වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්ද ගේ සිතුවමින්

දුවට කවදාවත් ජීවිතේ වරදින එකක් නෑ

‘මානවී කොහෙද ඉන්නේ’ රවිඳු විමසුවේය.

‘ගෝල්ඩන් එපාට්මන්ට්ස් වල’ මානවී පැවසුවාය.

ඇය දුරකතනය අතට ගෙන බැල්කනියට පිවිසුනාය. අහසේ තරු අත ළගයැයි ඇයට සිතිණ. මුලු කොළඹම මෙතැනට පෙනෙයි. වෙනදා මෙතැන සිටින්නේ වීරප්පෙරුමය. අද ඔහු එතැන නැත. සීතල සුළඟ ක් හමා ගියේය. කවදාවත් නොමැති තනිකමක් මානවී ට දැනෙන්ට විය. ජීවිතය ගෙවෙන අන්දම අමුතුය. කලක් තමා ගේ ලෝකයේ වීරයා ව සිටි අත්තා දැන් වයෝවෘද්ධය.

බොහෝ දෙනා ගේ ජීවිත අතර සැරිසරා තමා වෙතින් ජීවිතය ගැන අලුතින් සිතන්නට පටන් ගත් වීරප්පෙරුම එකවරම රෝහලක සයනය මතය. වීරප්පෙරුම රෝහල් ගත වූයේ සිත ඇති වූ කම්පාවක් නිසාවෙන් යැයි ජයතුංග පැවසුවේ මේ නිවහනට ඇරලවන්නට පැමිණි විටය. ඒ කම්පාව කුමක් විය හැකි ද? ඔහු තමා ඇසුරට මුලින්ම එක් වූයේ හුදු කායික සන්තර්පනය මත පමණකි. මුලින් ඇය ද ඔහු ට හමුවූ එක් සුරූපිනියක් පමණක් වූවාය.

නැතහොත් තාරුණ්‍ය ආරක්ෂා කිරීමේ ඖෂධයක් පමණක් වූවාය. මිනිසුන් හා ගැහැනුන් එකිනෙකා බැඳෙන්නේ හුදු රාගයෙන් පමණක් ම නොවේ. වීරප්පෙරුමට තමා ආදරය කළාදැයි ඇය සිතින් මැන බැලුවාය. ඔහු තමාට ඉගැන්වූයේය. යහ මග පෙන්වූයේය.

ඒ සියල්ල මිළ මුදල පමණක් නොවූයේය. රාගයෙන් තොර ආදරයක් ඇති වූයේ කෙලෙස ද? අනුක්‍රමයෙන් වීරප්පෙරුම නම් වැඩිහිටියා හරහා තමාට දැක ගන්නට ලැබුණේ කුඩා කල සිට සොයන ලද පියාදරය යැයි ඇයට සිතිණ. ඒ සමග ඇයට කඳුළු නැගිණ. පසු ගිය කාලයේ වීරප්පෙරුම තමන්ට සැලකූයේ ඒ ආකාරයට බැව් මානවීට වැටහිණ.

‘තනියෙන් ද’ යළිත් රවිඳු ඇසුවේය.

‘ඇයි කවුරු හරි ළඟ ඉඳීයි කියලා බය හිතුන ද’ තමා ඇසුවේ අසන්නට සිතූ ප්‍රශ්ණය නොවේ.

‘නැහැ.මං ආවාට කමක් නැද්ද කියලා අහන්න.’

කෙතරම් දක්ෂ කතා කරුවකු වුවත් තමා ගේ මෙබඳු ප්‍රශ්ණ ඇසීම ඉදිරියේ රවිඳු අපහසුතාවයට පත් වන්නේය. එබැවින් ඔහු තවත් වෙහෙස කර වීමේ දඟ සිතක් මානවීට ඇති විය.

‘මගේ තනියට මෙතැන ඉන්නවා අහස පොළව සුළඟ තරු වලාකුළු’

‘තව?’

රවිඳු මේ සොඳුරු වදයට ඇලුම් කරන්නට පටන් ගත්තේය.

‘එතකොට ලස්සන හඳ’

‘ඔයා මේ පොලවේ ද ඉන්නේ දිව්‍ය ලෝකෙ ද?’

‘දිව්‍ය ලෝකෙට තාම පය තිබ්බේ නෑ’

‘ඇයි?’

‘බයයි. කවදා හරි දිව්‍ය සම්පත් එපා වෙයි කියලා’

මානවී සිනාසුණාය. රවිඳු දුරකතනය විසන්ධි කළේ ඇය සිටින තැනට ඉක්මනින් එන බව පවසමිනි

‘දුවට කවදාවත් ජීවිතේ වරදින එකක් නෑ’

රෝහලේ ඇඳ මත වැතිර සිටින වීරප්පෙරුම ගේ ඇස් වල කඳුළු පිරෙනු මානවී බලා සිටියාය.

‘සමහර දේවල් ජීවිතේ අපි හිතන පතන විදියට සිද්ධ වෙන්න නෑ. දරුවෝ. සමහර මිනිස්සුන්ට පේන්නේ අපි කාල ඇඳල ඉන්න විධියට හරි සන්තෝසෙන් ඉන්නවා කියලා. අපේ හිතේ තියෙන ගින්දර වලට ලෝකෙම දාලා පිච්චිලා යාවි’

හැම මිනිසාම හිත උඩින් සිනාසෙති. යටින් හඬා වැටෙති. පසුගිය කාලයේ තමා ට රඟපාන්නට ලැබුණේ මෙබඳු චරිත නොවේදැයි මානවී ගේ සිතට නැගිණ.

වීරප්පෙරුම නොනත්වාම කතා කරන්නේය. ඔහු ට බොහෝ දේ කියන්නට ඇවැසි හැඩය. මානවී ඔහු එයින් වලකාලන්නට නොසිතුවාය. ඇය ඔහු අසලට වූවාය. ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේය. සිතිවිලි එළි දැක්වීම රෝග බොහොමයකට හොඳ බෙහෙතකි. එහෙම කිව්වේ අත්තාය.

ජයතුංග කාමරයට එබිකම් කළේය. මේ දින වල ජයතුංගත් ඕනෑවට වඩා මහන්සි ව ඇත්තේය. ජයතුංග ද වීරප්පෙරුම ද සම වයසේය. ඔවන් දෙදෙනා මුලින්ම හමුවන්නේ විශ්ව විද්‍යාලයේය. ජයතුංග රජයේ සේවයෙන් විශ්‍රාම ලබා ගත් පසු වීරප්පෙරුම ගේ සහායකයා විය. විශ්ව විද්‍යාලයේ සේවය හරහා මතධාරි යකු ලෙස ලෝකය හදුනා ගත් වීරප්පෙරුම දේශපාලනයට පිවිසියේ දිගු කලක සිට පැවැති බලාපොරොත්තුවක් සැබෑ කර ගනිමිනි.

ජයතුංග පසුපසින් ඔහුගේ භාර්යාව ද පැමිණියාය. ඇය ගුරු සේවයෙන් විශ්‍රාම ලැබුයේ පසුගියදාය.

‘දැන් කොහොමද සර්’

ජයතුංග විතාලයේය. ඔහුගේ භාර්යාව මානවී ගේ අතින් අල්ලා ගත්තාය.

‘මෙයාට මානවී ගේ පිස්සුව හොඳීන් තියෙනවා’

ජයතුංග සිය බිරිඳ පෙන්වා සිනාසුනාය. මානවී සිනාසී ආචාර කළාය.

‘මගේ දුවට කතා කළා ද ජයේ ’ වීරප්පෙරුම ඇසුවේ තරමක් බිඳුණු හඬකිනි.

‘ඔව්. හෙට එනවා කිව්වා. මං හිතන්නේ හවස ෆ්ලයිට් එක’ ඔහු පැවසුවේ ඉවත බලමිනි.

‘පුතාත් එනවා කිව්වාද’ ඔහු යළිත් ඇසුවේය.

‘නිවාඩු ගන්න අමාරුයි කිව්වා’

ඔහු එය පැවසුවේ ඕනෑවට එපාවට මෙනි. වීරප්පෙරුම ඉවත බලා ගත්තේ ශෝකයෙනි.

ඒ ළමයින්ට ලංකාව හුරු නැතිව ඇති.

වෙන්නැති

ජයතුංග පැවසුවේ කතාව නතර කරන හැටියක් බලා ගෙනයැයි මානවීට මෙන්ම ජයතුංග ගේ භාර්යා ව ටද වැටහිණ. ඔවුන් එකිනෙකා මුහුණ බලා ගත්හ..

‘දැන් එන්න බැරි උනාට ස්කයිප් එකෙන් කතා කරන්න පුළුවන් නේ’ ජයතුංගගේ බිරිය පැවසුවාය.

‘අපේ පුතා නම් දවසකට සැරයක් කතා කරනවා’

වීරප්පෙරුම කිසිවක් පැවසුවේ නැත. තමා අතින් යුතුකම් රාශියක් මග හැරී ඇත. පසුගිය කාලයේ තමා තනිකම මකා ගත්තේ කෙලෙසද යන්න හිතා බලන්නට වීරප්පෙරුම සූදානම් වූයේය. හෙදියක් පැමිණියාය

‘ඩොක්ටර් එනවා’

ජයතුංග සිය බිරිඳ සමග කාමරයෙන් එළියට යන්නට සැරසිණ. මානවී ද ඔවුන්ගේ පසුපසින් ගමන් කළාය. ඔවුහු කාමරයෙන් එලියට පිවිස කොරිඩෝවේ රැඳුනාහ. වෛද්‍යවරයා කාමරයට ඇතුලු වනු ඔවුහු බලා සිටියහ.

ජයතුංග ගේ දුරකතනයට ඇමතුමක් ලැබිණ. ඒ සමග ඔහු කලබලයට පත්වූයේය.

‘ලොක්කා එනවාලු’

පක්ෂයේ නායක විජයනායක ද ටික වේලාවකින් එන වග ජයතුංග පැවසුවේය. මාමන්ඩිය සමග බෑණන්ඩිය රවිඳු ද එනු ඇත. තමන් එහි රැඳීම නුවනට හුරු නැති ගානය. ඇය එතැනින් ඉවත් ව යන්නට සැරසිණ. ඇගේ සිතැඟි ජයතුංග තේරුම් ගත්තා වැනි විය.

මානවී මිස් යන්න ඕන නෑ

මට ප්‍රෝගෑම් එකක් තියෙනවා.

ඇය කතා කළේ ඇද පැද ගානටය.

සර්ට කියලා ගියා නම් හොඳා

ජයතුංග කතා කළේ වැඩිහිටියකු ලෙසටය.

මානවී එබසට අවනත වූවාය. ඇය කාමරයට ගියාය. වීරප්පෙරුම අසල සිටි වෛද්‍යවරයා සිය කාර්යය නිම කොට තිබිණ. ඔහු මානවී හා ජයතුංග දෙස බලා සිනාසුනේය.

‘තව ටිකක් රෙස්ට් කරන එක හොදයි. වැඩිය කතා කරන්න දෙන්න එපා. මෙතැන බෝඩ් එකක් දාන්න විසිටර්ස්ලාට’ ඔහු අවසන් වැකිය පැවසුවේ තවමත් එහි සිටින හෙදියටය.

‘දරුවෝ අද අපේ ගෙදර ගිහින් ඉන්න’

වීරප්පෙරුම මානවීට පැවසුවාය. ඇය යන්නට සැරසෙද්දී ඇය දුටුවේ ආරක්ෂක නිළධාරියකු එබිකම් කරන වගය. ඇය ඔවුන්ට ඉඩ දුන්නාය. ඒ සමග ඇතුළු වූයේ ජාතික ඇඳුම ඇදි විජයනායකය. ජයතුංග සිය නායකයාට දෙඅත් බැඳ ආචාර කළාය. ජයතුංග දෙස බලා මද සිනහවක් පෑ ඔහු වීරප්පෙරුම දෙසට ලං වූයේ මානවී දෙසට ද බැල්මක් හෙලමිනි. කාමරයේ දොර ඇරිණ.

‘කොහොමද ඩොක්ටර්’ විජයනායක විතාලේය.

‘ටිකක් සනීප ගන්න හිතුවා’

වීරප්පෙරුම ඇඳෙන් නැගිටින්නට උත්සාහ කළ ද විජයනායක එය වැලැක්වීය. වීරප්පෙරුම මානවීට අත දිගු කළේ උදව්වක් බලාපොරොත්තුවෙනි. තවත් කවුදෝ කාමරයට පැමිණියේය.

‘මේ දරුවා මේ දවස් වල මාව අම්මා වගේ බලා ගත්තේ. මට මගේ දුව උන්නා වගේ දැනුනා’

විජයනායක මානවී දෙස බැලුවේ කෘතඥතා පූර්ව බැල්මකි. රවිඳු කාමරයට ඇතුළු වූ වග මානවී දැක ගත්තේ එවිටය

මුලින් කිව්වා සිංගප්පුරුවට යන්න කියලා. ‘ඒත් මට මමේ රටේ දොස්තර ලා විශ්වාසයි.’

මානවී උන් තැනින් පසු පසට වන්නට සැරසුනේ ලොකු මිනිස්සුන්ට ඕනෑ හැටියට කතා කර ගන්නට ඉඩ දෙන්නටය. රවිඳු මානවී ළගට එනු ඇයට පෙනිණ.

‘එදායින එදාමයි මට කතා කළේ නෑනෙ’

මානවී විරප්පෙරුම දෙස බැලුවේ ඔහුට මේ කතාව ඇසේදැයි බලන්නටය.

වීරප්පෙරුම විජයනායක සමග කතාවකය

‘දුව අද එපාට්මන්ට් එකට යනවද’ වීරප්පෙරුම එකවර ඇසුවේ නායකයා සමග කරන කතාව මොහොතකට නතර කරලමිනි.

‘ජයේ දුවත් ගිහින් ඇරලනව ද ගෙදරට’ අනතුරුව ඔහු ජයතුංගට පැවසුවේය.

‘දැන් මගේ කල්පනාව නායක තුමා මගේ දුව ගාවට යන්ඩ. බැරි උනත් දැන් මට මාව බලා ගන්ඩ මේ දුව ඉන්නවා’

වීරප්පෙරුම අමාරුවෙන් කියා සිටියේය. මානවී ඉවත බලා ගත්තේය. රෝහල් කාමරයෙන් එපිට තට්ටු නිවාස සංකීර්ණය දෙස ඇය ඇස් යොමු කළාය. ඇස උපන් කදුළ වසන් කරන්නට ඇය වෑයමක් දැරුවාය.