වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




‘අපි මැරෙන්නෙ නෑ’ අදටත් මතුවටත් වලංගුයි

‘අපි මැරෙන්නෙ නෑ’ අදටත් මතුවටත් වලංගුයි

මොහාන් නියාස්

අපි මැරෙන්නෙ නෑ සිනමාපටය මේ දිනවල තිරගත වේ. එය මොහාන් නියාස්ගේ අධ්‍යක්ෂණයක්ය. බ්ලැක් කමඩි ගණයට වැටෙන අපි මැරෙන්නෙ නෑ නියාස්ගේ අටවැනි සිනමා නිර්මාණයයි. මේ කතාබහ ඒ වෙනුවෙනි.

නියාස් මා දන්නා පරිදි ඔබ මෙම සිනමාපටය ඔබ අධ්‍යක්ෂණය කළේ මීට වසර අටකට නමයකට පෙරතුවයි?

ඔව්.

ඇයි එය තිරගත වන්නට මෙතරම් පමා වූයේ?

ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපේ දැනට තියෙන සිනමාපට බෙදා හැරීමේ ක්‍රමය. සමහර අය රූගත කරන්නට පෙර සිට තිරගත වන දින සකස් කරලත් ඉවරයි. අපි කළේ පෝලිම් පනින්නේ නැතුව චිත්‍රපටය පෙන්වීමයි. එහෙම චිත්‍රපට ප්‍රදර්ශනය වෙන කොට මේ වගේ කල් යනවා. අනික චිත්‍රපට ශාලා ඩිජිටල්වලට පරිවර්තනය වුණානේ. ඒ හේතුවත් අප මැරෙන්නෙ නෑ එන්න ප්‍රමාද කළා.

මේ තත්ත්වය ඔබේ නිර්මාණයට බරපතල හානියක් කළා කියලා කිව්වොත්?

එක ඇත්ත. චිත්‍රපටයක් කළාම ඒ කාලයේදීම ප්‍රදර්ශනය කළ යුතුයි.

සමහර විට මෙය පැරැණි චිත්‍රපටයක් කියලා හිතාගෙන ඇතැම් අය බලන එකක් නැහැ?

සමාජය ඉක්මනින් දියණු වෙනවා. රුචිකත්වයත් වෙනස් වෙනවා. අපිට ඉතින් ඒවා නවත්වන්න බැහැනෙ. නමුත් මම නම් කියන්නේ අපි මැරෙන්නෙ නෑ අදටත් වලංගුයි, මතුවටත් එහෙමයි.

මොන වගේ ප්‍රේක්ෂක කණ්ඩායමක් ද ඔබ මෙවර ඉලක්ක කර ගත්තේ?

සිනමාපටයක ආශ්වාදනය කරන්න පුළුවන් සෑම වයසකම රසිකයකුටම මෙම සිනමාපටය ඉලක්ක කර ගත්තා. පොදු ප්‍රේ්ක්ෂකාගාරයට චිත්‍රපට හැදෙනවා අඩුයි මේ කාලේ. එවන් සමයක ප්‍රමාද වී හෝ අපි මැරෙන්නෙ නෑ තිරගත වීම ගැන සතුටුයි.

මෙය බ්ලැක් කමඩියක්. නමුත් චිත්‍රපටය නරඹද්දි හිතන තරම් හිනා යන්නේ නැහැ කියලා ඇතැම් අය කියනවා?

බොහොම කර්කෂ විදිහට දෙබස් චිත්‍රපටය තුළ තියෙනවා. නමුත් ඒවා ඉබේ විහිළු බවට පත් වෙනවා. විවිධ පුද්ගලයින් නොයෙක් විදිහට චිත්‍රපටය ගැන කියන්නේ තමන්ට දැනෙන දේ අනුවයි. කෙනකුට විහිළුවක් තව කෙනෙනකුට එහෙම නොවෙන්න පුළුවන්. ඒ ඒ අය බලන මානසික මට්ටම අනුවයි එහෙම වෙන්නේ.

මෙහි ඇතැම් දර්ශන තවත් සංස්කරණය කළ යුතු යැයි මට හිතුණා?

වෙන්න පුළුවන්. නමුත් දැන් තියෙන දර්ශනයන් සියල්ල චිත්‍රපටයට අත්‍යාවශ්‍යයි.

චිත්‍රපටයේ ප්‍රධාන දර්ශනය මවන්නේ පාලිත සිල්වා. නමුත් සමහර වෙලාවල්වලදී බොරුකාරයකු හැටියට රඟන කුමාර තිරිමාදුර පාලිතට වඩා ඉස්මතු වෙනවා?

මමත් ඒක පිළිගන්නවා. තිරිමාදුරට යම් යම් වෙලාවන්වලදී ප්‍රේක්ෂක ආකර්ෂණයට පත් වෙනවා වැඩියි. ඔහුගේ සටකපටි වැඩ නිසයි එහෙම වෙන්නේ. පාලිතගේ සහ තිරිමාදුරගේ චරිත එකිනෙකට පරස්පරයි. පාලිත ගැන විටෙක අපට අනුකම්පා හිතෙනවා. නමුත් තිරිමාදුරට එහෙම නැහැ.

මළගෙදර අතරතුරදී කොහෙන්දෝ පැමිණි ගායන තරුවක් ජවුසන් නටමින් සිංදු කියනවා. ඇත්තටම එහෙම වෙන්න පුවවන්ද? කතාවේ තාත්ත්විකභාවය එතැනින් බිඳෙනවා නොවේද?

මිය ගිහිල්ලා කියලා හිතාගෙන ඉන්න තැනැත්තා ගීත රචකයෙක්. ඔහු ලියූ ගීතයක් තමයි අර ගායකයා මළ ගෙදරදි කියන්නේ. අපේ රටේ ඒ වගේ කලාකරුවෙක් මිය ගියාම ඔහුගේ හෝ ඇයගේ නිර්මාණ මළගෙදරදි දාලා තියෙනවානෙ. එබැවින් මම හිතන්නේ නැහැ චිත්‍රපටයේ එම සිදුවීම අභව්‍යසම්පන්න එකක් කියලා.

මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවක්ද?

ඔව්. මමත් ඒ කතාව අහලා තියෙනවා.

ඔබ යොදා ගත් නවක නළු නිළියන් ගැන දෙයක් අහන්න තියෙනවා. ඇතැම් චරිතවලට ටිකක් ජනප්‍රිය නළු නිළියන්ව ගන්න තිබුණා කියලා හිතුණේ නැතිද?

හිතුණා, නැත්තේ නැහැ. නමුත් පොඩි පොඩි චරිතවලට ජනප්‍රිය අය ගන්න අපහසුයි. ඒ වගේ චරිතයකට කතා කළාම සමහර අය එනවා හොරයි. මං කොහොමත් අලුත් අයට අත දෙන කෙනෙක්. ඒ ගැනත් හිතලා නවකයින්ව සම්බන්ධ කර ගත්තා.

චිත්‍රපටය තුළ ලකී ඩයස් වැනි නළුවකුගන් නිසියාකාරව වැඩක් අරගෙන නැහැ කියලා චෝදනාවක් තියෙනවා?

ඒ චරිතය ඇතුළේ ලකීගෙන් ඔයිට වඩා වැඩක් ගන්න බැහැ. ඒ සීමාව ඇතුළේ ඔහු හොඳට රඟපෑවා.

අපි මැරෙන්නෙ නෑ නරඹද්දී මට හිතුණු දෙයක් තමයි මේ තුළ යම් වේදිකා නාට්‍යයක ගති ලක්ෂණ තියෙනවා කියන එක?

ඔබ කියන කතාව හරි. මේ තුළ ආකර්ෂණිය රූප නැහැ. සිනමාවේ භාවිත කරන දෘශ්‍ය ප්‍රයෝග අඩුයි. එහෙව් තත්ත්වයක් මත මෙය වේදිකා නාට්‍යයක් විදිහට පෙනෙන්න පුළුවන්. මං එහි වරදක් දකින්නේ නැහැ.

මොහාන් නියාස්ගේ ටෙලි නාට්‍ය සමඟ සෑහෙන්න ප්‍රේක්ෂක සමූහයක් ඉන්නවා. නමුත් ඔබේ චිත්‍රපටවලට ඔවුන් එකතු වෙන්නේ නැහැ?

චිත්‍රපටයක් කියන්නේ සූදානම් වෙලා නැරැඹිය යුත්තක්. ටෙලි නාට්‍යයක් එහෙම නැහැ. රූපවාහිනිය ඔන් කළාද කොහේ හෝ තැනක වාඩිවෙලා ටෙලි නාට්‍ය බැලුව හැකියි. ඒ හේතුවෙන් ශාලාවලට මිනිසුන් ඒමේ කම්මැලිකමක් ඇතිවෙලා තියෙනවා. මට විතරක් නෙවෙයි ඔය තත්ත්වය ඇති වෙලා තියෙන්නේ.

ඔබ කියන්නේ ටෙලිවිෂනය තුළ ඕන කුණු ගොඩක් ප්‍රේක්ෂකයින් වැළඳ ගන්නවා කියලද?

නැහැ නැහැ. තමන් දන්නවනෙ තමන් බලන නාට්‍යය යන වෙලාව. ඒ වෙලාවට රූපවාහිනිය දාගන්නවා. සිනමාපටයක හොඳ ද නැද්ද කියලා දැනගන්න සිනමා ශාලාවකට ගොස් ඒක බලන්නම ඕනෑ. වැඩි දෙනා චිත්‍රපටයේ ගුණ අගුණ දැනගන්නේ එක එක අය කියන දේවල් අහලා. චිත්‍රපටයක් වුණත් නොමිලයේ පෙන්වන්න ගත්තොත් මිනිස්සු ඕනෑ කුණු ගොඩක් බලයි.

ඔබේ තවත් සිනමාපටයක් ඉදිරියේදී තිරගත වන්නට තියෙනවා?

එකේ නම මායාවි. මං හිතනවා මායාවි වෙනස්ම අන්දමේ කතා පුවතක් වේවි කියලා.

අපි මැරෙන්නෙ නෑ රූගත කරන්නට ගිහින් ඔබ ඇතුළු කණ්ඩායම ගමක් බය කළාලු නේද?

ඔය සිද්ධිය වුණේ පිළිමතලාවේ. එහි නිවසක තමයි පාලිත සිල්වාගේ මළගෙදර දර්ශන තියන්න ප්ලෑන් කළා. අපි එහි අවට සුදු කොඩි, ගොක් කොළ ආදිය එල්ලා සරසන්න හදද්දි ගමේ අය දුවගෙන ආවා ඒ ගෙදර ඇත්තටම මළගෙයක් වෙලා කියලා. රූගත කිරීම්වලට බාධා වන හින්දා අපි ගෙදරට යන්න දුන්නේ නැහැ මිනිස්සුන්ට. අපි කියන දේවල් පිළිගන්නේ නැතුව සමහර අය කලබල වෙලා අපිවත් පෙරලගෙන ගෙදර එන්න හැදුවා. අවසානයේ අපිට බෝඩ් එකක් ගහන්න සිදු වුණා ‘මේක ඇත්ත මළගෙයක් නෙවෙයි’ කියලා.