වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




පුතුන් ත්‍රී මූර්තියෙන් යළිත් වසන්තය සිඩ්නි නුවරට

පුතුන් ත්‍රී මූර්තියෙන් යළිත් වසන්තය සිඩ්නි නුවරට

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ අගනුවර ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය සාඩම්බරයෙන් ඉදිරිපත් කළ 'යළිත් වසන්තය' සංගීත ප්‍රසංගය පසුගියදා සිඩ්නි නුවරදී පැවැත්විණි.

පියපුතු සෙනෙහස තේමා කර ගනිමින් සංවිධානය කළ මේ ප්‍රසංගය ගීතවත් කළේ දිවංගත විශාරද කපුගේගේ පුත් මිත්‍ර කපුගේ සහ දිවංගත මිල්ටන් මල්ලවාරච්චිගේ පුත් රනිල් මල්ලවාරච්චි යන තරුණ ගායක දෙපළ ය. මේ ප්‍රසංගය සංගීතවත් කළේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් සංගීතඥයකු වන ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නගේ පුත් අග්‍රා ප්‍රේමරත්න ප්‍රමුඛ සංගීත කණ්ඩායමයි. මේ සංගීත ප්‍රසංගයෙන් ලැබුණු ආදායමෙන් කොටසක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය -ශිෂ්‍යාවන්ගේ සුබ සාධන කටයුතුවලට යොමු කරනු ඇත.


ඇමති දරුවෝ-2 27 වැනිදා එළිදැක්වේ

ප්‍රවීණ ලේඛක ගුණරත්න ඒකනායක විසින් රචිත 'ඇමති දරුවෝ - 2' නවකතාව දොරට වැඩීම ජූලි 27 වැනිදා සොයිසාපුර නිපුන් පොත් මැදුරේදී සිදු කෙරේ. 'ඇමති දරුවෝ' කෘතියෙහි දෙවැන්න ලෙසින් නිකුත් වන මෙහි වත්මන් දේශපාලන තත්ත්වය සහ යොවුන් ප්‍රේමය ගැන ද ඇතුළත් වේ.

'යාපනය තවමත් ඈතයි', 'තෑගි ගොඩයි', 'සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි', 'ගඟ අසබඩ සුරංගනාවි' වැනි සම්මානනීය කෘති රැසක් ඔහු විසින් රචනා කර ඇත.


නොකර සද්ද එළිදැක්වෙයි

විජය සෝමරත්නගේ නවතම උපදේශාත්මක කාව්‍ය සරණිය නොකර සද්ද මෙම මස 22 වැනිදා සවස මහර විවේකාරාම දේශන ශාලාවේදී එළිදැක්වේ. සතිස්චන්ද්‍ර එදිරිසිංහ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මෙදින ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වේ.


‘කොළඹ නාට්‍ය කතිකාව’ සංවාද මාලාව 25

ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායම මෙහෙයවන 'කොළඹ නාට්‍ය කතිකාව' සංවාද මාලාව සෑම මසකට සිව්වැනි අඟහරුවාදා පස්වරු 5.00ට සිට 7.00 දක්වා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී අධ්‍යක්ෂවරු, පිටපත් රචකයෝ, නළු නිළියෝ, සිසුහු ඇතුළු රැසක‍ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙති.මෙවර මේ මස 25 වැනිදා නාට්‍ය කතිකාව පැවැත්වෙන්නේ ජර්මානු ළමා හා යොවුන් නාට්‍ය පිළිබඳ වාර්තා චිත්‍රපටය හා සංවාදයයි. මෙහෙයවීම නාට්‍යවේදී එම්. සෆීර් විසිනි. ‍