වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




ජැක්සන් බොලිවුඩ් එයි

ජැක්සන් බොලිවුඩ් එයි

ලෝක සංගීත ඉතිහාසයේ නොමැකෙන නමක් සනිටුහන් කළ පොප් රජු ලෙසින් විරුදාවලි ලත් මයිකල් ජැක්සන් ගායනයෙන් පමණක් නොව නර්තනයෙන්ද ලොවම වසඟයට ගත් තරුවක් විය. ඔහුගේ ගීත පමණක් නොව නර්තන විලාසිතාවන්ද ලෝ ප්‍රකට වී අදටත් ජනප්‍රියව පවතින්නේ, එහි වූ විශේෂත්වය නිසාමයි. ඔහු මිය ගොස් වසර අටක් ගත වුවද දැන් නැවතත් මයිකල් ජැක්සන් රිදී තිරයේ ජීවමාන වී ඇති සැටියක් පෙනේ. ඒ බොලිවුඩයෙන් එන අලුත්ම සිනමා නිර්මාණයක් සමඟිනි.

මුන්නා මයිකල්, අමෙරිකානු පොප් රජු මයිකල් ජැක්සන්ගේ සංගීතය මෙන්ම නර්තනයට වහ වැටුණු වීදි තරුණයෙක්. මහින්දර් ෆවුජි යනු නර්තනයට ප්‍රිය කරන්නා වූ මැරයෙක්. Munna Michael චිත්‍රපටයෙන් කියන්නේ ඔවුන් දෙදෙනාගේ කතාවයි. සබීර් ඛාන් අධ්‍යක්ෂණය කර විකී රජානී නිෂ්පදනය කළ Munna Michael චිත්‍රපටය මෙලෙසින් රිදී තිරයේ දිගහැරෙන්නේ මයිකල් ජැක්සන් පිළිබඳ මතකය සමඟින්. අමාල් කින්ග්ගේ රචනයෙන් නිර්මාණය වූ මෙහි ටයිගර් ශ්රොෆ්, නවසුදීන් සිද්දික් සමඟ නිධී අග්‍රවාල් ප්‍රධාන චරිත නිරූපණය කරති.

2014 වසරේදී Heropanti චිත්‍රපටයෙන් සිනමාවට පිවිස Baaghi, A Flying Jatt චිත්‍රපටවල රඟපෑ ටයිගර් ඔහුගේ රංගනය සේම නර්තනය පිළිබඳවත් විචාරක චෝදනාවට ලක් වූ නවකයෙක්. මෑතකදී බොම්බේ ටයිම්ස් සමඟ කළ සාකච්ඡාවකදී ටයිගර් පවසා තිබුණේ, තමා විචාරකයන් පවසන දේ පිළිබඳ අවධානයෙන් සිටි නමුත් ඒ අතරින් තමන්ට ඉදිරියට යාමට උපකාරීවන අපක්ෂපාති විචාර පමණක් අනුගමනය කරන බවයි. කෙසේ නමුත් විචාරකයන් පිළිබඳ ලොකු ගෞරවයක් පවතින බවත් ඔහු සඳහන් කළා. එසේම එම විචාරකයන්ගේ මතයන් වැරදි සහගත බව ඉක්මනින්ම ඔප්පුකර පෙන්වන බවත් ටයිගර් සඳහන් කළා. "මම හරියට රේස් අශ්වයෙක් වගේ. මම බලන්නේ දිනුම් කණුව දෙස විතරයි. පළමුවෙන්ම එතැනට ගිය පසුව තමයි මම හිනා වෙන්නේ" ඔහු පවසනවා. Munna Michael චිත්‍රපටය ටයිගර්හට එම අවස්ථාව රැගෙන විත් ඇති බවයි පෙනෙන්නේ. ක්‍රියාදාම නර්තනමය චිත්‍රපටයක් වන එහිදී ටයිගර් සිය හැකියාවන් පෙන්වන්නට සූදානම්.

ඒ වගේම මේ චිත්‍රපටයෙන් බොලිවුඩයට තවත් අලුත් නිළියක් එක් වෙනවා. නිධී අග්‍රවාල් නම් ඇය වෘත්තිය කටයුතු අරඹන්නේ නර්තන ශිල්පිනියක් මෙන්ම මෝස්තර නිරූපිකාවක ලෙසින්. ව්‍යාපාර කලමනාකරණය පිළිබඳ උපාධිධාරිණියක වන ඇය බැලේ, කතක් නර්තන ශිල්පිනියක ලෙසින්ද කටයුතු කරන්නීය. තුන්සියයක් දෙනා අතරින් Munna Michael චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය ලද ඇය විසිහතර හැවිරිදිය. Munna Michael චිත්‍රපටයේ වැඩ අවසන් කෙරෙන තෙක් තරුණයන් සමගින් එළියට නොයන බවට ඇය සම්බන්ධයෙන් වූ ගිවිසුමේ සඳහන් වන බවත් බොලිවුඩයෙන් වාර්තා වෙනවා.

හෙට (ජූලි 21) සිට ලොව පුරා තිරගත කෙරෙන Munna Michael චිත්‍රපටයේ ඇතුළත් ගීත සංඛ්‍යාව දහයක්. "මයිකල් හැමදාම ජීවත් වෙනවා" ඒ අතරේ එන Beparwah ගීතයෙන් කියන්නේ එය යි. මෙම ගීතය මයිකල් ජැක්සන්ට උපහාරයක් වන ගීතයක් බවත් ආරංචියි. ඒ වගේම ටයිගර් විසින් මෙහිදී ඉදිරිපත් කෙරෙන නර්තනයේදී මයිකල් ජැක්සන්ගේ නර්තන විලාසිතාවන් හරියටම ග්‍රහණය කරගෙන ඇති බවත් කියවෙනවා. බොලිවුඩ් පුවත් වාර්තා කරන්නේ, එය බොලිවුඩ් රසික රසිකාවන් උමතු කරවනු ඇති බවයි. එසේම මෙම නර්තනයන් ටයිගර් ශ්රොෆ් හට ඉතාමත් වෙහෙසකර වූ බවත් වාර්තා වෙනවා.