වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව

පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව

 

‘රන්දෝණි’

 

මිනෝලි ඉපදුණේ කොන්ක්‍රිට් පුරවරයේය. හැදී වැඩුණේ ද එහිය. හොඳින් අධ්‍යාපනය හැදෑරූ ඇය අවසනදී ගුරු පත්වීමක් ලැබුවාය.

කෙළඹට ඕනෑ තරම් ගුරුවරියන් සිටියි. එහෙයින් මා සේවය කළ යුත්තේ ගුරුවරියක නොමැති පාසලකය.

මිනෝලි සිතුවේ එසේය. එහෙයින් ඇය දුෂ්කර, එනමුත් සොඳුරු ගම්පියසක කුඩ පාසලක් තෝරා ගත්තීය. එම ගමෙහි මිනිසුන්ගේ ජීවනෝපාය වූයේ ගොවිතැන සහ ගව පාලනයයි.

බොහෝ දෙනකු තමුන්ගේ ළමුන් පාසලට නොයවා එම කර්මාන්තයන්ට යොමු කරනු මිනෝලිට පෙනිණ. පාසලට දරුවන් හිඟය. සමහර ළමයි පාසලට එන්නේම නැත. මිනෝලි දැඩි අධිෂ්ඨානයක් ඇතිකර ගත්තීය. එම අධිෂ්ඨානයෙහි කෙළවර තිබුණේ මහත් වූ බලාපොරොත්තුවක්ය. ඒ මෙම පාසලට ළමුන් ගෙන්වා එය දියුණු කරනවා යන්නය. මනෝලි තම පත්වීමෙහි වැඩ ඇල්ලීම සිදු කළේ ගමේ ගෙයින් ගෙට ගොස් පාසල් නොයන ළමුන් පිළිබඳ විස්තර සොයා බලමිනි. ඇයට එවැනි ළමුන් ගණනාවක් හමු විය. ඔවුන් පාසලට ගෙන්වා ගත්තීය. අධ්‍යාපනය ලබාදීම ඇරැඹිණ. ක්‍රම ක්‍රමයෙන් ළමුන්ගේ උද්යෝගය අධ්‍යාපනය පැත්තට යොමු විය. ඉන් ඇතැමෙක් මතු දිනක දොස්තරවරු, ඉන්ජිනේරුවෝ වෙනවා යැයි අනාගත බලාපොරොත්තු ද ඇතිකර ගත්තෝය. දැන් පාසල යම් මට්ටමකට පැමිණෙමින් සිටියි. ඔය අතරේ මිනෝලිගේ ක්‍රියා කලාපය නොරිස්සුම් දෙන අය ද වෙති. ඔවුන්ගේ කූට ක්‍රියාකාරකම් මිනෝලිව පීඩාවට පත් කරන්නට සමත් වන්නේය. ඔය අතරේ මිමෝලිට පෙම් බැඳි පියල් නමැති තරණයා මනෝලිට බලපෑම් කරන්නේ කොළඹ ඇවිත් තමන් හා විවාහ වන්නට කියාය. එනමුදු මිනෝලි පියල් කියන දේ නොසලකා හරින්නේ පාසල වෙනුවෙන් තම යුතුකම් කොටසක් ඉටු කිරීමේ අදිටනින්ය. මෙම පාසල රටේ නමක් රැන්ද වූ පාසලක් බවට පත් කිරීම මිනෝලිගේ අදහස වන්නේය.

ප්‍රියන්ත සමරකෝන්ගේ නවතම සිනමාපටය වූ රන්දෝණි නිර්මාණය වූයේ එම කතා සංකල්පයෙනි. එහි තිර රචනය ද ඔහු විසින් නිම කෙට ඇත. මෙහි මිනෝලි ලෙස නිපුණි විල්සන් රංගනයේ යෙදෙන්නීය. එය ඇයගේ දෙවැනි සිනමාපටයයි.

රන්දෝණි සිනමාපටයේ සෙසු රංගන ශිල්පීන් මෙසේය.

රෝහණ බැද්දගේ, නිල්මිණි බුවනෙක, රිචඩ් මානමුදලි, රත්නා ලාලනී ජයකාඩි, අනුර බණ්ඩාර රාජගුරු, වික්‍රම සෙනෙවිරත්න, වසන්ත කුමාරසිරි, සරත් දික්කුඹුර, හැරී විමලසේන, දයා වයමන්, කීර්ති රංජිත්, අනෝජා වීරසේකර, කෞශල්‍ය සමරසිංහ, සුගත් මෛත්‍රී, දිපාල් ලියනආරච්චි. රංජිත් ජයසේකර, ගයාන් ජයවර්ධන, සුනේත්‍රා ලක්ෂ්මි, දිල්හාරා රාජපක්ෂ, ජානක පෙරේරා, හෙන්රි ප්‍රේමරත්න, මල්ෂා දිව්‍යාජලී (ළමා).

නිෂ්පාදනය - සිළුමිණ චිත්‍රපට වෙනුවෙන්

ආචාර්ය ජගත් විජේනායක

කැමරා අධ්‍යක්ෂණය - තිලක් රන්ජන්

නිෂ්පාදන කළමනාකරණය - මංජුල ගුණවර්ධන

කලා අධ්‍යක්ෂණය - විජිත බණ්ඩාර

සහාය අධ්‍යක්ෂණය - ඉන්ද්‍රජිත් චන්ද්‍රකුමාර

අංග රචනය - හෙන්රි ප්‍රේමරත්න

නර්තන අධ්‍යක්ෂණය - නිලාන් මලිගැස්ප සමඟ නිපුනි විල්සන්

සංගීත අධ්‍යක්ෂණ්‍ය - නාලක රංජන

සංස්කරණය - ප්‍රවීණ් ජයරත්න

ගායනය - සනුජි සහාය වෙල්ගම