වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




නන්දා මාලිනීගෙන් අලුත් පරපුරක්

නන්දා මාලිනීගෙන් අලුත් පරපුරක්

‘හඳහාමී’, ‘සින්දු හෝඩිය’, ‘ලස්සන මල් පිපිලා’ වැනි අපූරු ළමා ගී නිර්මාණ රාශියක් දායාද කළ විශාරද නන්ද මාලිනි මෙරට ළමා පරපුර වෙනුවෙන් සංගීත දැනුම ලබාදීමටද කැප වී කටයුතු කරනවා. ස්වර සටහන් සහිත ළමා ගී රචනා ඇතුළත් පොත් ගණනාවක් ද දරුවන්ට ප්‍රදානය කළ ඇයගේ නන්දා මාලිනි සංගීත ආශ්‍රමයට නවක සිසු සිසුවියන් බඳවා ගැනීම මේ දිනවල සිදු කෙරෙනවා.

එහිදී කුඩා දරු දැරියන් සඳහා කටහඬ පුහුණුව වෙනුවෙන් මූලික ස්වර අභ්‍යාස සහිත දරුවන්ට පහසුවෙන් ගායනා කළ හැකි මධුර ගීත මාලාවන් ද ඇතුළුව දේශීය ජන ගායනා සහ රාගධාරි විෂය ඇතුළත් සංගීත පාඨමාලාවක්ද, ඉන්දියාවේ භාත්ඛන්ඩේ සංගීත විද්‍යාපීඨයේ ප්‍රවේශිකා, ප්‍රථම සහ ඩිප්ලෝමා පාඨමාලාවන්ද හැදෑරිමට අවකාශ සැලසෙනවා.


කලාකරුවන්ට විශ්‍රාම වැටුප්

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය උදෙසා තම දායකත්වය ලබා දෙන කලාකරුවන්ට වෘත්තීමය පිළිගැනීමක් හා සමාජ සුරක්ෂිතතාවයක් ඇතිකිරීම වෙනුවෙන් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය හා ඒකාබද්ධ ක්‍රියාත්මක කරන කලාකරු දායකත්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා කලාකරුවන් බඳවා ගැනීම වෙනුවෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා වන අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී වෙතින් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ඹඹඹ.ජභතබභපචතඤඥනබ.ඨධම.තඬ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ බත්තරමුල්ල සෙත්සිරිපාය, 08 වන මහලෙහි පිහිටි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත පැමිණ හෝ ලබාගත හැක.

කලාකරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකවීම සඳහා මෙරට කලාවන්ට සක්‍රීය දායකත්වයක් සිදුකර තිබීම හා මෙම නොවැම්බර් 15 දින වයස අවුරුදු 23 ත් 55 ත් අතර අයකු වීම හා රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ කිසිදු විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන කලාකරුවකු වීම සුදුසුකම් වෙයි.

තම වයස, ගෙවීමේ හැකියාව සහ විශ්‍රාම වැටුප් වාරිකය මත පදනම වන මාසික වාරික මුදලක් ගෙවීම මගින් කලාකරුවා මෙම විශ්‍රාම වටුප් ක්‍රමයට තම දාකත්වය ලබාදෙයි.

කලාකරුවාට වයස අවු. 60 සම්පූර්ණ වූ පසු තමා ගෙවූ වාරික මුදලට සරිලන විශ්‍රාම වැටුපක් සමාජ ආරක්ෂණ මණ්ඩලය වෙතින් ලබාගත හැකි වන අතර මෙම නොවැම්බර් 15 දින හෝ ඊට පෙර නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත භාරදිය යුතු වෙයි. වැඩි විස්තර සඳහා 0112882592 දුරකථනය ඇමතීමෙන් ලබාගත හැකිය.


හීරෝ නීරෝ එන සිකුරාදා

හීරෝ නීරෝ නමින් ළමා සිනමාපටයක් ලබන 11දා සිට තිරගතවීමට නියමිතය. එය ප්‍රදීප් මහේෂ් ලියනගේ ගේ කුළුඳුල් චිත්‍රපටයයි. සංගීතා වීරරත්න, නිල්මිණි තෙන්නකෝන්, නිරෝෂන් විජේසිංහ, දුලීකා මාරපන මෙහි රංගනයෙන් දායක වෙති. හීරෝ නීරෝ සමඟින් තවත් නළු නිළියන් පිරිසක් තිරයට හඳුන්වා දෙයි. ඒ ඔටාරා ගුණවර්ධන, පවිත් තනුර, චානක මදුශාන්, මලිදු තිවංක, නිහිදු ඔමාලි, සොනාල් ස්ටේෆාන්, පෝෂිනී නදී කුමාරි, රෙහාන් ආවින්ද, මමෝජ් වික්‍රමසිංහ, තිළිණ ලක්ෂාන් ඇතුළු පිරිසයි. රෝයි ද සිල්වා, රන්ජන් රාමනායක, තිසර චානක, සුනිල් ප්‍රේමකුමාර, ප්‍රේමදාස විතානගේ, ඩී. බී. ගංගොඩතැන්න, ලක්ෂිකා ෆොන්සේකා, සංගීතා තදානි, අංජලී ලියනගේ, සුගත් ජානක මෙහි ගරු රංගනයෙන් දායක වෙති.


යාපා, පුන්සිරි, කරු කතරගමදී උපහාර ලබති

ශ්‍රී සුමන අභයදාන සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී සුමන අභයදාන පුණ්‍ය මහෝත්සවය 11 වැනි වරටත් මෙම මස 04 - 05 යන දිනයන්හිදී කතරගම පූජාභූමියේදී පැවැත්වේ. පූජ්‍ය මීගහවෙල සුමනශාන්ත හිමියන්ගේ සංවිධායකත්වයෙන් ඇරඹෙන මෙම පින්කම් මාලාවේදී වියපත් කලාකරුවන්ට හා සුවිශේෂී සමාජ මෙහෙවරක් කළ පුද්ගලයින්ට සම්මාන පිරිනැමීමක්ද සිදු කෙරේ.

මෙහිදී සිනමාව වෙනුවෙන් කළ සේවය ඇගැයීම නිමිතිකොට සුගතපාල සෙනරත් යාපා මහතාටද, බෞද්ධ ගීත උදෙසා කළ සමාජ මෙහෙවර වෙනුවෙන් පුන්සිරි සොයිසා ගායන ශිල්පියාටද, ටෙලි නාට්‍ය රංගනයෙන් අඛණ්ඩව ගැමි චරිත නිරූපණය කිරීම වෙනුවෙන් කේ. ඒ. පියකරු රංග ශිල්පියාටද, සාහිත්‍යයට ජ්‍යෝතිෂයට හා කවියට කළ සුවිශේෂ කාර්ය වෙනුවෙන් ගංගොඩගම පණ්ඩිත සිරිවිතාරණ මහතාට, ආගම දහම සාහිත්‍ය වෙනුවෙන් කළ ශාසනික මෙහෙවර වෙනුවෙන් කතරගම ගලහිටිය සිරිසුමනාරාම විහාරාධිපති මොණරාගල හම්බන්තොට පළාත් දෙකේ ප්‍රධාන අධිකරණ සංඝනායක මතුගම සුමනසිරි හිමි මෙහිදී සම්මානයට ලක්වෙති.

මෙහිදී කිරිවෙහෙර වහන්සේට කප්රුක් පූජාව, කිරිආහාර පුජාව ඇතුළු පුජාවන් රැසක්ද කතරගම දෙවියන් උදෙසා විශේෂ දේව පූජාවක්ද, මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීම, දිළිඳු ගම්වැසියන් සියදෙනෙකුට වියලි ආහාර මලු බෙදාදීම, පාසල් දරු දැරියන්ට පොත්පත් බෙදාදීම ඇතුළු පින්කම් මාලාවක්ද මෙහිදී පැවැත්වේ.


නේපාල පටාචාරා ළඟදීම ලංකාවට

ප්‍රකට බෞද්ධ කතාවස්තුවක් වන පටාචාරා මහරහත් තෙරණින් වහන්සේගේ කතාව අලළා නේපාලයේදී නිෂ්පාදනය කරනු ලැබූ ‘පටාචාරා’ සිනමා පටය මෙරට සිනමා ශාලාවන්හි ළඟදීම තිර ගතවනු ඇත.

සිනෙටික් සී. එස් සමාගම සහ පූඩළුඔය ප්‍රකාශ් සිනමා ශාලාව එක්ව මෙම චිත්‍රපටයේ ප්‍රදර්ශන කටයුතු සිදු කිරිමට නියමිතය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයේ පටාචාරවන් විසූ පැරණි උතුරු ඉන්දියාවේ (වර්තමානයේ නේපාලය) එම අදාළ සිදුවීම් සිදු වූ ස්ථානවලදීම මෙම පටාචාරා සිනමාපටය රූගතකර තිබිම විශේෂත්වයකි.

මෙලීනා මනන්දාර්, කර්මා, මනන්දාස්, ෂෙස්ථා ලක්ෂ්මි ගිරි, බට්සා ශාක්‍යා ඇතුළු නේපාල නළු නිළියන් මෙහි රංගනයේ යෙදෙති. අධ්‍යක්ෂණය රාම් ක්‍රිෂ්ණා කඩීචි ගෙනි. ඩිජේන්ද්‍ර ශාක්‍යාගේ නිෂ්පාදනයකි. රබී ශ්‍යාම් කැමරාව මෙහෙයවා තිබේ. ශර්ජු පිකාස්ගේ සංස්කරණයකි. ‘පටාචාරා’ මුදා හැරීම ජාතික චිත්‍රපට සංස්ථාවේ රිද්මා මණ්ඩලය මඟින් සිදු කෙරේ.


රජා මමයි කොළඹට නෑ

කල්යාණ චන්ද්‍රසේකරගේ නවතම සිනමා නිර්මාණය ‘රජා මමයි’ මේ දිනවල කොළඹින් පිට සිනමා හල් රැසක සාර්ථකව තිරගත කෙරේ. බින්දු බෝතලේගම, මාධි පණ්ඩිතරත්න, ඉන්දික දේශප්‍රිය, ප්‍රේමදාස විතානගේ, දයාසිරි හෙට්ටිආරච්චි, සුනිල් ශ්‍රී ආරියසේන ගමගේ, තුලිත වෛද්‍යසේකර, හෙලන් රෙනෝල්ඩා, මානෙල් චන්ද්‍රලතා, මංජුල බණ්ඩාර, කීර්ති රංජිත් පීරිස්, රුවන් අමරසේකර, ගාමිණි කොස්තා සමඟින් හඳුන්වා දෙන දිල්හාණි වීරසිංහ සහ අමීරා දිව්‍යාංජලී ඇතුළු පිරිසක් ‘රජා මමයි’ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙති.

නිෂ්පාදනය එම්. පාරිස්ටර් විසිනි. භාතිය මදනායක තිරරචනයෙන්ද, ගාමිණි කොස්තා වේෂ නිරූපණයෙන්ද, දයා සූරියආරච්චි කැමරාකරණයෙන්ද, සරත් වික්‍රම සංගීත අධ්‍යක්ෂණයෙන්ද, ලලින්ද්‍ර බී. ප්‍රනාන්දු සහය අධ්‍යක්ෂණයෙන්ද ‘රජා මමයි’ චිත්‍රපටය සඳහා දායක වී ඇත. කොළඹ නගරය ආශ්‍රිත සිනමා ශාලාවල තිරගත නොවූවද ‘රජා මමයි’ චිත්‍රපටය පිට පළාත්වල තිරගත කිරීම ඉහළ සාර්ථකත්වයක් ළඟාකර ගැනීමට සමත් වී ඇතැයි අධ්‍යක්ෂ පවසයි.


මායා තෙවැනි මාසයට

ඩොනල්ඩ් ජයන්තගේ මායා සිනමාපටය ජයග්‍රාහී තෙවැනි මාසයටත් තිරගත වෙයි. එය ඉමහත් ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වන බව අධ්‍යක්ෂවරයා සරසවියට දැන්වීය. රන්ජන් රාමනායක, පුබුදු චතුරංග, උපේක්ෂා ස්වර්ණමාලි, ගිරිරාජ් කෞශල්‍ය, නිල්මිණි කෝට්ටේගොඩ, ශෙහාරා හේවාදේව ආදී නළු නිළියන් රැසක් රඟපෑ මායා ආර්. සදේශ් කුමාර් සමඟ ශ්‍රීමති සදේශ් කුමාර් නිෂ්පාදනය කොට තිබේ.


 

චිත්‍රපට සංස්ථා දුරකථන නාමාවලිය - 2017 යාවත්කාලීන කෙරේ

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන සිනමා ශිල්පී දුරකථන නාමාවලියෙහි 2017 වෙළුම සහ ඊට අදාළ මුද්‍රිත නාමාවලියෙහි ඛ්ච් තැටිය මේ වනවිට සම්පාදනය කරමින් සිටියි. එය යාවත්කාලීන කිරිම සඳහා නව තොරතුරු ලබා ගැනීමද සංස්ථාව අපේක්ෂා කරයි. එබැවින් ඊට ඇතුළත් කිරීම සඳහා දැනට චිත්‍රපට සංස්ථාව විසින් මුද්‍රිත සිනමා ශිල්පී නාමාවලියට ඇතුළත් සියලු ශීල්පීන් ඔවුන්ගේ තොරතුරු නිවැරිදි කළ යුතුව ඇත්නම් ඒ පිළිබඳ සංස්ථාවට ලිපියක් මඟින් දැන්විය යුතුය. ඊට අමතරව නවක ශිල්පියකු ලෙස සිනමා කර්මාන්තයට සම්බන්ධ වී සිටින ශිල්පීන් නාමාවලියට ඇතුළත් වීම සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය.

චිත්‍රපටයකට අදාළ අංශයන් නියෝජනය කළ ශිල්ප/ශිල්පීන් ඔවුන් දායකත්වය සැපයූ එක් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වී තිබිය යුතුය. එමෙන්ම චිත්‍රපට තුනකට දායකත්වය සපයා තිබිය යුතුය. ඔහුගේ හෝ ඇයගේ නම චිත්‍රපට නාමාවලියට ඇතුළත්ව තිබිය යුතුය.

එම කරුණු සම්පූර්ණ කර ඇති ශිල්පීන් ඔවුන්ගේ නිවැරිදි ලිපිනයන් දුරකතන අංකයන්, ඊ මේල් සහ වෙබ් ලිපිනයන් නොවැම්බර් මස 11 දිනට පෙර පහත ලිපිනයට ලිපියක් මඟින් දැන්විය යුතුය. නිවැරිදි කිරීම් ද එම ලිපිනයට යොමු කළ හැකිය.

මාධ්‍ය හා ප්‍රචාරක නිලධාරි

අලෙවි, නිෂ්පාදන හා පර්යේෂණ අංශය,

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව,

අංක 303, බෞද්ධාලෝක මාවත,

කොළඹ 07.

එම ලිපි යොමු කිරීමේදී ලිපි කවරයේ වම්පස ඉහළ 'සිනමා ශිල්පී, දුරකතන නාමාවලිය - 2017' යනුවෙන් සඳහන් කළ යුතුය.