වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ජනප්‍රියත්වය රැකගන්න යම්තාක් දුරට කපටි වෙන්න ඕනෑ

ජනප්‍රියත්වය රැකගන්න යම්තාක් දුරට කපටි වෙන්න ඕනෑ

චම්පික ප්‍රියශාන්ත

විරහ ගීත රැල්ලත් ළඟදීම නිමා වේවි

* ඔබේ නම?

චම්පික ප්‍රියශාන්ත.

* චම්පිකව අප වඩාත් හඳුන ගත්තේ සුපර්ස්ටාර් තරගාවලිය හරහා?

මම එහි තෙවැනි අදියරේ හතරවැනි තරගකරුවා දක්වා ආවා.

* අද වන විට සුපර් ස්ටාර් සමඟ කලඑළියට ආ බොහෝ දෙනෙකු පේන්නවත් නැහැ?

ඒක ඉතින් තීරණය වන්නේ ක්‍රියා කලාපය සහ තමන්ගේ පැවැත්ම තියාගෙන ඉන්න ක්‍රමය අනුව.

* ඔබේ ජනප්‍රියත්වය නොවෙනස්ව තියෙනවාද?

මම හිතනවා වෙනස් වෙලා නැහැ කියලා මට තියෙන වැඩත් එක්ක.

* ඒ කිව්වේ?

ප්‍රසංග වේදිකාවලට එදා වගේම අදත් මට ආරාධනා තියෙනවා. ඒ වගේම ලැබෙන රසික ප්‍රතිචාරත් අඩුවක් නැහැ.

* සුපර් ස්ටාර්වලින් ඉවත් වූ දින සිට මේ දක්වා තමන්ගේම ගීත කීයක් විතර ගයලා තියෙනවාද?

හතරයි. ඒ අතරින් මගේ සිතේ සොඳුරුම ගීතය වඩාත් ජනප්‍රිය වුණා.

* චම්පිකගේ අලුත්ම ගීතය මොකක්ද?

කඳුළු පිරි නේත්‍රා.

* විරහ ගීතයක්?

ඔව්.

* ඇයි රැල්ලට සිංදුවක් කළේ?

අකමැත්තෙන් වුණත් මේ කාලයේ තියෙන රැල්ලත් එක්ක අපට යන්න වෙනවා.

* හේතුව?

අද වන විට වැඩිපුර ගුවන් විදුලි නාළිකාවල ප්ලේ කරන්නේ එවැනි ආරේ ගී. ඒ වගේම ජනප්‍රිය වන්නෙත් විරහ ගීත විතරයි. නමුත් මට දැනෙන පරිදි ළඟදීම ඒ රැල්ලත් නිමාවේවි.

* ජනප්‍රියත්වය රැකගන්න කපටිකම තියෙන්න ඕනෑද?

යම්තාක් දුරට කපටි වෙන්න ඕනෑ.

* මොන වගේ අවස්ථාවන්වලදීද?

අද වන විට සංගීත සමාගම් ක්ෂේත්‍රයට ඇවිත් තියෙනවා. ඒවත් එක්ක අපට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. අන්න එතැනදි ටිකක් කපටි විය යුතුයි. මොකද මුදල් මතනෙ ඒ වෙලාවන්වලදී කටයුතු කරන්න වෙන්නේ.

* ජනප්‍රිය සුපිරි තරු තවමත් ප්‍රසංග වේදිකාවේදී පැරැණි ගීත ගයන්නේ ඇයි?

ඒකට හේතු ගණනාවක් තියෙනවා.

* චම්පිකට දැනෙන විදිහට එකක් දෙකක් කියමුකො බලන්න?

අපේ තියෙන සංගීත කණ්ඩායම් බොහොමයක් අතිශය කාර්යබහුලයි. ඔවුනට අලුත් අයගේ අලුත් ගීත ප්‍රැක්ටිස් කරන්න වෙලාවක් නැති තරම්. ඒ හින්දා ලෙහෙසියටත් එක්ක පරණ ගීතම ප්ලේ කරනවා.

* රසික රසිකාවන් ඉල්ලන්නේ පරණ ගීත නෙවෙයිද?

නැහැ, නැහැ. රසිකයන්ට ඕනෑ අපේ අලුත් ගීත.

* කොහොමද එහෙම කියන්නේ?

ප්‍රසංග වේදිකාවන් අබියසදී මගෙන් සෑහෙන්න දෙනා කියන්න කියන්නේ අලුත් ගීත. ඒ වගේම මගේ අලුත් ගීතයක් පරක්කු වුණොත් කෝල් කරන රසිකයෝ පවා ඉන්නවා.

* ජනප්‍රිය නවක තරු ප්‍රසංගවලට පොලු තියනවා කියලා රාවයක් යනවා? මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ?

මම දැඩිව ප්‍රසංග සංවිධායකවරුන්ට කියනවා තමන්ගේ පැත්තෙන් විතරක් හිතන්න එපා කියලා. මොකද ගායක ගායිකාවන්ගේ කාර්යබහුලකම නිසා එකවර ප්‍රසංග රැසක් බාර ගන්න අමාරුයි. සමහර අය අපට පවා කතා කරලා නිශ්චිත පිළිතුරක් දෙන්නටත් කලින් ප්‍රසිද්ධියක් දෙනවා අපි ප්‍රසංගයට එනවා කියලා. එහෙම වුණාම තමයි ඔබ කී රාවය යන්නේ.

* චම්පිකගේ ගම රත්නපුර?

ඔව්. තව මාස දෙකකකින් විතර කොළඹ එනවා.

* ඔබගේ වෘත්තීය සංගීතයද?

මේ වන විට සංගීතය මගේ වෘත්තීය බවට පත් වෙලා තියෙනවා. එහෙයින් ෆැන්ටසි කියලා මගේම බෑන්ඩ් එකකුත් පටන් ගත්තා.

* ඔබගේ අලුත් ගීතය කොහොමද අහන්න පුළුවන්?

යූ ටියුබ් එකේ කඳුළු පිරි නේත්‍රා කියලා ටයිප් කළාම සිංදුව එනවා.