී දෙසවන් හිරිවට්ටන සුළුය.

සුනිල් චන්ද්‍රෙස්කර

යාගොඩමුල්ල

කොටුගොඩ


ග්‍රේෂන් හඬ පෙරට

අපගේ සිංහල සිනමාවේ චිත්‍රපට රැසකට ග්‍රේෂන් ආනන්ද නම් ගායන ශිල්පියා නිසාම ඒ චිත්‍රපට ඉතා ජනප්‍රිය වූවා. මනරම් හඬින් ගැයූ ගීත අප මතකයේ සදා රැඳී ඇත. ඔහුගේ පුත් මාරියෝ ආනන්ද එම ගීත ප්‍රසංග වේදිකාවේ ගායනා කරන විට අපට දැනෙන සතුට අපමණයි. ග්‍රේෂන් නම් ගායකයාගේ හඬ තව තවත් ඉදිරියට රැගෙන යන්නට ඔබට වාසනා වේවා.

මිල්ටන් ප්‍රනාන්දු

නව එක්සත් මාවත

මුදුකටුව


විනෝද සමයේ විනෝදය

'විනෝද සමයේ' තුන් කට්ටුව සැමුවෙල්, බර්ටි, ඇනෙස්ලි අපගෙන් සමුගෙන ගියත් ඒ අඩුව පුරවන්න අද සිටින විකටයන්ට නොහැකි වීම ගැන කනගාටු වෙමු.

ආතර් ජයකොඩි

ගාලේ කඩේ නිවස

ගලගම

බෙලිහුල්ඔය


මෙහෙම එපා

විමංසා කතාවට හිටි හැටියේ යම් යම් කොටස් අමුණන බව පෙනෙයි. ඒවා අගක් මුලක් නැති බව පෙනෙයි. ඒ නිසාම කතාවේ නීරස බව ඉස්මතුවන ව කිව යුතුමයි.

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව


අභියෝග ජයගත් මල්කාන්ති

මල්කාන්ති ජයසිංහ වේදිකාවෙන් රංගනයට පැමිණ පුංචි තිරය, සිනමාව තුළද අභියෝග ජයගත් රංගන ශිල්පිනියක ලෙසින් ඔබ අගයමි. පියකරු ඇස් දෙකක් හිමි ඔබෙගේ පවුලේ විස්තර ඡායාරූපද මෑතකදි පුවත්පතකින් දකින්න ලැබීම සතුටකි. තව තවත් උසස් නිර්මාණ තුළින් ඔබ දැකගන්න ලැබේවායි පතමි.

ඉන්ද්‍රානි ආරියවංශ

ගල්කිස්ස


සමාන හඬක්

ජාතික ගුවන්විදුලියේ ප්‍රකට නිවේදිකාවක වන නැසීගිය චන්ද්‍රා වයමන්ට සමාන හඬින් නිවේදන කටයුතු කරන දිනූෂා වෙත්තසිංහට අපගේ ප්‍රණාමය.

සරත් රණසිංහ

සරසවි නිවස

මාලිද

කපුගොඩ


ස්වර්ණා=චාන්දනී

ස්වර්ණා මල්ලවාරච්චි සහ චාන්දනී සෙනෙවිරත්න රුවින් හඬින් සමාන යැයි හැඟේ. අපේ රංගන ක්ෂේත්‍රයට සිටින දක්ෂතම රංගන ශිල්පිනියන් දෙදෙනකු ලෙසින් ඔවුන් සිනමාවට මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටද කරන්නා වූ මෙහෙවර අගයමි.

ශීලා සුභසිංහ

මාදින්නාගොඩ


ජනප්‍රියම තරු යුවල

මෙවර රයිගම් සම්මාන උලෙළේ ජනප්‍රියම තරු යුවල රුවන් සහ නයනතාරා යුවළට සුබ පැතුම්.

සුගත් ගමගේ

ජනිත් ප්‍රශාන්

සුනීතා ගමගේ

උදයපුර

අම්පාර


රුවන් සහ නයනතාරා ඔබට දෙපළට සුබ පැතුම්

රයිගම් සම්මාන උලෙළේ ජනපි‍්‍රයම නළු - නිළි යුවළ ලෙසින් පිදුම් ලද රුවන් සහ නයනතාරා ඔබ දෙපළගේ ඉදිරි කලා කටයුතු සාර්ථක වේවා.

සුනිල් ජයකොඩි

බෝගොල්ලාගම

නිකවැරටිය


ආදරණිය ප්‍රින්ස් වෙනුවෙන්

ආදරණීය ප්‍රින්ස් නමින් දැවැන්න සංගීත ප්‍රසංගයක් පවත්වා ඔහුගේ රෝහල් බිල ගෙවා දැමීමට සැලසුම් කළ කීර්ති පැස්කුවල් සහ ඒ වෙනුවෙන් දායක වූ සියලුම ගායක ගායිකාවන් ඇතුළුව නන් අයුරින් සහයෝගය දැක් වූ සියලුම දෙනාට ගෞරවනීය ස්තූතිය පළ කරමු.

ඉඹුල්ගොඩ අබේසිංහ

ශ්‍රියාණි ජයසිංහ

අලව්ව


සමන් එදිරිමුණිට

'සිඳු', 'දෙවැනි ඉනිම' වැනි තවත් ලස්සන කතා නිර්මාණය කර දක්ෂ අලුත් රංගන ශිල්පීන් ශිල්පිනියන් හඳුන්වා දෙන්න වාසනාව උදා වේවා.

සුනිල් බී වේහැල්ල

ගෝනපොල


දක්ෂතම නළුවා

මෑතකදී බිහි වූ නළුවන් අතර ඕනෑම චරිතයක් උපරිම අන්දමින් නිරූපණය කළ හැකි අයෙකු ලෙස පුබුදු චතුරංග හැඳීන්විය හැකිය. ඔබ ජාත්‍යන්තර මට්ටමේ රංගනයක් ඉදිරිපත් කරන දිනය වැඩි ඈතක නොවන බවද පවසමි. ඔබට සුබ පැතුම්.

නිමල් කුලසේකර

අඟලාන


සිනෙස්ටාර්ට ප්‍රණාමය

පුංචි තිරය හා සිනමාව උදෙසා රංගනයේ අනූපමේය සේවාවක් ඉටු කරන ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මැතිණියගේ අනූව වෙනි ජන්ම දිනය සිහිකරමින් උපහාර උලෙළක් සංවිධානය කළ සිනෙස්ටාර් පදනමට මගේ ප්‍රණාමය. අයිරාංගනී සේරසිංහ මැතිණියට දීර්ඝායුෂ පතමි.

දයාරත්න ගනේගොඩ

කැළණිය