වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




පින්නවල අලියෙක්ගේ පිටේ ගැනූ ළමයෙක් නැග්ගාමයි

පින්නවල අලියෙක්ගේ පිටේ ගැනූ ළමයෙක් නැග්ගාමයි

අනූෂා දමයන්ති

ඇය සිංහල සිනමාවේ දඟකාර පෙම්වතියක්. කිසිම දිනෙක අභියෝගාත්මක දෙයක් කරන්න දෙවරක් හිතා බලන්න ඇයට පුරුද්දක් තිබුණේ නැහැ.

රංගන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන තරුවක වූ ඇය නර්තනයටත් සුපිරි තරුවක් වුණා. අනූෂා දමයන්ති. අද සරසවිය පුදුම හතේ කතා නායිකාව වන්නේ ඇයයි.

රංගනයේත් නර්තනයේත් අමතක නොවන සිදුවීම් හතක් පිළිබඳ මතක සටහන් ආදරණීය පාඨක ඔබත් සමග බෙදා ගන්න ඇය තීරණය කළා.

වියරු ගැහැනියක්

මම සිනමාවට සම්බන්ධ වෙන කොට සාමාන්‍ය පෙළ විභාගයවත් කරලා තිබුණේ නැහැ. ඒ කාලයේදී තමයි මට වියරු ගැහැනියක් චිිත්‍රපටයේ රංගනයට ආරාධනා ලැබුණේ. ඒ චරිතය වැදි තරුණියකගේ චරිතයක්.

සර්පයන් සමඟ දර්ශන කිහිපයක්ම එහිදී රූගත කළ යුතුව තිබුණා. මම ඒ කිසිම දෙයකට බය වණේ නැහැ. ඒ අතරේ එක දර්ශනයක් වුණේ නාගයන් කිහිප දෙනෙක් අල්ලා මල්ලකට දාන දර්ශනයක්.

එදා මම ඒ නාගයන් එකිනෙකා අල්ලමින් මල්ලට දැම්මා. එදා නාගයන් අරගෙන පැමිණි අය පවා පුදුමයෙන් ඒ දෙස බලාගෙන හිටියා.

මීළඟ දර්ශනය වුණේ පිඹුරෙක් අරගෙන විල්සන් කරු අයියගේ බෙල්ලේ ඔතන දර්ශනයක්. ඒ වගේම ගස්වලින් පනින්න ගැඹුරු වතුරට පනින්න එහෙමත් තිබුණා.

එදා නම් ඒ දර්ශන අභියෝග විදියට මට දැනුණේ නැහැ. අද වගේ නම් මම ඒ ගැන දෙපාරක් හිතාවි. එත් ඕනෑම දෙයක් වෙනුවෙන් කැපවීම මම පුංචි කාලයේ පටන්ම ප්‍රගුණ කළ ගුණාංගයක්.

වියරු ගැහැනියක් චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කෙරුණේ සාමාන්‍ය පෙළ විභාගයට කලින්. චිත්‍රපටය තිරගත කෙරෙන බවට දැන්වීම් දානකොට ප්‍රතිඵල ඇවිත් තිබුණා. ගුරුවරු බණීවි කියලා බයට මම ප්‍රතිඵල බලන්න යන්නත් බෑ කිව්වා.

ගිනිගත් මධුසමය

ගනිගත් මධුසමය චිත්‍රපටයේ රුචිරාණිගේ චරිතයත් සිනමාවේදී මට ලැබුණු විශේෂ චරිතයක්. එහි මට රෙෂාන් පිලපිටිය අයියා සමඟින් රඟපාන්න ලැබුණේ. ඔහු සමඟින් මුල්ම රංගනය වුණෙත් රුචිරාණිගේ චරිතයයි. විවාහ වී මධුසමයට පිටත් වූ තරුණියකට මුහුණ දෙන්න සිදුවන සිදුවීම් දාමයක් එහි අඩංගු වුණා.

සුන්දර මධුසමයක් බලාපොරොත්තු වූ ඇයට මුහුණ දෙන්න වුණේ කිසිදා නොසිතූ සිදුවීම් රැසක්. එහි එක දර්ශනයක් තිබුණා රොෂාන් අයියා සමඟින් රන්ඩු වන සිදුවීමක්.

එහිදී රොෂාන් අයියා මාව තල්ලු කරපු පාරට මාව විසි වෙලා ගිහින් ඇඳේ ඔළුව වැදුණා. ඒ සිදුවීම තාත්ත්වික විදියට රූගත කෙරුණා. මට විශාල වේදනාවක් දැනුණත් දිගටම රූගත කිරීම සිදු කළා.

එදා ඒ රංගනයේ සාර්ථකත්වයට 2000 වසරේ දී පැවැති ජනාධිපති සම්මාන උළෙලේදී මා සම්මානනීය කළා. වසර කිහිපයක් පුරාම මෙරට සම්මාන උළෙල එකක්වත් නොපැවැති සමයක පැවැත් වූ එම සම්මාන උළෙලත් විශේෂ එකක් වුණා.

කොටි සනා

මීළඟට මට විශේෂ වන තවත් චිත්‍රපටයක් තමයි කොටි සනා. එහිදී ජීවන් අයියා සමගිනුයි මට රංගනයට අවස්ථාව ලැබුණේ. එහිදී මට ඔහුගේ පෙම්වතියගේ චරිතයට පණ පෙවිය යුතු වුණා. එම රංගනය සමඟිනුත් මට අභියෝගාත්මක සිදුවීම් කිහිපයකටම මුහුණ දෙන්න වුණා.

එහි එක දර්ශනයක් තිබුණා ජීවන් අයියා එක්ක දුවගෙන ඇවිත් ගොඩනැගිල්ලක තට්ටු දෙකක් උඩින් බිමට පනින්න. ජීවන් අයියා ඒ කාලෙත් පළපුරුදු නළුවෙක් වුණත් මම ඒ වගේ රංගනයන්ට ආධුනික වුණා.

කොහොම හරි එදා බිමට දාන්න මෙට්ට ගේන්නත් අමතක වෙලා. ඒ වෙනුවට කාඩ්බෝඩ් පෙට්ටි ගොඩක් තමයි තියලා තිබුණෙ. බිමට පනින එකත් ලෙහෙසි දෙයක් වුණේ නැත්තේ ජනෙල් පඩියකට කකුල තියලා සඳළුතලයකුත් මඟ හැරලා බිමට පනින්න ඕනෑ.

දැන් ඉතිං චිත්‍රපට කණ්ඩායමේ අයටත් මේක ප්‍රශ්නයක්. හැමෝම මගෙන් ඇහුවේ මේක කරන්න පුළුවන් ද කියලයි. ‘ජීවන් අයියා පනිනවනේ. කමක් නෑ මමත් පනින්නම්’ කියලා මම කිව්වේ දෙපාරක් හිතන්නේ නැතුව. දෙන්නම අත් දෙකෙන් අල්ලා ගෙන දුවගෙන ඇවිත් බිමට පැන්නා. කාඩ්බෝඩ් පෙට්ටි ටික පෙරළගෙන බිමට වැටුණත් වාසනාවට අතක් කකුළක් කැඩුණේ නැහැ. ඒ වුණත් අද නම් ඒ වගේ දෙයක් ගැන මම දෙපාරක් හිතලා බලන්න ඉඩ තියෙනවා.

මිස්ටර් ධනරින

රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ සැළමුතු සෙනෙහස චිත්‍රපටයත් මගේ රංගන දිවියට විශේෂ අවස්ථාවක් එක් කළ චිත්‍රපටයක්. එහිදී මට අර්ජුන් කමලනාත් සමඟින් රංගනයේ යෙදුණා.

ඩෙවෝන් ඇල්ල ළඟ එහි එක් දර්ශනයක් රූගත කළ යුතුව තිබුණා. එතැනට ගියාට පස්සේ මට එතන ලස්සන දැකලා ලොකු සතුටක් දැනුණා. මට එතැන නටන දර්ශනයක් කරන්න ඕනෑ කියලා කිව්වා.

ඒ විතරක් නෙවෙයි එතැන පොඩි ගැට්ටක් තියෙනවා. ඒක උඩ තමයි මට නටන්න ඕනෑ වුණේ. ඒ විතරක් නෙවෙයි අඩි උස පාවහන් යුගලකුත් පැළඳගෙනයි මට නටන්න ඕනෑ වුණේ.

රෝයි අයියත් සුමනා අක්කාත් එක හෙළාම විරුද්ධත්වය ප්‍රකාශ කළා. ඒත් මගේ දැඩි ඉල්ලීම මත එතැන මම නටන දර්ශනයකුත් රූගත කළා. එදා මම උස අඩි පාවහන් දාගෙන අර පුංචි ගැට්ට උඩ නැටුවා. සුමනා අක්කා බය වැඩිකමට බලන් ඉන්න බැරුව එතැනින් යන්න ගියා.

එතැන පොඩ්ඩක් හරි මම ලිස්සුව නම් පහළට වැටිලා මගේ ඇඟේ කෑලි තමයි අහුලන්න වෙන්නේ. එදත් මට චුට්ටක්වත් බය හිතුණේ නැහැ. නටලා ඉවර වුණාම හැමෝම සුබපැතුවේ ආයෙත් මේ වගේ අවදානම් වැඩ කරන්න නම් එපා කියමින්. අද ඒ ගැන හිතන කොට මොන තරම් මෝඩ වැඩක් ද එදා කළේ කියලා හිතෙනවා. මොකද එතැන හරිම අවදානම් තැනක් නිසා.

චණ්ඩ මාරුතය

චණ්ඩ මාරුතය චිත්‍රපටයත් මට මගේ රංගන දිවියේ ලැබුණු වටිනාම චිත්‍රපටයක් ලෙසින් සුවිශේෂ මතක සටහන් අතරට එක් වෙනවා. එහි මට නිරූපණය කළ යුතුව තිබුණේ අලි බලන කෙල්ලකගේ චරිතයක්. මම සාමාන්‍ය ජීවිතයේදීත් අලින්ට පුදුමාකාර කැමැත්තක් දක්වන්නේ. මම අලින්ට හරිම ආදරෙයි. ඉතිං මට අලි බලා ගන්න චරිතයක් ලැබුණම කොහොමද? ඊට වැඩිය සතුටක් නැහැ. මම හරිම කැමැත්තන් භාරගෙන රඟපෑවා. පින්නවල තමයි එහි රූගත කිරීම් සිදු කෙරුණේ.

මෙහිත් එක දර්ශනයක් තිබුණා අලියෙක් නාවන්න. සාමාන්‍යයෙන් පින්නවල සිටින අලින් නාවන්නේ නැහැ. උන් තනියම නා ගන්නවානේ. ඒ වුණත් අලින්ට තියෙන ආදරේ වැඩිකමට මම අලි නාවන අභියෝගයත් භාර ගත්තා. එහි සේවකයන් අලියා වතුරට දාලා දුන්නම ඕනෑ තරම් රූගත කරගන්න කියලා පොල්ලෙල්ලක් අරගෙන අලියව නාවන්න පටන් ගත්තා.

කොහොම හරි එදා ඇති වෙනකම්ම අලියෙක්ව නෑව්වා. ඒ විතරක් නෙවෙයි අලියාගේ පිටේ යන දර්ශනයකුත් තිබුණා. ඒකත් මම හරිම ආසාවෙන් කළා. හැමෝම කිව්වේ පින්නවල අලියෙක්ගේ පිටේ ගැහැනු ළමයෙක් නැග්ගාමයි කියලා. ඒ විතරක් නෙවෙයි එහෙ සිටින කිසිම අලියෙකුගේ පිටේ මිනිසුන් නඟින්නේ නැහැලු. ඒ වුණත් මට එදා කිසිම කරදරයක් වුණේ නැත්තේ මම අලින්ට ගොඩක් ආදරේ නිසා වෙන්න ඇති. ඒ වගේම චිත්‍රපටය පුරාවට මට හිතේ හැටියට අලින් සමඟ ගත කරන්න ලැබීම ගැනත් ගොඩක් ලොකු සතුටක් හිතේ තියෙනවා.

බලකාමය

බලකාමය චිත්‍රපටයත් මගේ රංගන ජීවිතයට අමතක නොවන සිදුවීම් රැසක් එක් කළ චිත්‍රපටයක්. කවදත් අභියෝගාත්මක චරිත භාර ගන්නට බිය නොවූ මට එය තවත් නැවුම් අත්දැකීමක් වුණා. එහි එක දර්ශනයක් රූගත කිරීම යෙදිලා තිබුණේ කළු ගං මෝයේදියි.

එහිදී මෝටර් සර්ෆින් බෝඩ් එකක් මත සිට කළ යුතු වූ රංගනය මට තරමක් අභියෝගයක් වුණා. මං කවදත් බැහැ කියන කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ දර්ශනයටත් මම බය නැතුව පෙනී සිටියා.

මෝටර් සර්ෆින් බෝඩ් එක මත දිගා වෙලා කලපුව මැද සිටියදී මෝටර් බෝට්ටු දෙකක් මා වටා කැරකෙන දර්ශනයක් රූගත කළ යුතුව තිබුණා. ඔන්න ඉතිං මමත් අර බෝඩ් එක බදාගෙන කලපුව මැද පාවෙමින් ඉන්නවා. මෝටර් බෝට්ටු දෙක ළඟට එනකොටයි එහි තරම තේරුණේ. වතුරට කැලඹිල්ලට එදා මම වැටුණා නම් වැටුණාම තමයි. මොකද මම ජීවිතාරක්ෂක කබායක්වත් ඇඳගෙන හිටියේ නැහැ. ඒ විතරක් නෙවෙයි මට පිහිනන්නත් බෑ. වැටුනා නම් ජබොක් තමයි. එදා ඒ රංගනයේ අගය තව තවත් ඉහළ නැංවූයේ මට මගේ රංගනයන දිවියට පළමු සරසවිය සම්මානය හිමිකර දෙමින්. ඒ 2001 වසරේ පැවැති සම්මාන උළෙලේදී මට කුසලතා සම්මානයක් පිරිනමමින්. ඒ නිසා මට බලකාමය චිත්‍රපටයේ රංගනය සුවිශේෂතම මතක සටහනක්.

ඩාන්සින් ස්ටාර්

චිත්‍රපටයක් නොවුණත් ඩාන්සින් ස්ටාර් වැඩසටහනත් මගේ ජීවිතයේ ලද සුවිශේෂතම අවස්ථාවක් ලෙසින් මම දකිනවා. ඒ සඳහා මුලින්ම ආරාධනා ලැබුණාම මම කළේ එය ප්‍රතික්ෂේප කරපු එකයි. අනෙකුත් කලාකරුවොත් මට එන්න කියලා කියද්දි මම කිව්වේ ‘අනේ මම නම් නටන්න එන්නේ නැහැ’ කියලා.

ඒ වුණත් මට මගේ අම්මාගේ පෙරැත්තයෙන් බේරෙන්නට බැරි වුණා. කොහොම හරි මම එයට එකඟතාවය පළ කරන කොටත් එය ආරම්භ කරන්න තිබුණේ දවස් හතරක් විතරයි.

අම්මාගේ වදෙන් බේරෙන්න බැරිකමට කැමැති වෙලා මම අම්මට කිව්වේ ‘මම නටන්නම්. කොහොම හරි ඔයා දිනන්න’ කියලයි. ඒ ගමන අවසානයේදී මට ඩාන්සින් ස්ටාර් කිරුළ හිිමි වුණා. ඒ ගැන මගේ හිතේ තියෙන්නේ පුදුමාකාර සතුටක්. මම එය ජයග්‍රහණය කළේ මගේ අම්මා වෙනුවෙන්. ඒක මගේ ජීවිතයේ අමරණීය මතක සටහනක්.

මේ දක්වා මට සිනමා ජීවිතයේ චිත්‍රපට පනහකට අධික සංඛ්‍යාවකට පණ පොවන්න අවස්ථාව ලැබුණා. සිනමාව ස්වර්ණමය යුගයෙන් බැහැරව සිටි කාලයක සිනමාවට පැමිණ මේ දක්වා එන්න ලැබීම ගැනත් මගේ හිතේ තියෙන්නේ විශාල තෘප්තියක්. ඒ අතරේ ලද ධර්ම පුත්‍ර චිත්‍රපටය ගැනත් කෙටි සඳහනක් කළ යුතුමයි.

එහි පික් පොකට් ගහන තරුණියකගේ චරිතය මම නිරූපණය කළා. ඒ රංගනය වෙනුනවෙන් මට 2007 වසරේ සරසවිය සම්මාන උළෙලේ කුසලතා සම්මානයක් හිමි වුණා. විවිධකාර චරිත සමඟින් සිංහල සිනමාවට දායක වෙන්න ලැබීම වාසනාවක්. ඒ සියල්ල සමඟින් ආදරණීය ප්‍රේක්ෂක ඔබේ ප්‍රතිචාරත් සැමදා මා දිරිමත් කළ බවත් ආදරයෙන් සිහිපත් කරනවා.