වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ අධ්‍යක්ෂතුමාට නින්ද යනවා නළු නිළියෝ ඔහේ රඟපානවා

ඒ අධ්‍යක්ෂතුමාට නින්ද යනවා නළු නිළියෝ ඔහේ රඟපානවා

ඇපලා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් විස්තර කරයි

ජගත් ඇපලදෙනිය කියලා කියන්නේ නළුවකු වගේම නිෂ්පාදකවරයෙක්. ඔහු රඟපෑ ටෙලි සිතුවම් කිහිපයක්ම පසුගියදා විකාශය වුණා. ජගත් වඩාත් ජනප්‍රිය වුණේ ඊ. ඒ. පී. ආයතනය මඟින් කළ පුණ්‍ය කටයුතු වැඩ සටහනක දැන්වීමකින්. ඒක ඉස්සර නිතර දෙවේලේ ස්වර්ණවාහිනියෙන් අපි දැක්කා. අදටත් එය ඉඳහිට දැකිය හැකියි. මේ වන විට චරිතාංග නළුවකු විදිහට ඉදිරියට පැමිණ සිටින ජගත් ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රකට 'ඇපලා' යනුවෙනි.

ඔහුට ඇපල් අයියා කියලා කියන අය ද බොහෝයි. ඔන්න ඉතින් ඔහු සරසවියට ගොඩ වැදුණා අලුත් තොරතුරු කතාබහ කරන්න.

ජගත් කොහොමද මේ දිනවල වැඩ කටයුතු?

මේ දිනවල නිර්මාණ කිහිපයකටම දායක වෙලා ඉන්නවා. ඉන් ඉස්කෝලේ කාලේ නාට්‍ය විශේෂයි. මං එයට නිෂ්පාදයෙනුත් දායක වුණා. ඉස්කෝලෙ කාලෙ ලක්මිණ අමරදේවගේ අධ්‍යක්ෂණයක්.

මෑත කාලිනව ඔබව සැලකිය යුතු චරිතයකින් අපට හමු වුණේ නැහැ. ඇයි ඒ?

මගේ අන්තිමට විකාශය වුණේ ළබැඳියේ නාට්‍ය. මං එහි මනුවර්ණ කියලා ව්‍යාපාරිකයකුගේ චරිතයක් රඟපෑවා. ඊට පස්සේ මට නිර්මාණ කිහිපයකටම කතා කළා. නමුත් තිබුණු චරිතයන්හි මට කරන්න දෙයක් තිබුණේ නැති තරම්. මං මේ කියන්නේ මං මහ ලොකු නළුවෙක් කියන එක නෙවෙයි. නමුත් මට යම් කිසි හැකියාවක් තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනයක් ගත නොහැකි චරිතවලට මං පණ පොවන්නේ නැහැ. ඒකයි පහුගිය කාලේ නිතරම මාව දැක්කේ නැත්තේ.

ඔබේ රංගන දිවිය ආලෝකමත් කළ චරිතය මොකක්ද කියලා මං ඇහැව්වොත්?

මේ වෙලාවේ මට මතක් වෙන්නේ සිරීගෙ ඉරණමේ ලලිතව. ඊට පසුව අත්තම්මා නාට්‍යහි අසිතව. මේ චරිත යුවල ඔස්සේ මං හුඟක් ජනප්‍රිය වුණා. ඒ වගේම බොහෝ දෙනා මාව හඳුනා ගත්තා මේ චරිතවලින්. අනික මගේ රංගන හැකියාව වඩාත් ඔප් නංවා ගන්නත් පුළුවන් වුණා.

ඔබ මෙතෙක් කළ අමතකම නොවන රංගනය මොකක්ද?

මට එක්තරා ඒකාංගික ටෙලි සිතුවමක කතෝලික පියතුමෙකු හැටියට රඟපාන්න ලැබුණා. ඒ නාට්‍යයේ නම රත්තරං කුරුසය. මං ලෝගුව ඇඳගෙන කළ ඒ රංගනය කෙදිනකවත් මට අමතක වෙන්නේ නැහැ.

මා දන්නා පරිදි ඔබ ව්‍යාපාරිකයෙක්. ඇයි ඔබ කාලවේ නියැලෙන්නේ?

මං ඇත්තටම මේ කලාවට හරිම ආදරෙයි. කලාවේ නියැලීම මගේ ආත්ම තෘප්තියට හේතු වෙනවා. සෑහෙන කලක සිට මගේ හිතේ තිබුණා නිෂ්පාදනයට පිවිසිලා කලාවට සේවයක් කරන්න. මං ඒක කළා. නමුත් මේ ක්ෂේත්‍රය ඇතුළේ නොමිනිසුන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය නිසා සමස්ථ කලා ලොවටම කලු පැල්ලම් එකතු වෙනවා.

ආත්ම තෘප්තියට කලාවේ නියැලුණාට ඔබ ඉන්නේ කලකිරීමෙන් වගේ?

කලකිරීමක් නැහැ. හැබැයි මට කියන්න දෙයක් තියෙනවා. මං මේ දේවල් කියන්නේ අත්දැකීමෙන්.

මොනවද ඔබට කියන්න තියෙන්නේ?

මේ කලා ලොව ඇතුළේ කලාවන් දෙකක් තියෙනවා. එකක් අතදීමේ කලාව, අනික දඩයම් කලාව.

ඔබ එය තවදුරටත් විග්‍රහ කළොත්?

මෙහෙමයි. අතදිමේ කලාවේදී හොඳ මිනිසුන් අනෙක් අයට නැගිටින්නට උදව් කරනවා. ඒ අතදෙන මිනිස්සු හරි කැමැතියි තමන් විසින් අතදීපු කෙනා ඉදිරියට යනවා දකින්න. නමුත් දඩයම් කලාවේදී වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. නිෂ්පාදකවරයකුට ක්ෂේත්‍රයට එන්න බැහැ දඩයම් කරලා නැත්තටම නැති කරලා දානවා.

ඔබත් එවන් වූ සිදුවීමකට මුහුණ දුන්නා?

ඔව්. මං මේ ළඟදි ටෙලි නිර්මාණයකට නිෂ්පාදනයෙන් දායක වුණා. එයාලා කොටස් පහළොවකට තමයි බජට් එක මට කිව්වේ. මං ඉතින් ඒ මුදල ඔවුනට දුන්නා. වැඩේ කරගෙන යනකොට බජට් මදි. මං බැලුවා මොකද ඒ කියලා. මට ප්‍රඩක්ෂන් එකෙන් කිව්වා කොටස් විසිහයක් කරනවා කියලා. මං ඉතින් ඒ මුදලත් දුන්නා. දැන් ඉල්ලුවා වගේ දෙගුණයක් මගේ අතින් වියදම් වෙලා. ඒත් කමක් නැහැ. කොටස් 26 ක් නිර්මාණය වෙලානේ. මං එහෙම හිතුවා. නමුත් ඒ සේරම එඩිට් කරලා බලද්දී කොටස් 13 යි තියෙන්නේ. එතනින් එහා එඩිට් එකෙන් එතනින් එහාට අදින්න බැහැ. ඒ මනුස්සයන් කෙළින්ම මාව දඩයම් කරගෙන.

ඔබට තිබුණනේ දර්ශන තලවලට ගිහින් රූගත කිරීම් හරියට කෙරෙනවාද කියලා හොයලා බලන්න?

මං පුළුවන් දවස්වල ගියා. නමුත් හැම තිස්සේම මට ලොකේෂන් එකට වෙලා ඉන්න බැහැනේ. මේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සිදුවන්නේ විශ්වාසය මත. මමත් එහෙම කළේ. නමුත් ඒ මිනිසුනු මගේ විශ්වාසය එහම්පිටින්ම කඩ කළා.

කවුද එහි අධ්‍යක්ෂවරයා?

මං මේ වෙලාවේ ඔහුගේ නම කියන්නේ නැහැ. ඒක හරි නැහැනේ. කෙසේ වෙතත් මෙහෙම දෙයක් කියන්න ඕනෑ. ඔය අධ්‍යක්ෂවරයා නාට්‍ය ගණනාවක්ම කරපු කෙනෙක්. මම දන්නේ නැහැ ඔහු එහෙම කළේ කොහොමද කියලා. ඔන්න ඔහු රූගත කිරීම් පටන් ගන්න ඇක්ෂන් කියනවා. ටික වේලාවක් ගියාම ඔහු නිිදි. ඔහුට නින්ද යනවා. නළු නිළියන් ඔහේ රඟපානවා. පිටිපස්සේ ඉන්න කවුරු හරි කට් කියන්න ඕනෑ. එතකම් නළු නිළියෝ රඟපානවා. ඔන්න ඔහොම ඒ නාට්‍ය කරලා තියෙන්නේ.

ඔබ ආයේ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ නැද්ද?

මොකද නැත්තේ. මං නිෂ්පාදන කටයුතු කරන එක නවත්වන්නේ නැහැ. මං මේ කලා ලොව ඇතුළේ ලොකු ගමනක් යනවා. කාටවත් ඒක නවත්වන්න බැහැ.

ඔබ ඩී වී ඩී චිත්‍රපට කිහිපයකුත් නිෂ්පාදනය කළා නේද?

ඔව්. පුංචි අපේ ගෝරිලි පැංචා ඉන් එකක්. ඒ වගේම නිල් අහස අපේ කියලා ළමා ගීත එකතුවක් නිකුත් කළා ඩී වී ඩී මාධ්‍යයෙන්.

ඔබ මේ ක්ෂේත්‍රයට එන්නේ රංගනය හදාරලද?

අනිවාර්යයෙන්ම. කවුරුවත් වැඩිය දන්නෙ නැති වුණාට මං ආචාර්ය සාලමන් ෆොන්සේකා මහත්මයාගේ ගෝලයෙක්. ඔහුගෙන් රංගනය හැදෑරීමේ වාසනාව මට උදා වුණා. ඒ ලද ශිල්පයත් එක්කයි මා කලාවට පිවිසුණේ.

ඒ වගේම ඔබ උපාධිධාරියෙක්. ඒ ගැනත් කියමු?

මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කලා උපාධිය තියෙනවා. ඒත් එක්කම මං ජපුරම ලේඛකත්ව සහ සන්නිවේදන ඩිප්ලෝමාවත් උපදේශනය පිළිබඳ උසස් ඩිප්ලෝමාවකුත් කරපු කෙනෙක්. අවශ්‍ය වෙලාවට ඒ දැනුම පාවිච්චි කරනවා. ඔබ අහපු නිසයි ඒ ගැනත් කිව්වේ.