වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




මම චරිතය බාරගත්තේ ප්‍රශ්න නිරාකරණය කරගෙන

මම චරිතය බාරගත්තේ ප්‍රශ්න නිරාකරණය කරගෙන

උසාවිය නිහඬයි රඟපෑ චූලා මෙන්ඩිස්

උසාවිය විසින්ම නිහඬ කරනු ලැබූ උසාවිය නිහඬයි සිනමා කෘතිය යළිත් තිරගත කරන්නට උසාවියම අවසර දී ඇත. ප්‍රසන්න විතානගේ නම් වූ සම්මානනීය අධ්‍යක්ෂවරයා මෙරට සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කොට නිර්මාණය කරනු ලැබූ උසාවිය නිහඬයි චිත්‍රපටයේ ප්‍රධාන රංග භුමිකාව ප්‍රතිනිර්මාණයේ නියැලෙන රංග ශිල්පී චූලා මෙන්ඩිස් හා කතාබහ කරමු.

උසාවිය නිහඬයි සිනමා කෘතිය නිසාම ඔබ මේ දවස්වල රට තුළ වඩාත් කතාබහට ලක්වන පුද්ගලයෙක්?

එහෙම නොවුණොත් තමයි පුදුමේ. රට තුළම අධිකරණ පද්ධතිය තුළ මහා ඛේදවාචකයක් බඳු වූ මෙම සිද්ධිය යළිත් සිනමාත්මක කෘතියක් ලෙසින් ජනතාවගේ ඇස් ඇරලීමට නිර්මාණය වීම ඇත්තෙන්ම හොඳ දෙයක්. මෙතනදි මේ සිද්ධි මාලාව තුළ ප්‍රධාන චෝදනාලාභී පුද්ගලයාගේ චරිතය මට කරන්නට ලැබීමත් ඇත්තෙන්ම මට සුවිශේෂියි.

මෙම චරිතය ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

අභියෝගයක් තමයි. මේ චිත්‍රපටය පුරා විහිදෙන කතාවේ සත්‍ය චරිත අදටත් මේ රටේ ජීවත් වෙනවා. අපි වඩාත් සැලකිලිමත් වුණේ නීතිමය රාමුව පිළිබඳවයි.

කොහොමද ඔබට මේ චරිතය ලැබෙන්නේ?

සහය අධ්‍යක්ෂවරයකු වූ දමින්ද මඩවල මඟින් මට ප්‍රසන්න විතානගේ හඳුනාගන්න ලැබෙනවා. දමින්දගේ ටැබ් එකෙන් දවසක් මගේ පින්තූරයක් අරගෙන ගිහින් ප්‍රසන්නට පෙන්වා තිබුණා. ඔහුත් මාත් දවසක් එකට හම්බ වුණා. එහිදී ප්‍රසන්න යෝජනාවක් කළා මේ වගේ කතාවක් මම චිත්‍රපටයක් කරන්න යනවා කැමැති ද කියලා. දීර්ඝ වශයෙන් එවැන්නක් කිරීම පිළිබඳ නීතිමය ප්‍රශ්න නිරාකරණය කර ගැනීමෙන් පස්සේ මම ඒ චරිතය රඟපාන්න කැමැති වුණා.

ඔබ ඔහු වුණේ කොහොමද?

මම පිටපත කීප සැරයක් කියෙව්වා. ඔහු කවුද කියලා හඳුනාගෙන හිතේ මවා ගත්තා.

මුළු චිත්‍රපටය පුරාම ඔබේ රංගනයක් හැරුණු කොට හඬක් නම් අහන්නවත් නැහැ?

අභිනයෙන් පිරි රංගනයක් තමයි මෙතනදි කරන්න තිබුණේ.

ඔබ කතා නොකොට රඟපෑ මුල්ම කෘතිය උසාවිය නිහඬයි?

ඔව්.

අභියෝගාත්මක රංගනයන්ගේ නියැලීම ඔබගේ විනෝදාංශයක්?

විනෝදාංශයට රඟපානවා කියනවා නම් ඒක විහිලුවක්. විනෝදාංශයක් විධියට කරන්න පුළුවන් ඕනෑ තරම් දේවල් අප අතර තියෙනවා.

සිනමාවේ වගේම පුංචි තිරයේත් ඔබ මේ දවස්වල ජනප්‍රිය චරිතයක්?

ස්වර්ණවාහිනියේ විකාශය වන වැලි ඔටුන්න ටෙලි නාට්‍යයේ මෝමන්, ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ටී ටුවෙන්ටි ටෙලි නාට්‍යයේ නගරාධිපති ලේකම් ලෙස මම රඟපානවා.

රූපගත කිරීම්වලත් නියැලී ඉන්නවාද?

සරත් ධර්මසිරිගේ උක්කුවා ටෙලි නා්‍යයේ රූපගත කිරීම්වල ආණමඩුවේත්, ක්‍රිෂ්ටි ෂෙල්්ටන් ගේ ඔබ ආයෙමත් ඇවිදින් ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වල ඉංගිරියේත්, කොළඹත් නියැලී ඉන්නවා.

චූලා ඔබගේම වේදිකා නාට්‍ය නිර්මාණයක් වෙනුවෙන් මේ දවස්වල වෙහෙසෙනවා කියලා ආරංචියි?

ප්‍රියන්ත රණසිංහ තමයි එහි පිටපත ලිව්වේ. රාජානෝ සෝකබරිනි නමින් තමයි මුලින් එයට නම දැම්මේ. පස්සේ ඒ නම වෙනස් කරලා මම දැන් නාට්‍යයට නම දාලා තියෙන්නේ ඔටුනු හොරා කියා.

මම හිතන්නේ ඔබ වේදිකාව හරහා කලාවට ප්‍රවිශ්ඨ වූ පුද්ගලයෙක්?

1987 - 88 වකවානුවේ තමයි මම වේදිකාවට හාපුරා කියා එකතු වුණේ. අලි මදිවට කොටි, කර්නල් නාට්‍යවල මම රඟපෑවා. ඒ වෙන කොට රට තුළ පැවැති වාතාවරණය තුළ මට ගෙදරින් නාට්‍යවලට යාම තහනම් කළා. ඒ නිසා මට අවුරුදු පහළොවක් විතර නාට්‍ය ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා ඉන්න සිද්ධ වුණා.

දිගු නිහඬතාවයකින් පසු ඔබ ටෙලි නාට්‍ය රංගනයන් තුළින් යළිත් කලා ක්ෂේත්‍රයේ දකින්න ලැබෙනවා?

2002 දී රංජිත් සිල්වා මාර්ගයෙන් සඳ තාරකා ටෙලි නාට්‍යයේ සුළු චරිතයකට දායකවීමට ලැබීමත් සමඟ පුංචි තිරයේ දොරගුලු මා වෙනුවෙන් විවෘත වුණා.

රංගනයේ නියැලියත් ඇගැයීම් අතරට ඔබ සුදුස්සෙක් නොවුණේ?

2015 වසරේ වයඹ රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම සහය නළුවාට මම නිර්දේශ වුණා. ඒ උන්නැහෙලා නාට්‍යයේ රඟපෑම උදෙසා. ඒ ඇරෙන්න ජාතික තලයේ ඇගැයීම් තාම මට ලැබුණේ නැහැ.

රඟපෑ නිර්මාණ ප්‍රමාණය වැඩි කර ගැනීමේ පොර පිටියේ සාමාජිකයෙක් බවට ඔබත් පත් වෙලාද?

අපෝ නැහැ. මම ඒ තත්ත්වයට කොහෙත්ම පත් වෙලා නැහැ. කවුරු හරි අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදකයෙක් නිර්මාණයක් කරන්න යනවා කියන ආරංචියට ඒ අයට කෝල් එකක් දාලා අපිත් ඉන්නවා කියලා මතක් කරලා දෙන ජාතියේ කෙනෙක් නෙමේ මම. මම කවදාවත් මාධ්‍ය හඹා යන්නෙත් නැහැ.

චිත්‍රපට නළුවකු ලෙස ඔබ කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ කොහොමද?

සොමී රත්නායකගේ හිතේ දුකක් නැති මිනිහා චිත්‍රපටයේ ගීතයක නැටුම් ජවනිකාවකට එක් වෙමින් මම චිත්‍රපටයක රඟපෑම ආරම්භ කළේ. ළඟින් ගියොත් ඇහැක් නැතේ බං ගීතය ඇතුළත් නැටුම් ජවනිකාවක තමයි මම පෙනී සිටියේ. ඊට පස්සේ වසන්ත ඔබේසේකරගේ ආගන්තුකයා, වාසිත සමරනායකගේ වස්දඬු රාවය චිත්‍රපටවල රඟපෑවා. වස්දඬු රාවය තවම තිරගත වුණෙත් නැහැ.

චූලා මෙන්ඩිස් ලෙසින් ද ඔබ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය නොඑසේ නම් ඔබ රඟපෑ චරිතවලින්ද?

මම හිතන්නේ මගේ සැබෑ නමට වඩා මම කළ චරිතවලින් තමයි මිනිස්සු මාව හඳුනන්නේ. ඒවාගේ කීපයකට මට උදාහරණ වශයෙන් කියන්න පුළුවන්. පරාවළලු ටෙලි නාට්‍යයේ කිත්සිරි, අග්නි ටෙලි නාට්‍යයේ විපුල හාමු, සවීනා නාට්‍යයේ ජගත්, අහස් පව්ව ටෙලි නාට්‍යයේ මන්ද බුද්ධික චරිතය. මම හිතන්නේ අදත් ප්‍රේක්ෂකයෝ බොහොම ආශාවෙන් කතා කරන චරිත.

රංගනයට අමතරව ඔබ නිෂ්පාදන කළමනාකරණයෙනුත් කලාවේ තවත් ඉසව්වක් සොයා ගිහින්?

සෙදෝනා දෙවන සහය නිෂ්පාදන කළමනාකරු, ටී ටුවෙන්ටි, මතු සම්බන්ධයි, ඔබ ආයෙත් ඇවිත් ටෙලි නාට්‍යවල නිෂ්පාදන කළමනාකරු ලෙසත් මම මේ වන විට කටයුතු කරලා තියෙනවා.

රංගනය අද ඔබේ වෘත්තීය වෙලා?

අද තිබෙන ආර්ථික තත්ත්වය තුළ කලාව වෘත්තීය කරගත්තොත් හෙට දවස බඩ ගින්නේ තමයි ඉන්න වෙන්නේ. හැබැයි සමහරු කියනවා රඟපාන්නේ විනෝදයට කියලා. මම ඒ කතාවට විරුද්ධයි. රංගනය කියන්නේ බැරෑරුම් සංකීර්ණ දෙයක්. ඒක හෑල්ලු කරන්න පුළුවන් දෙයක් නොවෙයි. කාට හරි ඕනෑ නම් විනෝද වෙන්න ඕනෑ තරම් දේවල් තියෙනවා රංගනය විනෝදයක් කර නොගෙන. නිර්මාණකරුවා මහන්සි වෙන්න ඕනෑ නැහැ ගිරවු ටිකක් අරන් දෙබස් දීලා කියව ගත්ත නම් ඔක්කොම හරි. මෙන්න මේ කෙරුවාව නිසා තමයි කලාවත් අද වලපල්ලට ගිහින් තියෙන්නේ.

මට හිතෙනවා ඔබව නැවතත් උසාවිය නිහඬයි සිනමා කෘතිය වෙත රැගෙන යන්න. කොහාමද ඔබ ඒ කෘතිය සමාජගතවීම දකින්නේ?

ඒ කෘතියේ ප්‍රධාන චරිතය රඟපෑ කෙනා හැටියට නෙමේ මෙතනදී කතා කරන්නේ. මෙම සිනමා කෘතියේ නිර්මාණකරුවා වූ ප්‍රසන්න විතානගේ මේ රටේ ඉන්න ප්‍රධාන පෙළේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු තම දෘශ්‍ය පථයට හසු කරගන්නා අපේ අධිකරණ පද්ධතියේ සිදු වූ මේ අමිහිරි සිද්ධිය සිනමාත්මකව ගෙනඒමෙන් ඔහු සමාජය අවධි කිරීමක් සිද්ධ කරනවා. සමාජයේ කවර තනතුරක් දැරුවත් ඔහු කරන සමාජ විරෝධී ක්‍රියාවකදී ඔහුට යම් පුද්ගලයකුට විරුද්ධ විය හැකියි කියන පණිවිඩය ප්‍රසන්න සමාජගත කරනවා. ඒ තුළින් සමාජය තුළ නිදන්ගත වෙලා තිබුණු බියක් තුරන් වෙලා යනවා. මින් ඉදිරියටවත් මේ වගේ සමාජයෙන් සැඟවිලා තියෙන මෙවැනි සිද්ධි එළිවෙන්න සමහර විට පටන් ගනීවි. ප්‍රසන්න විතානගේ මේ සිනමා නිර්මාණය හරහා සමාජය අවධි කිරීමක් කරනවා. ඒ මහත් වූ සමාජ සේවය මිල කරන්න බැහැ. මම හිතනවා මේ හරහා ඉදිරියේදී හොඳ සමාජ කතිකාවතක් නිර්මාණය වෙයි කියලා.

ඔබේ රංගන ජීවිතයට බිරියගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ බිරිය චිත්‍රා අයිරාංගනී. එයා තමයි මට රඟපාන්න යන්න ඕනෑ කරන හැම දෙයක්ම ලකලෑස්ති කරලා දෙන්නේ. චිත්‍රා තමයි මගේ ළඟම ඉන්න රසිකාව. මගේ රඟපෑම් ගැන මුලින්ම ගුණ දොස් කියන්නේ ඇය. එයා මට හොඳ බිරියක්. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. චතුරංග සචිත්, යුශෝද රුචිත්. දෙන්නම බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයේ ශිෂ්‍යයෝ. රගර් ක්‍රීඩාවටත් දක්ෂයි. ලොකු පුතා චතුරංග නම් දැන් රැකියාවකත් නියුතු වෙලා.

ප්‍රේක්ෂක ප්‍රතිචාර අතරේ රසික රසිකාවින්ගෙන් එහෙමත් චූලාට හොඳ ප්‍රතිචාරයක් ඇති?

මොකද නැත්තේ. කොහොම ප්‍රතිචාර ලැබුණත් චිත්‍රා මගේ මම චිත්‍රාගේ. එයාට මාව සියයට පන්සීයක් විශ්වාසයි.

රසිකයන්ට ඔබට ලියන්න ලිපිනය පැවසුවොත්?

නො: 13, අත්තදස්සී මාවත, පුත්තලම පාර, කුරුණෑගල.