වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්දියාව කැලඹූ Ae Dil Hai Mushkil

ඉන්දියාව කැලඹූ Ae Dil Hai Mushkil

 

නුඹයි මගේ ගමන

නුඹයි මගේ අවසන් නැවතුම

නුඹ නැති ජීවිතය

අහෝ ! දුකකි

නුඹයි මගේ දෙවියන්

නුඹ නැති ජීවිතය

අහෝ ! දුකකි

නුඹේ දුරස් බව

කරයි මා පිරික්සා

හැම මොහොතකම

අවැසිද නුඹ මට

නුඹට යහපතක් වීම

මගේ ආසාවයි

මගේ ආත්මය මගේ නොවේ

මගේ ශරිරය මට අයිති නොවේ

දුකක්ම වුව

මා ලැබුවේ නුඹගෙන්

නුඹෙන් ලැබුණු දුක

ත්‍යාගයකිය මට

මගේ අහස නුඹ

පොළව සොයා සොයා යයි

පොළොවෙහි නැති නම්

සොයනු මා අහසෙහි

ඇරඹු ගමන මා

වෙනස් නොවේ

අරමුණ මත

ගමන සුන්දරය

අරමුණට වඩා

Ae Dil Hai Mushkil  තේමා ගීතය කියන්නේ එයයි. බොලිවුඩයට එක්වූ නවතම සිනමා සිත්තම ලෙසින් Ae Dil Hai Mushkil  පසුගිය 28 වැනිදා සිට තිරගත වීම ඇඹිණි. Ae Dil Hai Mushkil  ආදර සබඳතාවන් සහ ඒ සමඟින් සිදුවන බිඳීම් අලළා නිර්මාණය වී ඇත. ජනප්‍රිය සිනමාකරුවකු වන කරන් ජොහාර් විසින් තිරරචනය කර අධ්‍යක්ෂණය කළ එයට කරන් සමඟින් අපූර්වා මෙහෙතා සහ හිරු යාෂ් ජොහාර් නිෂ්පාදන දායකත්වය ලබා දී තිබේ. සම්මානනීය සංගීත අධ්‍යක්ෂ ප්‍රීතම්ගේ සංගීතයෙන් ඔපවත් වී ඇති Ae Dil Hai Mushkil  කැමරාකරණය ප්‍රවීණ කැමරා ශිල්පී අනිල් මෙහෙතා විසින් සිදුකර ඇත.

සිය පෙම්වතාගෙන් දුරස්වීම නිසා වේදනාවෙන් පසුවන මුස්ලිම් ජාතික තරුණියක වන ඇලීස් ඛාන් හින්දු ජාතික යොවුන් ගායකයකු වන අයාන් සමඟින් පෙමින් බැඳේ. ඇලීස් සහ අයාන්ගේ ආදර කතාව කියන්නේ Ae Dil Hai Mushkil  චිත්‍රපටය යි. මෙහිදී ඇලීස්ගේ චරිතයට අනුෂ්කා ශර්මාද අයාන්ගේ චරිතයට රන්බීර් කපූර් විසින්ද පණ පොවනු ලබයි. ඓෂ්වර්යා රායි බච්චන් මෙහි එන තවත් ප්‍රධාන චරිතයක් වන සබා තලියාර් ඛාන්ගේ චරිතයට පණ පොවනු ලබයි.

බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන් ද මෙහි ඔහු ලෙසින්ම රංගනයේ යෙදෙන කොටසක්ද ඇතුළත් වේ. පකිස්තානු නළු ෆාවද් ඛාන් Ae Dil Hai Mushkil හි විශේෂිත රංගනයක නිරත වීය. ඔහුගේ රංගනයද සමඟින් Ae Dil Hai Mushkil  චිත්‍රපටයට අර්බුදයකටද මුහුණ දෙන්නටද සිදු වුණි. පසුගිය කාලයේ ඉන්දියාව සහ පකිස්තානය අතර ඇති වූ ගැටුමක් නිසා බොලිවුඩ් සිනමාව තුළ පකිස්තානු නළු නිළියන්ට තහනමක් පැන නැඟුණු අතර ඔවුන්ගේ දායකත්වය ලද සිනමා නිර්මාණවලට තහනම් නියෝග පැනවුණි. Ae Dil Hai Mushkil  චිත්‍රපටයද මෙම අර්බුදයට අතරමැදි වූ ප්‍රධාන පෙළේ චිත්‍රපටයක් බවට පත් විය. ඒ ෆාවද්ගේ රංගනය හේතු කොටගෙනය. කෙසේ නමුත් මෙම තත්ත්වය පහවගොස් ඇති අතර බොලිවුඩ් චිත්‍රපටයක් වීම හේතුවෙන් Ae Dil Hai Mushkil  අනෙකුත් රටවල තිරගත වුවද පකිස්තානය තුළ තිරගත නොවනු ඇත.

එසේම Ae Dil Hai Mushkil  චිත්‍රපටය අපහසුතාවයට ලක් කළ තවත් කාරණාවක් විය. ඒ මෙම චිත්‍රපටයේ ඓෂ්වර්යා සහ රන්බීර් අතර ඇති පෙම් ජවනිකාවන්ය. චිත්‍රපටය තිරගතවීමට පෙර සිටම මේ පෙම් ජවනිකා පිළිබඳ අමිතාබ් ඇතුළු බච්චන් පවුල උරණ වී සිටි බවට මාධ්‍ය වාර්තා පළ විය. කෙසේ නමුත් මීට පෙර ච්ඩධධථ 2 චිත්‍රපටයේ රිතික් රෝෂන් සහ ඓෂ්වර්යා සමඟ වූ පෙම් ජවනිකාවන්ටද මෙලෙසින්ම බච්චන් පවුලේ විරෝධය එල්ල වී තිබුණි.