වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




මට ජීවිතය වැරැදුණේ ඕනෑවට වඩා මිනිස්සු විශ්වාස කළ නිසයි

මට ජීවිතය වැරැදුණේ ඕනෑවට වඩා මිනිස්සු විශ්වාස කළ නිසයි

නිශාගේ ආලවට්ටම්වලට සරෝජ් හසු නෙවෙයි. එහෙත් ඇය ඔහුගෙන් ඉවත්වන ලකුණක් නම් නොවීය. දිනෙන් දින නිශා සරෝජ්ට ළං වෙන්නට උත්සාහ ගනියි. අප දැන් බලා සිටිනුයේ ඇගේ උත්සාහය සාර්ථක වෙනවාද නැති ද කියාය.

මේ නිශා අපට හමු වන්නේ සංජය ගුණවර්ධනගේ දෙවැනි වේදිකාව ටෙලි සිතුවමෙනි. එපමණක් ද නොව ඇය අඟුරු සිතුවම් ටෙලි සිතුවම හරහා ද අපට සමීප වන්නීය.

බියංකා ෆොන්සේකා. ඒ ඇගේ ඇත්ත නමය. බියංකා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අනූව දශකය අග භාගයේදීය. එවකට ඉතාම ජනප්‍රිය වැඩසටහනක් වූ සවනට ගී මධු හි නිවේදිකාවක් වෙමින් බියංකා කැමරාවට හා හා පුරා කියා මුහුණ දුන්නාය. එවකට ඇය පාසල් ශිෂ්‍යාවක්ය. බියංකා එතැන් පටන් කාලයක් තම අධ්‍යාපනය වෙනුවෙන් කලාවෙන් ඉවත් විය. වසර කිහිපයකට පසු යළිත් ඇය මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස ක්ෂේ්ත්‍රයට අවතීර්ණ විය. බියංකා රංගන ශිල්පිණියක වීම පිටුපස ඇත්තේ අහඹු සිද්ධියකි. ඇයට රංගනය සඳහා පළමු ඇරුයුම ලැබෙන්නේ සහාය අධ්‍යක්ෂවරයකුගේ බිරියකගෙන්ය.

ප්‍රසන්න වනසිංහ තමයි ඒ සහාය අධ්‍යක්ෂවරයා. ඔහුගේ බිරිය මගේ හිතවතියක්. දිනක් මම ක්ලාස් ඇරිලා එයාලගේ ගෙදර ඉස්සරහින් යද්දි මාව දැකලා කතා කරලා ඇය කිව්වා ප්‍රසන්න අලුත් නාට්‍යයක වැඩ පටන් ගන්නවා. ඒකේ රඟපාමු කියලා. මම කැමති වුණේ නම් නැහැ.

මා සතු ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය පිලිබඳ දැනුම අල්ප වීම ආරාධනය ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන හේතුව වුණා.

රංගන ක්ෂේත්‍රය කියන්නේ හරිම නරක තැනක් කියලා මම හිතාගෙන හිටියේ. ඒ හින්දා තමයි රඟපාන්න යන්න බිය වුණේ. නමුත් අහම්බෙන් ලැබුණු ආරාධනාව අහකදමන්නට බැරි තත්ත්වයක් උදා වුණා. මමත් ඉතිං රඟපාන්න ගියා. ඒ නාට්‍යයේ නම අයි ලව් ජෙනී. නාලක විතානගේ එහිි අධ්‍යක්ෂවරයා.

පළමුවරට රඟපාන්න ලැබුණේ විශිෂ්ට රංගධරයකු වූ ටෝනි රණසිංහ සමඟින්. දර්ශන තලයට යනතුරුම දැන සිටියේ නැහැ ටෝනි රණසිංහ සමඟ රඟපාන්න තියෙනවා කියලා.

ඇත්තටම මට පුදුම හිතුණා. ලොකේෂන් එකට එනකොට ඇක්ෂන් කට් කියන වචනවත් දැනගෙන නෙවෙයි මා හිටියේ. කොහොම හරි ටෝනි මහත්මයා එක්ක රඟපෑවා. ඒ හමුව කෙළවර වුණේ මට ඔහුගේ අධ්‍යක්ෂණයෙන් යුතු අම්මයි දූලයි නාට්‍යයේ චරිතයක් ලබාදීමෙන්. ඒක තමයි මගේ දෙවැනි ටෙලි සිතුවම.

බියංකා ඊට පසුව යස් මැඩම්, ඉටි මල්, වන්දනා, ආදරියේ, බාගෙට නැයෝ, සංසාර සක්මන, රෝ්ස කටු, කිඳුරංගනා වැනි ටෙලි සිතුවම් ගණනාවකින්ම අප හමු වුණා. ඒ අතරින් සංසාර සක්මන ඇයට විශේෂයිලු.

මම එහි රඟපෑවේ ගමක අම්මා කෙනෙකුගේ චරිතයක්. ඇය කොළඹ ඇවිත් නිළියක් වෙනවා. දෙබස්වලට වඩා හැඟීම් තමයි කැමරාවට පෙන්වන්න සිදු වුණේ. ඒක කාලයක් මිනිසුන්ට මතක හිටින චරිතයක් වුණා.

එදා බයෙන් බයෙන් පය තියපු ක්ෂේත්‍රය අද බියංකා දකින්නේ වෙනස්ම විදිහකටයි.

මේ ක්ෂේත්‍රය හරිම උතුම්. මම හිතාගෙන හිටියා වගේ නෙවෙයි. අප මතු පිටින් පෙනෙන්නට තියෙන දේ තමයි වැඩිපුරම විශ්වාස කරන්නේ. මමත් එහෙම හිතාගෙන හිටියා. ආවට පස්සෙයි මෙහි රඟ දැක්කේ.

බිංයකා නිතරම අපි දුටුවේ බටහිර චරිතවලින්. සංසාර සක්මනේ හැරුණු කොට සියලුම නාට්‍යවල පාහේ ඇය සංකර චරිතයක් වුණා.

මගේ පෙනුමට එවන් චරිත ලැබෙන්නේ. මම හරිම ආසයි ගමේ කෙල්ලෙක් වෙන්න. නමුත් කෝ ඊට අවස්ථාව.

බියංකා සමඟ ක්ෂේත්‍රයට පැමිණි සමකාලීනයෝ අද ඇයට වඩා ජනප්‍රියයි. බියංකා තවමත් ජනප්‍රිය නිළියන්ගේ නාම ලේඛනයටවත් තම නම ඇතුළත් කරගන්නට උනන්දුවක් නැති පාටයි නේද?

උදයන්ති, නදීශා මගෙත් එක්ක මොඩ්ලිං කරපු අය. එයාලා මට වැඩිය ජනප්‍රියයි. මට ලැබුණු ඇතැම් ප්‍රධාන චරිතවලට මට යන්නට නොහැකි වුණා අනිසි බලපෑම් මත. ඒ වගේම මම දුර බැහැර දර්ශන තල තියෙන නාට්‍ය බාර ගන්නේ නැහැ. ඒ හින්දා වෙන්න ඇති මම වැඩියේ ජනප්‍රිය නැත්තේ. ඒක හරිම අවාසියක් තමයි. නමුත් මම රඟපාන්නේ තෝරා බේරාගෙන.

මම ජීවිතයේ සන්තෝෂයෙන් ගත කළාට වඩා අඬපු අවස්ථා වැඩියි.

මගේ ජීවිතය වැරදුණේ මම ඕනෑවට වඩා මිනිස්සුන්ව විශ්වාස කළ හින්දයි. ඒ වගේ මෝඩ වැඩ ආයේ කරන්නේ නැහැ. ජීවිතයේ ඉදිරිය දකින්න මට හයියක් වෙන කෙනෙක් ඉදිරියේදී මට හමුවේ යැයි මම ප්‍රාර්ථනා කරනවා. මාව තේරුම් ගන්න කෙනෙක් මට හමු වුණොත් ඉක්මනින් විවාහ වෙනවා. මම ගොඩක් ආදරේ ලබපු කෙනෙක් නෙවෙයි. හැඬු කඳුළින් ගත කළ අවස්ථා එමටයි. ඒ හිින්දම කැමරාව ඉස්සරහා මට හොඳට අඬන්න පුළුවන්. ඒ ගැන අධ්‍යක්ෂවරු දන්නවා.

බියංකා පදිංචිය කලුබෝවිල. නුගේගොඩ අනුලා විද්‍යාලයෙනුයි ඇය අධ්‍යාපනය ලැබුවේ. ඉදිරියේදී විකාශය වීමට නියමිත සඳට ආදරෙන් සහ සඳවතියේ යන ටෙලි සිතුවම්වලින් බියංකාගේ රුව දැකගත හැකියි. මෙතෙක් ආ ගමනට උදව් කළ ගෙදර පිරිවර, සියලු අධ්‍යක්ෂවරුන් සහ ප්‍රේක්ෂකයින් බොහොම ආදරෙන් බියංකා මතක් කළා. ඇය මේ කතාව අවසන් කළේ තමාට වෙච්ච අමතක නොවන අත්දැකීමක් මතක් කරමින්.

සඳට ආදරෙන් නාට්‍යයේ මම නිදිමතේ ඇවිත් වතුර වීදුරුවක් බොන දර්ශනයක් තිබුණා. එය හය පාරක් ගත්තා. ඒ හය පාරටම වතුර වීදුරු හයක් බොන්න වුණා. පැය භාගයක් ඇතුළත වතුට වීදුරු හයක් බිව්වාම කොහොම හිටීවි ද කියලා හිතන්නකො. මගේ වෙලාවට හය වැනි වතාවේ එය සාර්ථකව ගැනීමට හැකියාව ලැබුණා.