වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




‘සුජාගේ රහස’ සිට...

‘සුජාගේ රහස’ සිට...

මිනිසකු ගේ ජීවිත කාලයෙන් අවුරුදු පනහක් යනු ඉතා විශාල කාලයකි. වසර පනහක් මුළුල්ලේ තම ජීවන වෘත්තියක යෙදෙන්නට රජයේ සේවකයකුට සමාන්‍යයෙන් ඉඩ ලැබෙන්නේ නැත. එයට හේතුව ඔහු අනිවාර්යයෙන් විශ්‍රාම ලබන බැවිනි.

එහෙත් කලාකරුවෝ යනු විශ්‍රාම යන්නෝ නොවෙති. ඔවුන් ගේ මුළු ජීවිත කාලයම රැඳෙන්නේ කලාවත් සමඟය. සමහරු ළමා වියේ දී කලාවට සම්බන්ධව සිට වෙනත් ජීවන වෘත්තියක නියැළී යළි කලාව සිහිපත් කර ගන්නේ හුදකලාව දිවි ගෙවන විටය. එකල් හි ඔවුහු තමන් ද කලා කරුවකුව සිටියේ යැයි මැසිවිලි නඟති. එහෙත් ජීවිතයේ කාලය පුරාම කලාව හා රැඳී සිට තම මුළු ජීවනොි්පායම එලෙසින් සලසා ගත් පිරිස් ද එමටය.

ආර්ය ශ්‍රී ථකුරාර්ථ දේවාදිත්‍ය බණ්ඩාර ගාර්දියවසම් ළිඳමුලගේ රෝයි ඇලෝෂියස් ෆිලික්ස් ද සිල්වා සිය සිනමා ජීවිතයේ පනස් වසර සපුරාගන්නේ අදට ය. එනම් විසිපස් වැනිදාටය. කොටින්ම ඔහු රඟ පෑ මුල්ම චිත්‍රපටය වන ‘සුජාගේ රහස’ තිරගත කර පනස්වසර පිරුනේ එදාට ය.

ලංකාවේ දිගම නම ඇති නළුවන් ගෙන් පමණක් නොව පුරවැසියන්ගෙන් කෙනෙක් වන ඔහුගේ මුළු නම ම චිත්‍රපටයට යොදා ගතහොත් එය බලවත් විපතකට හේතු වෙයි. එසේ වන්නේ මේ නම සහමුලින්ම කිවහොත් පැය දෙකක චිත්‍රපටය පුරාම කියවන්නට වන්නේ නම පමණි. මේ නම සම්පූර්ණයෙන්ම අසන්නට අපට තබා හරියට සිහිපත් කරන්නට තරම් එහි අයිති කරුටත් නොහැකිය. කරුමයකට හෝ ඔහු බඹ දහයක ළිඳකට වැටුණහොත් කඹයක් නැතිව නම දිගේ ගොඩට එන්නට ඔහුට හැකිය. ඒ නිසාම ඒ සා විපත්තියකට නොපෙළඹී ඔහුගේ නම කෙටි කර දක්වන්නෝ රෝයි ද සිල්වා යනුවෙන් ඔහු අමතති.

ලියන විට රෝයි ද සිල්වා පැවසුවත් පසුගිය විසි වසර මුළුල්ලේ මා ඔහු හඳුන ගත් දා සිට රෝයි අයියා යනුවෙන් අමතන ඔහු පිළිබඳ මෙවර ‘සරසවිය’ පිටු කිහිපයක් වෙන් කරන්නේ කාරණා කිහිපයක් මුල් කර ගෙනය. එයින් එකක් නම් ගත වූ වසර කිහිපය මුළුල්ල ඔහු තම ජීවිතය ගෙවා දමන්නේ සිනමාව සමඟ වීමය. නළුවෙක්, නිෂ්පාදකවරයෙක්, ගායකයකු, තිර නාටක රචකයකු සහ අධ්‍යක්‍ෂවරයකු ලෙස ඔහු සිනමාවට දායකව ඇත්තේය.

ඔහු රඟ පෑ චිත්‍රපට අතිශය සාර්ථක වූයේය. ඔහු අධ්‍යක්‍ෂණය කළ බොහෝ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තැබුවේය. මේ වාර්තා තැබීම කෙතරම් ද කිවහොත් ඔහුට සිනමාවේ ‘මාස්ටර් බ්ලාස්ටර්’ යනුවෙන් නමක් ද පටබැඳී තිබිණි. ඔහු රඟ පෑ චිත්‍රපට බහුතරයක් ප්‍රේක්‍ෂක ජනාදරය දිනා ගත්තද කලාත්මක අතින් හෝ සිනමාත්මක අගයෙන් ඉහළ තැනක් ගත්තේ නැත. ඔහු සිනමා රංගනයේ සුපිරි නළුවා වූයේ ද නැත.

ඔහුගේ මුල්ම චිත්‍රපටය වන ‘සුජාගේ රහස’ සඳහා ඔහුව තෝරා ගනු ලබනුයේ වෙන කිසිම හේතුවක් නිසා නොව දකුණු ඉන්දියානු නළුවකු වන ජය ශංකර්ගේ පෙනුම ඔහුට තිබුණු නිසා යැයි එකල විචාරකයෝ කියූහ. කොහොම නමුත් ඔහුව සිනමාවට තෝරා ගනු ලබන්නේ එවකට දකුණු ඉන්දියාවේ සිටි අංක එකේ අධ්‍යක්‍ෂවරයෙක් වන පී. නීලකන්ටන් ය. නීලකන්ටන් යනු එම්. ජී. ආර්., සිවාජි ගනේෂන්, ජෙමිනි ගනේෂන්, ජය ශංකර් වැනි සුපිරි සිනමා තරු මෙහෙය වූ අධ්‍යක්‍ෂවරයෙකි.

ජීවිතයේ සමහර දේ නොසිතූ විරූ ලෙස වෙනස් වූ අවස්ථා වෙයි. රෝයි ගේ ජීවිතයේ ද එබඳු අවස්ථාවක් තිබේ. එසේ නොවූවා නම් රෝයි සිනමාවට පැමිණ මේ වන විට වසර 50 ක් ඉක්මවා යෑමට ඉඩ තිබිණි. ඒ ඔහු මුලින්ම චරිතයක් සොයා යන්නේ ‘කුරුලු බැද්ද’ චිත්‍රපටයේ රඟපෑම උදෙසාය. එය ඔහුට අහිමි වන්නේ දෛවෝපගත පරිද්දෙනි. එසේ වූවා නම් ඔහුට ජය ශංකර් හංවඩුව වදින්නේද නැත. ‘කුරුලු බැද්ද’ අධ්‍යක්‍ෂණය කරන එල්. එස්. රාමචන්ද්‍රන් දකුණු ඉන්දියාවේ කොයි හැටි වෙතත් සිංහල සිනමාවේ නම් නීලකන්ටන්ට වඩා නමක් දිනූ අධ්‍යක්‍ෂවරයෙකි.

රෝයි ගේ මුළු රංගන ඉතිහාසය පුරාම මුල්වරට සිදු වූ වරද නිවැරැදි කර ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. දකුණු ඉන්දීය නළු ජය ශංකර්ගේ පෙනුම ඔහුට තිබුණ ද ඔහු ජය ශංකර් අනුකාරකයෙක් නොවීය. ‘සුනේත්‍රා’, ‘මිහිඳුම් සිහින’, ‘මධු සිහින’ වැනි චිත්‍රපට නළුවකු ලෙස ඔහුට යා හැකි දුර පසක් කරවයි. අවාසනාවට හෝ ඔහුට මෙරට සම්භාවනීය සිනමාකරුවන් හමුවන්නේ නැත. මෙරට සිනමා ඉතිහාසයේ දීර්ඝ කාලයක් නියැළී සිටියද එබඳු සිනමාකරුවන් හමු නොවන නළුවන් දෙතුන් දෙනා අතර රෝයි එක් අයෙකි. එහෙත් එම වරම නොලැබූ සෙසු බොහෝ නළුවන්ට වඩා රෝයි රඟපෑම අතින් ඉදිරියෙන් සිටින වග මම විශ්වාස කරමි. සිනමාකරණයේ ඔහුගේ අනන්‍යතාව ගොඩනැගෙනුයේ හාස්‍යෝත්පාදක චිත්‍රපට සමඟය. මේ චිත්‍රපට සිනමාත්මක හෝ වෙනත් ඉහළ අගයක් තබා සටහන් කරන්නට මම උත්සුක නොවෙමි. එහෙත් ඔහුගේ අනන්‍යතාව තිබුණේ මේ හාස්‍යෝත්පාදක චිත්‍රපට නිර්මාණවලය.

සිනමා ශාලා සඳහා බල්ලෙකුවත් නොපැමිණෙන යුගයක ඔහු අධ්‍යක්‍ෂණය කරන ලද චිත්‍රපට සිනමාශාලා ප්‍රේක්‍ෂකයන්ගෙන් පිරී යන්නට පටන් ගැනිනි. එයට හේතුව වූයේ රෝයි ගේ අනන්‍යතාව පැවැතියේ හාස්‍ය සමඟ වීමය. ඔහු සැමවිටම අවංකව සිනාසුන මිනිසෙකි. කෙනෙකු සිනහා ගැන්වීම අපහසු කාර්යයක් වුවත් රෝයි ඒ කාර්ය ඉතා පහසුවෙන් කළ බව සමීපව ඇසුරු කරන්නෝ දනිති. සිනමාවේ යස ඉසුරු සපිරි සුරබිදෙන පලා ගිය කල්හි එහි නියැළි බොහෝ දෙනෙක් වෙනත් වෘත්තිය කරා ඇදී ගොස් ලාභදායි වෙනත් ව්‍යාපාරවලට අත පෙවීය. නැතහොත් රට හැර ගියහ. එහෙත් රෝයි මේ ගත වූ පනස් වසර මුළුල්ලේම සිනමාවෙන් බැහැර වෙනත් වෘත්තියක නියැළුනේ නැත. පිටරට ගොස් ජීවත් වූයේ ද නැත. සිනමාවට පිවිසෙන්නට පෙර ඔහු නියැළි වෘත්තියේ යෙදිනි නම් ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරයකු හෝ වතු පාලකවරයකු වන්නට ඔහුට ඉඩ තිබිණි. එහෙත් ඔහු තෝරා ගත්තේ තමන් ඉතා ඇලුම් කළ සිනමාව ය.

එයින් බැහැරව යන්නට හෝ විදෙස් ගතවන්නට හෝ පමණක් නොව තමන් ජීවත් වූ සිනමාවට කිසි කලෙකත් අවමන් නොවන ආකාරයේ වචනයක් හෝ කියන්නට ඔහු කැමැති වූයේ නැත. සිංහලෙන් මෙන්ම ඉංගී‍්‍රසියෙන් ද ඔහු නිර්මාණයේ යෙදිණ. මේ චිත්‍රපට අතරෙන් එකක්, දෙකක් හැර බහුතරය, සිනමා විචාරකයන් අතින් ප්‍රශංසාවට ලක්වූයේ නැත. එහෙත් තමා තැනූ බහුතර චිත්‍රපට සංඛ්‍යාව සඳහා රෝයි අවංක වූ වග පැහැදිලිය. ඒ ඔහුගේ ජනපි‍්‍රයම චිත්‍රපට නැතහොත් අනන්‍යතාව තිබුණේ විකට චිත්‍රපට සඳහා බැවිනි. රෝයි හා බැඳුණු අනෙක් නාමය නම් සුමනා අමරසිංහය. සිනමා රංගනයේ යෙදී එක දිගට දිගු කලක් බැඳුණු විවාහක යුවළ වනුයේ ද රෝයි, සුමනා ය. මේ දෙදෙනාට දෙදෙනා නැතිවම බැරි යැයි අපට දැනුණේ පසුගිය දවසක හිටි අඩියේ සුමනා අමරසිංහ රෝගාතුර වූ විටය. රෝයි පසුපස දැවැන්ත සෙවණැල්ලක් වූයේ සුමනා ය. ජීවිතයත්, මරණයත් අතර දෝලනය වෙමින් සුමනා අක්කාගේ ජීවිතය පැවැති ඒ දිනවල රෝයි ගත කළ ස්වරූපය එයටත් වඩා ශෝකාකූල එකක් විය.

රෝයි, සුමනා යුගය ඇරැඹෙන්නේ 70 දශකයේ ය. සිංහල සිනමාවේ එක් එක් දශකවල විවිධ වූ පෙම් යුවළයන් ඒකාලෝක කලහ. ෆ්ලොරිඩා ජයලත්, ප්‍රේම් ජයන්ත් සුසංයෝගයෙන් ඇරැඹි අපේ සිනමාවේ ප්‍රේම වෘත්තාන්තයත් සිනමා රසිකයන්ට මහත් ආස්වාදයක් විය. තිරයේ පෙම්වතුන් සැබෑ ජීවිතයේ ද පෙම්වතුන් වනු දැක්ම ප්‍රේක්‍ෂකයෝ අපේක්‍ෂා කළහ. එදා මෙදාතුර මේ සිහිනය යථාර්ථයක් කර ප්‍රේක්‍ෂකයන් හමුවේ මල්පල ගන්වන්නට සමත් වූ කිසිවෙක් නොමැති තරම්ය. එහෙත් රෝයි සහ සුමනා යුවළ සැබෑ සිනමාවේ මෙන්ම ජීවිත සිනමාවේ ද සිහිනය යථාර්ථයක් බවට පත් කළහ. ඔවුන්ගේ ලෝකය ගොඩනැඟුණේ සිනමාව කේන්ද්‍ර කර ගෙනය.

රෝයි අයියා හැමවිටම තාරුණ්‍යයෙන් පිරිපුන් මිනිසකු යැයි මට සිතෙයි. ඔහු දුක් ගැහැට ඇතොත් කියා පාන්නේ හිතවතුන්ට පමණි. හමු වූ ඕනෑම මොහොතක පැත්තකට හෝ අඬ ගසා කියන්නට මරු කතාවක් ඔහු ළඟ තිබේ. අවුරුදු විස්සක් පුරාවට ඔහු හමුවන විට කියූ රස කතා ගොන්න එකතු කළ නම් එය මහ පොතක් වනු නිසැකය. රෝයි ද සිල්වා නම් අපූරු මිනිසාගේ නිරෝගීකම බැඳී ඇත්තේ මේ නිතර සිනාසෙන ගති ලක්‍ෂණය නිසාය. කලකට ඉහත ඔහුගේ සිනමා දිවිය වෙනුවෙන් ‘සරසවිය’ රණතිසර සම්මානය පුදනු ලැබීය.

එය සිනමා කර්මාන්තය වෙනුවෙන් මුළු මහත් ජීවිතයම කැප කළ කෙනෙකුට එක්වරක් පිදෙන සම්මානයයි. රෝයි අයියා එනවිට පැවති සිනමාව හෝ සිනමා ලෝලීන් අද නැත. අලුත් පරම්පරාවට සිනමාවේ එදා පැවැති චමත්කාරය විග්‍රහ කරන්නට ඇවැසි වදන් මා ළඟ නැත. එහෙත් අප සිනමා ලෝලීන් බවට පරිවර්තනය කිරීමේ වරදෙහි කොටස් කරුවන් හැටියට රෝයි ද සිල්වා ගේ නම ද සඳහන් කරන්නට මම කැමැත්තෙමි.

පනස් වසරක් මුළුල්ලේ සිය ජීවිතය සිනමාවට කැප කළ රෝයිට නිදුක් නිරෝගී සුවය අපේ සියලු පාඨකයන් වෙනුවෙන් සිනමාලෝලීන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නට මෙය අවස්ථාවක් කර ගනිමු.