වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිත විවරණයක යෙදුණ සිනමා නිර්මාණ

ජීවිත විවරණයක යෙදුණ සිනමා නිර්මාණ

පසුගිය සතියෙන්...

ජීවිතය යනු අරුම පුදුම දෙයකි.එය සමහරවිට තේරුම් ගත නොහැකි මහා වියවුල් එකකි.නිරන්තරයෙන් කිසි කරදරයකින් තොරව ගලා බසින්නේයැයි සළකනු ලබන ජීවිත කතාවක වුව සැඟවුණ බොහෝ අතුරු කතාවන් එමටය.බොහෝ විශිෂ්ට සිනමාකරුවන් පසුගිය සියවස පුරාම ජීවිතය පිළිබඳ මෙකී අවුල පහදාලන සිනමාකෘතින් නිර්මාණයහ කළහ.එහි වෘතාන්ත රටාවෙන් නැතහොත් පර්යේෂණයන්ගේ කෙළවරක් නොමැත.දකින ජීවිතයට වඩා යමක් පෙන්වා දීම මෙකී සිනමාකරුවන් දරන වෑයමයි.මෙවර ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලට ඉදිරිපත් වුණ චිත්‍රපට රාශියක්ම ජීවිතය විනිවිද දකින්ට ලද ප්‍රයත්නයන් ගෙන් සමන්විත විය.ආක්‍යන රටාව එකිනෙකට වෙනස් මුහුණු වරක් ගත්ත ද එම චිත්‍රපට කිසිසේත් ශිල්ප හරඹ නොවීය.

බල්ගේරියානු සිනමා කෘතියක් වන ද ජජ්මන්ට් එබන්දකි.මෙවර කාලොවි වාරි සිනමා උළෙලේ විචාරක අවධානයට පත්වූ ජජ්මන්ට් නිර්මාණය කරන ලද්දේ Stephan Komandarev  විසිනි.තුර්කියට සහ ග්‍රීසියට මායිම් වන කුඩා ගම්මානයක ජිවත් වන පිය යුතු යුවලක් වටා ගෙතුන මෙම චිත්‍රපටය බල්ගේරියානු සමාජවාදී පාලන සමය බිඳ වැටුණ සමය පාදක කර ගත්තකි.දේශ සීමා වේ ඇති එක් බිහිසුණු මර කපොල්ලක් හඳුන්වා දීමට එගම් වැසියන් භාවිතා කරන වචනයේ ඉංග්‍රිසි තේරුම ජජ්මන්ට්ය.ඒ අතීතයේ ආක්‍රමණිකයන් එම මර කපොල්ල යොදා ගෙන ඇත්තේ මරණ දණ්ඩනය දීමට බැවිනි.

එනම් එම කපොල්ලේ ඇති තෙරක් නොපෙනන පාතාලයට සිරකරුවන් තල්ලු කර මරා දැමීමයි.යි.සිරියාවේ සිට තුර්කිය හරහා බල්ගේරියාව ඔස්සේ යුරෝපයට පළා යන මිනිසුන් ජාවාරම්කරුවන් විසින් ගෙන යනු ලබනුයේ ජීවිතය පරදුවට තබන මේ මාර්ගය ඔස්සේය. ගැමියකු වන මිත්යො ජීවත් වනුයේ ඔහුගේ පුතනුවන් සමගය.කිරි බවුසරයක් ඔවුන්ගේ එකම ජීවනෝපය මාර්ගයයි.සහමුලින් ණය බරින් ජීවත් වන ඔහු මිනිස් ජාවාරමට හවුල් කර ගනී.පියාගේ ජිවිත අභ්‍යන්තරය නොදන්නා පුතු පියා සමග නිරන්තර අරගලයකි. ජීවිතය පිළිබඳ කිසියම් රහසක් ඔහු සියල්ලන්ගෙ වසා ලනු ලබයි. මිනිස් ජාවාරමේ යෙදෙන තැරැව්කරුවකු වනුයේ මිත්‍රයෝ පැරණි දේශපාලන නායකයාය .

පියා පිළිබඳ සැබෑව පුතු නොදනියි.මවගේ අකල් මරණයට මෙන්ම නිවස පවා උකසට සින්න වීම පියාගේ ක්‍රියා කලාපය නිසා බැව් පුතුගේ විශ්වාසයයි.එහෙත් පියා පිළිබඳ ඔහුගේ අවධානය යොමු වනුයේ කිසිවකු හෝ නොසිතන මොහොතකය.එය ඔවුන්ගේ ජීවිතය වෙනතක යොමු කිරීමක් වෙයි. පියා කලක් සොල්දාදුවෙකු වූ බවත් මවට ඉමහත් ආදරයෙන් සැළකූ බවත් පමණක් නොව ඔහු ණයකරුවකු බවට පත් වනුයේත් මව නිසාවෙන්යැයි සිනමාකරු අනාවරණය කරනුයේ ඉතා සියුම් කම්පනයක් ප්‍රේක්ෂකයාට ලබා දෙමිනි.එයින් අනතුරුව නිරන්තර අරගලයක යෙදුණ පියා සමග පුතු ජීවිතය කෙලස බෙදා ගන්නේ ද සිනමාකරු විමර්ශණයට බඳුන් කරයි.

රුසියානු චිත්‍රපටයක් වන ජර්නි ටු ද මමී චිත්‍රපටය ද එබඳුම ජීවිත අන්දරයක් හෙළිදරව් කරන්නකි. එම ජීවිත අනාවරණය යනු හින්දි චිත්‍රපටයක අවසානය මෙන් සියල්ල විසඳාලන වර්ගයේ එකක් නොවේ.දීර්ඝ කාලයක් ප්‍රංශයේ ජීවත් වන සිය මව දැක බලා ගන්නට දින තුනක නිවාඩුවක් ලබා ගෙන රුසියාවේ සිට එන මැක්සිම් හදිසියේ සිදුවන ඇයගේ මරණය සමග මුහුණ දෙනුයේ තවත් ගැටළුවන්ටය. මැක්සිම්ගේ අර්ධ සොහොයුරිය සමග ඔහුට ජීවිතයේ දුක බෙදා ගන්නට සිදුවෙයි.මැක්සිම් ප්‍රංශ බස නොදනී ඔහුට එරට මිනිසුන් සමග ගනුදෙනු කරන්නට සිදුවනුයේ එයට පෙර කිසිකලක මුණ නොගැසුන තම අර්ධ සොහොයුරිය සමගය. Mikhail kosyrev nesterov නම් සිනමාකරුවා තැනූ ජර්නි ටු ද මමී මිනිසුන් ජීවිතය දෙස බලනුයේ සැබෑවක් ද ? නැතිනම් එයට එහා ජීවිත සිදුවීම් කවරාකාරෙයන් විග්‍රහ කරන්නේ ද යන්න කියා සිටියි.යළි රුසියාවට යන මැක්සිම් ආපසු යන්නේ අකුටිල සිතකින් ද ? චිත්‍රපයටය පුරාම මවගේ චරිතය ගොඩ නැගුන ද ඇය කිසිවිටෙකත් තිරයේ දිස් නොවේ.එය අපට ඡායා මාත්‍රයක් බවට පත් කරන්නට සිනමාකරු වග බලා ගනී.

ප්‍රේක්ෂක සම්මානය 17 වැනි ලතින් අමරිකානු සිනමා උළෙලේ දී දිනා ගත් පේරු රාජ්‍යය නියෝජනය කළ චිත්‍රපටයක් වන he Gospel of the flesh  චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන ලද්දේ  Eduardo Mendoza De Echave  නමැති තරුණ සිනමාකරුවා විසිනි.ඔහු ලතින් අමෙරිකානු සනමාකරුවන් අතර වර්තමානයේ ඉහළ අවධානය දිනා ගත්තෙකි.එකිනෙකට සිදුවීම් තුනක් ගෙන එන සිනමාකරු කූටාප්‍රාප්තියේ දී එම සිදුවීම් එකිනෙකට බද්ධ කර ගනී. මරණාසන්න කාන්තාවකි.ඇය පොළිස් නිළධාරියකුගේ භාර්යාවකි.බිහිසුණු බස් සහ මෝටර් රථ අනතුරකින් කිහිප දෙනෙකු මරණයට පත් වෙයි.පාපන්දු ලෝලීන් පිරිසක් අතර ඇති වන ඝට්ටනයකින් කෙනෙකු මරණයට පත් වෙයි.තවකෙකු අත් අඩංගුවට පත් වෙයි.බැලූ බැල්මට එකිනෙක නොපෑහුන එහි සිදුවීම් ද මිනිසුන් ද එකිනෙකා හා ජීවිතයේ බැඳී ඇත්තේය.මරණාසන්න ගැහැණියට පිහිටට ඇත්තේ නගරයේ වීදි සරණ දේව මාතාවගේ ප්‍රතිමාව පමණක් ද ? ඒ හැරෙන්නට වෙනත් කිසිම පිහිටක් ලබා නොගන්නට තරම් සිදුවීම් බලවත් වනුයේ කෙළෙස ද සිනමාකරු අපෙන් විමසා සිටියි

මෑත භාගයේ ලොව වඩාත් අවධානය දිනා ගත් රාජ්‍යයක් වන ජෝර්ජියාව ද පැරණි සෝවියට් කඳවුරේ රාජ්‍යයකි.මෙවර ඉන්දියානු සිනමා උළෙලට එරටින් නියෝජනය වනුයේ Corn island  චිත්‍රපටයයි.එය George Ovashviliගේ සිනමාකෘතියකි.දේශ සීමා වක ඇති ගංගා වක් වන එන්ගූරි නදියට යාබද කුඩා දූපතක බඩ ඉරිඟු වවන ගැමියෙකු හා ඔහුගේ මිණිබිරිය කේන්ද්‍ර කොට ගත් මෙම චිත්‍රපටය ගංගාවත් දිනෙන් දින වැඩෙන බඩ ඉරිඟු වගාවත් තරුණියකගේ සිතුම් පැත්ම් සහ අවට සිදුවන් දේශපාලන කැරළි කෝලාහලත් මනාව සම්බන්ධ කර ගත් වියමනක් වැනි චිත්‍රපටයකි.කෝන් අයිලන්ඩ් චිත්‍රපටය නිමාවනුයේ වැස්ස සමග ඇති වන ගංගාව දූපත ගිල ගැනීමත් සමගය.මේ රූප ගැන්විම මෑත භාගයේ මා වඩාත් විශ්මයට පත් කළ රූ ගැන්වීමක් බව නම් කිවයුතුය.එයට හේතුව සිනමාකරු ඒ සඳහා පරිගණක දෘෂ්ටි ප්‍රයෝග භාවිතා කර නොමැති හෙයිනි.

පෝලන්ත සිනමා කරුවන් අතර අතිශය කීර්තිමත් සිනමාකරුවකු වන  Leeh Majewski  නිර්මාණය කරන ලද ෆීල්ඩ් ඔෆ් ඩෝග්ස් සිනමා වෘතාන්ත ශෛලිය පිලිබඳ අපූර්ව නිර්මාණයක් විය.මෝටර් රථ අනතුරකින් සිය ප්‍රියාව වියෝවූ කවියෙකු දේශපාලන ඛේදවාචකයක් හා පෞද්ගලික අරගලයක් මිශ්‍ර කරමින් සිනමාකරු වඩාත් ප්‍රබල සිනමා අත්දැකීමක් අපට සමීප කරවන නිර්මාණයකි.විටක සදශ උපහාසයෙන් ද විටෙක අතිශය රළු ස්වරූපයක් ද ගන්නා ෆීල්ඩ් ඔෆ් ඩෝග්ස් මුල මැද අග සහිත සිනමා වෘතාන්තයක් නොවේ.මේ අතරවාරයේ පෝලන්තය පුරා ස්වභාවික විපත් බහුල ව එයි.ජනාධිපති වරයාගේ ගුවන් යානය ද අනතුරට ලක් වනුයේ මේ අතරවාරයේය.පෝලන්තය අරාජික සමයක් වෙයි.බලයට අනතුරුව හිමිකම් කියන ගැහැනිය කවියා ගේ ජිවිතය සමග අරගලයක් කරයි.මේ සියල්ල මැද පුද්ගල සහ සමාජ පරිවර්තන රැසක් සිදු වනු විමර්ශණයට බදුන් වෙයි.

මෙවර ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලට ලොව නන් දෙසින් සහභාගි වූ සිනමාකෘතින් අතර මා වඩාත්ම විශ්මයට පත් කළ සිනමා කෘතිය මේ සියල්ලට වඩා වෙනස්ය.එම චිත්‍රපටය නරඹන්නට මා යොදා ගත් කාලය සොයා ගත්තේ එයට පෙර මවිසින් නැරඹිය යුතුයැයි තීරණය කළ චිත්‍රපටයක් ද අතහැර දමමිනි.එම චිත්‍රපටය පිළිබඳ ලබන සතියේ ලියන්නට බලාපොරොත්තු වෙමි

තවත් විශිෂ්ට චිත්‍රපට ගැන ලබන සතියේ