වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




ඇවිළෙන ගිනි නිවන්න අවුලන්න එපා

ඇවිළෙන ගිනි නිවන්න අවුලන්න එපා

- සුනිල් පෙරේරා

‘ජිප්සීස්’ කිව්වම කාටත් මතක් වෙන්නේ මේ රටේ සංගීත ක්ෂේත්‍රයට ඔවුන් තිළිණ කරපු නිර්මාණ රාශියක්. ඒ වගේම කණ්ඩායමක් වශයෙන් මේ සා දීර්ඝ කාලයක් ඔවුන් අඛණ්ඩව ක්ෂේත්‍රයේ රැඳී සිටීමත් එක්තරා අන්දමක සුවිශේෂීත්වයක්. මේ සියල්ලෙහි නොසැලෙන දැවැන්ත සෙවණැල්ල වෙන්නේ ජිප්සීස් නායක සුනිල් පෙරේරායි. ඔහුගේ කාර්යශූරභාවය, කළමණාකාරිත්වය, එකිනෙකා අතර පවත්වාගෙන යන ආදරණීය බැඳීම් සමුදාය, එකිනෙකා තේරුම් ගැනීම, අවංකභාවය, විශ්වාසය ආදී මෙකී නොකී ගුණාංග මේ ගමන් මඟේ බැඳීම් ශක්තිමත් කරන්න හේතු වෙනවා. ඒ සියලු කාරණාත් සමඟම යළිත් වරක් සමාජ ජාලා අතර ජිප්සීස් සුනිල් පිළිබඳව නව ප්‍රවෘත්තියක් හුවමාරු වෙමින් පැවතියා.

ඉන් කියවුණේ ඔහු කිසියම් පිරිසකගේ ප්‍රහාරයට ලක්ව ඇති බවකි. මේ සියලු කාරණා පදනම් කොට ගෙන ඔහුත් සමඟ වූ කතාබහකට පසුගිය දිනක අපි ඔහු හමුවන්නට ගියා. බැලූ බැල්මට නම් සුනිල්ට කිසිදු ප්‍රහාරයක් එල්ල වූවා යැයි සිතන්නට තරම් කාරණාවක් ඔහුගේ බාහිර ස්වරූපයෙන් අපට දකින්නට ලැබුණේ නෑ. සුපුරුදු පරිදි ඔහු සිය කාර්යාලයේ වැඩ කටයුතුවල නිරත වෙමින් සිටියා. පුරුදු සුහදත්වයෙන්ම අපව පිළිගත් ඔහුගෙන් ඉස්සරලම අපි විමසුවේ සමාජ ජාලා වෙබ් අඩවි හා ෆේස් බුක් හි හුවමාරුවන ඔහු ගැන වූ ප්‍රවෘත්තිය පිළිබඳවයි.

‘ඕක පටිටපල් බොරුවක්. එහෙම කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ. මට කවුරුවත් ගැහුවෙත් නෑ. මමත් දැක්කා ඔය නිවුස් එක සමාජ මාධ්‍ය ජාලා අතර හුවමාරු වෙනවා. මගේ ඔලුව බැන්ඩේජ් කරපු ඡායාරූපයකුත් හුවමාරු වෙනවා දැක්කා. ඕස්ට්‍රේලියාවෙනුත් මට කෝල් කරලා ඔය ගැන ඇහුවා. ඉතින් මම දකින විදියට රටේ පංගුවක් උදවිය මේ සිද්ධියෙන් කිසියම් වින්දනයක් ලබනවා. කෙනෙකුට අපහාස කරලා එවන් වින්දනයක් ලබන උදවියත් ඉන්නවනේ. හැබැයි ඉතින් ඕකෙන් කරදරයක් වෙන්නේ ඕක කරපු උදවියටමයි.

අපි කට්ටිය ඔක්කොම කුස්සියේ
මොනවද කරන්නේ
මුළු පවුලම සෙට්වෙලා කුස්සියේ
මොකක්ද කලබලේ
අද දුවලා, නෝනලා
අක්කල නංගිලා අම්මත් අද ඉන්නේ
අපි කුස්සියේ - අපි කුස්සියේ . . . අපි කුස්සියේ නටන්නේ . . .
අපි කුස්සියේ - අපි කුස්සියේ - අපි කුස්සියේ නටන්නේ . . .

‘අනුන් හෙළන්න වලක් කපන්නා

ඒ තුළ වැටිලා මිය යන්නා . . .’ කියලා කතාවක් තියෙනවානේ. ඒ හින්දා ඕවට මම සැලෙන්නේ නෑ. විවිධ දේවල් කියලා කරලා මිනිස්සුන්ට පෙන්වන්න හදනවා මම නරක පුද්ගලයෙක් කියලා. අපහාස කරන්න දෙයක් අන්තර් ජාලයට දැම්මටවත්, මං ගැන බොරු නිවුස් දැම්මටවත් මාව නම් හොලවන්න බෑ. අවුරුදු 47 ක් තිස්සේ මම මේ ගමන ආවේ ඔය වගේ අපහාස උපහාසවල ගොඩැලි මත්තෙන් තමයි. අලුතින් මේ ක්ෂේ්ත්‍රයට එන කෙනෙක් නම් ඕවයින් තැති ගන්න පුළුවන්. අවුරුදු ගණනාවක් තිස්සේ මම ඕව හොඳට දන්නවා. මට පහර දෙන්න රාජපක්ෂලාත් සම්බන්ධයි කියලත් ඒ නිවුස් එකේ තිබුණා. එහෙම කිසිම දෙයක් වුණේ නැතුව මෙහෙම බොරු කොහොම නිර්මාණය කරනවද මන්දා. හැබැයි ඉතින් පසුගිය රෙජිමේන්තුව මාරු කරන්න නම් මමත් දායක වුණා. ඒ දායක වෙච්චකමට රාජපක්ෂලාට ගැත්තෝ මාත් එක්ක තරහ ඇති. ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ. මම පක්ෂයක් එක්ක වැඩ කරන කෙනෙක් නොවෙයිනේ.’

සුනිල් කලාව පිළිබඳ උපන් ළෙන්ගතු බවකින් යුතුව කටයුතු කරනවා සේම සමාජ ක්‍රියාකාරියකු වශයෙන් ඒ ඒ යුගයන්වලදී සුදුසු ආකාරයෙන් ක්‍රියා කරන්නට නොබියව ඉදිරිපත් වූවෙකි. ඒ ආකාරයෙන්ම පසුගිය කාලයේ පවතින රජය පත් කිරීමට ද ඒ වෙනුවෙන් කතා කිරීමට ද ඉදිරිපත් වූ කලාකරුවන් අතර සුනිල් ද ප්‍රමුඛයෙකු වූවේය.

‘මේ රජයේ පංගුවක් දේවල් අපි අනුමත කරන්නේ නෑ. පසුගිය දිනවල රන්ජන් රාමනායකත් මේ ගැන ලස්සනට කියලා තිබුණා. ඒ ටිකම තමයි මටත් කියන්න තියෙන්නේ. මේ ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට කාරෙකක් ඕන තමයි. නමුත් ලක්ෂ 400 - 350 ක කාරෙකක්ම ඕනද? මේ රජයේ මන්ත්‍රීගොල්ල, ඇමතිගොල්ල එහෙම ගන්නකොට අපිට හරි ලැජ්ජයි. අපි බලාපොරොත්තු වුණු බොහෝ දේ ඉටු කර ගන්න බැරි වුණා. නමුත් පංගුවක් දේ කරගන්න පුළුවන් වුණා.

තෙරතුරු පනත වගේ. නමුත් විගණන පනත ගේන්න දුන්නෙ නෑ. මොකද ඒ අය බයයි ආණ්ඩුවේ ඉන්න අයට විගණනය වෙනවට. නමුත් අපි උත්සාහ කරනවා. එකම දේ තියෙන්නේ කවුරුහරි ඇහුවොත් අපිට කියන්න පුළුවන් මේ රජය තුළ අපි උත්සාහ කරනවා කියලා. නමුත් පසුගිය රජය තුළ උත්සාහ කරලත් වැඩක් නෑ. උත්සාහ කරන්න බයයි. කලාව පැත්තෙන් නම් විශේෂ දෙයක් කෙරිලා නෑ. සෑම රජයකටම වාගේ සිද්ධවෙන රජයට ඉස්සරහට යන්න දෙන්නේ නැති ගතිය මේ රජයටත් තියෙනවා. රාජ්‍ය සේවයේ ඉහළ පෙළේ ඉන්න සමහරු තවමත් කකුලෙන් අදිනවා. ඒක හරි නරකයි. තමන් මේ රටට ආදරේ නම් හරි දේට, හොඳ දේට උදව් කරන්න ඕන. තමන් වැඩ කරන ආයතනය දුවන්නේ පාඩුවට නම් තමන් දුක්වෙන්න ඕන. තමන්ගේ ඉල්ලීම් හා අයිතිවාසිකම් දිනාගන්න විතරක් ඉදිරිපත් වෙලා බෑ. ආයතනය නංවන්න හැමදෙනාම එකතු කරගෙන ඉදිරියට යන්න ඕන.

තමන් කරන හොඳ හෝ නරක දේ අනුව තමයි තමන්ට ප්‍රතිවිපාක ලැබෙන්නේ’. සුනිල් කියයි. ඔහුගේ බොහෝ ප්‍රකාශයන් සහ ක්‍රියා කලාපයන් බෞද්ධ දර්ශනයට බෙහෙවින් ළඟයි. එහෙත් අප දන්නා සුනිල් පෙරේරා උපතින් කතෝලිකයෙකි. එහෙත් ඔහු දැන් ඔහුගේ ජීවන ගමන් මඟ සකසාගෙන ඇත්තේ බෞද්ධ දර්ශනයට අනුවය.

‘මම පන්සල් පල්ලි යන්නේ නෑ. මම උපතින් කතෝලිකයෙක්. ඒත් මගේ ජීවිතේ දැන් හුඟක් විශ්වාස කරන්නේ බෞද්ධ දර්ශනය. අපේ රටේ උදේට පිරිත් දාලා තමයි දවස පටන් ගන්නේ. හැම වෙලේම බණ කියන, බණ අහන රටක් මේක. ඒ කොච්චර කිව්වත් මට නම් දැනෙන්නේ බුදුහාමුදුරුවන්ගේ දර්ශනේ අපේ රටේ වෙන්නේ නෑ කියලයි. මින්ස්සු හරි ිනපුරුයි. කුහකයි. තමන්ට ලාභදායී දෙයක් නම් කොච්චර නරක ක්‍රමයකින් හරි ඒවා ලබා ගන්න පුරදු වෙලා ඉන්නවා. උඩ සිට පහළටම ඒ පුරුද්ද තිබෙනවා. මම විශ්වාස කරන හැටියට හොඳ දේ කරලා හරි දේ කළෙත් තමන්ටත් දරුවන්ටත් හොඳ දෙයක් ලැබෙයි. බුදුන් වහන්සේ කියලා නෑනේ අනුන්ට වෛර කරන්න කියලා. එහෙම වෛර කර කර බුදුන් වැඳලා වැඩක් තියෙනවාද. මට දවසක් එක් කෙනෙක් කිව්වා වෙද මහත්තයට වැන්දට වැඩක් නෑ වෙද මහත්තයා දෙන බේත් බිව්වෙ නැත්නම් ලෙඩේ සනීප වෙන්නේ නෑ කියලා. ඒ වගේ තමයි අද කොයි තරම් නම් මේ රටේ මිනිස්සු වෛරය වපුරනවද? මුස්ලිම් මිනිස්සුත් එක්ක. කොච්චර නරකද? ඇයි මිනිස්සුන්ට ආදරේ කරන්න බැරි. හැම මුස්ලිම් මිනිහම අන්තවාදියෙක් නොවෙයි. අපි එහෙම ආදරේ කරන කොට අපිටත් ආදරේ ලැබෙයි.

ඇවිළෙන තැන නිමන එකද හොඳ, තව අවුළන එකද? සුනිල් ප්‍රශ්න කරයි. ඔහුට අවශ්‍ය වනුයේ සියලු දෙනා සැපෙන් සනීපෙන් ජීවත්වන යහපත් සමාජයකි. ඒ තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය තිබිය නොහැකිය. ඒ සියල්ල නැති කරන්නට මිනිස්සුන්ට ආදරය කරන්නට පුරුදු වන්නැයි ඔහු ආයාචනය කරයි.

සුනිල්ගේ ජීවිතේ සුන්දරතම ස්ථානය සිය නිවහනයි. ඔහුත් බිරිඳත් මේ ගෙවනුයේ සිය විවාහ දිවියේ 35 වැනි වසරයි. සුනිල්ට දැන් වයස අවුරුදු 65 කි. බිරිඳට අවුරුදු 50 කි. මේ දෙදෙනා දැන් අදරැති ආච්චී හා සීයා වී හාමරය. මිනිබිරියන්ම තිදෙනෙකි. ඉන් දෙදෙනකුම වාසය කරන්නේ සුනිල් හා බිරිඳ සමඟ ඔහුගේ නිවසේමය.

මම විවාහ වෙලා ඉන්නේ බෞද්ධ කාන්තාවක් සමඟ. අපි දෙන්නගේ පවුල් ජීවිතේ අපි හරිම සතුටින් ගෙවනවා. මගේ බිරිඳ මගේ ජීවිතේ ලොකුම වාසනාව කියලා මම හිතනවා. අපි හැමදේ ඇතුව උපන් අය නෙවෙයි. දුර්වලතා, අඩුපාඩු තිබුණා. මගේ තරුණ කාලෙත් ප්‍රශ්න තිබුණා. ඒවා ඔක්කොම මගේ වැරැදි නිසා මිසක් බිරිඳගේ වැරැදි නිසා නොවෙයි. දැන් ඒ වැරැදි හදාගෙන අපි ඉතාම සුන්දර ජීවිතයක් ගෙවනවා. මගේ ජීවිතේ මම කැමතිම තැන ගෙදර. කලාවට මගේ යම්කිසි කැමැත්තක් තිබෙනවා තමයි. නමුත් කලාව හරියට කරන්නත් ගෙදර බිරිඳත් සමග ගෙවන ජීවිතේ සුන්දර වෙන්න ඕනෑ. දැන් මම සීයා කෙනෙක්. මිනිබිරියොම තුන් දෙනෙක් අපට ඉන්නේ. අපි ඉතාම ප්‍රිතිමත් ජීවිතයක් ගෙවනවා. ඒ සතුට ලබන්න වැඩිය මහන්සි වෙන්න ඕනෑ නෑ. අපි එකිනෙකාට ආදරේ කරන්න ඕනෑ. සැක ඇති කරගන්න නරකයි. මහා ලොකු සල්ලියක් ඕනත් නෑ. ජීවත්වෙන්න ඇති හම්බ කරන මුදල. වෙලාවකට වැඩිත් එක්ක. ඒ වෙලාවට මම අන් අයටත් ඒවා ලබා දෙන්න වැඩ පිළිවෙළක් සකස් කර ගන්නවා. මට මහා ලොකු බලාපොරොත්තු නෑ. නිර්මාණ කරන එක පුළුවන් කල් කොහොමත් කරනවා. ලක්ෂ 400 - 500 කාර්වල යන්න ආසාවක් නෑ. අපේ වැඩ කරගන්න හැකි තරම් වාහනයක් තියෙනවා. ඉතින් තව මොනවද?

පහුගිය දවස්වල අපි අලුත් සින්දුවක් කළා. ඒකට අපේ පවුලේ අම්මලා, නංගිලා, අක්කලා, මල්ලිලා, දරුවෝ ඔක්කොම සහභාගි වුණා. මේ දවස්වල යූ ටියුබ් එකෙන් බලන්න පුළුවන්.

‘කුස්සියේ’ කියලා තමයි ඒක නම් කළේ. අපේ පවුලේ සියලු දෙනා සහභාගිවෙලා කරපු පළවෙනි ගීතය මේක.

‘අද තමයි ඔක්කොම කුස්සියේ

මොකද කරන්නේ . . . .’

මේ ගීතයේ සංගීතය නිර්මාණය කළේ පියල් මල්ලි, ගීතය රචනා කළේ චන්ද්‍රදාස ප්‍රනාන්දු.