වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




එදා ‘කොමඩි හීරෝ’ කිව්වොත් ඉතිං මම තමයි

එදා ‘කොමඩි හීරෝ’ කිව්වොත් ඉතිං මම තමයි

රෝයි ද සිල්වාගේ සිනමා දිවියට හරියටම අදට වසර පනහයි

‘සුජාගේ රහස’ චිත්‍රපටය මුල්වරට තිරගත වූයේ මෙයට පනස් වසරකට පෙරාතුව අද වැනි දිනකය. ඒ 1964 දෙසැම්බර් 25 වැනිදාය. එහි තරුණ නීතිඥවරයකු ලෙස රඟපෑ කඩවසම් නළුවා පිළිබඳ කාගේත් අවධානය යොමු වූයේ නිරායාසයෙනි. ඒ මනාව පීරූ රැළි සහිත කොණ්ඩයෙන් හා සිහින් උඩු රැවුලින් යුත් ආකර්ෂණීය පෙනුම නිසාය.

ආර්ය ශ්‍රී ථකුරාර්ථ දේවාදිත්‍ය බණ්ඩාර ගාර්දියවසම් ළිඳමුලගේ රෝයි ඇලෝෂියස් ෆීලික්ස් ද සිල්වා සිනමා ප්‍රේක්ෂකයන් අතර ජනාදරයට පත් වූයේ රෝයි ද සිල්වා නමිනි.

70 දශකයේ මෙරට ජනප්‍රිය සිනමාවේ සුපිරි තරුවක් වුව ද රෝයි ගේ හැකියාව රංගනයට පමණක් සීමා වූයේ නැත. හේ ජනප්‍රිය තිරකතා රචකයකු හා බොක්ස් ඔෆිස් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ද වේ.

සිය සිනමා දිවියේ පනස් වසරක අභිමානය කැටි වූ මතක සැමරුම් අතර සැරිසරමින් ඔහු අප හා මෙසේ සුවිශේෂී කතාබහකට එක් විය.

* දකුණු ඉන්දියානු අනුකරණවාදී චිත්‍රපට බහුලව නිෂ්පාදනය වන යුගයක තමයි ඔබ සිනමාවට එක් වන්නේ?

මුලින්ම මම රඟපෑවේ මි. මී.16 චිත්‍රපටයක. ඒත් ප්‍රේක්ෂකයන් අතරට මම ගියේ ‘සුජාගේ රහස’ චිත්‍රපටයෙන්. එය තිරගත වුණේ අදින් හරියටම අවුරුදු පනහකට පෙර. ඇත්තටම ඔබ කිව්වා වගේ ඒ යුගයේ වැඩිපුර නිෂ්පාදනය වුණේ දකුණු ඉන්දීය අනුකරණ චිත්‍රපට තමයි.

* මුල්ම චිත්‍රපටය වුවත් එවකට සිටි ජනප්‍රියම නළු නිළියන් සමඟ ඔබට එහි රඟපාන්න ලැබුණා?

ඔව්. ඒක ඇත්ත. රවීන්ද්‍ර රූපසේන, ජීවරාණි කුරුකුලසූරිය දෙපළගේ පුතා හැටියටයි මට රඟපාන්න තිබුණේ. ඔවුන් ඒ කාලේ ජනප්‍රියත්වයේ හිණී පෙත්තේම වැජඹුණ නළු, නිළි යුවළක්. ඒ වගේම ලීනා ද සිල්වා, ආනන්ද ජයරත්න, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, මේබල් බ්ලයිත්, එල්. එම්. පෙරේරා වගේ ජනප්‍රිය නළු නිළියෝ රැසක්ම එහි රඟපෑවා. එය මා ලැබූ විශාල භාග්‍යයක්.

* කොහොමද රෝයි අයියට ඒ අවස්ථාව ලැබුණේ?

ඒ කාලේ බහුලව චිත්‍රපට හැදුවේ දකුණු ඉන්දියානු නිෂ්්පාදක, අධ්‍යක්ෂවරු. ඔවුන්ගේ චිත්‍රපටවල රඟපෑ නළුවන්ට රැළි කොණ්ඩයක්, සිහින් උඩු රැවුලක්, අරකක් මේකක් තියෙන්න ඕනෑ. ඇත්ත වශයෙන්ම එදා මාව ඒ චරිතයට තෝරා ගත්තේ ඒ ස්වරූපය මට තිබුණ නිසයි. කොහොම හරි තරුණයෝ එක්දාස් ගාණක් අතරින් තමයි ප්‍රධාන චරිතයට මාව තෝරා ගත්තේ.

* අධ්‍යක්ෂ පී. නීලකන්ටන් ඒ චරිතයට ඔබ තෝරා ගත්තේ එවකට ජනප්‍රිය දකුණු ඉන්දීය නළු ජෙය ශංකර්ගේ හැඩරුව ඔබට තිබූ නිසාලු?

ඒක එහෙම වෙන්නත් ඇති. කොහොම හරි ඒ කාලේ හිටපු විචාරකයෝ මාව හංවඩු ගහලා තිබුණනේ එම්. ජී. ආර්, එතකොට ජෙය ශංකර් අනුකරණය කරනවා කියලා. නෑ එහෙම නෙවෙයි එදා ඒක කරන්න සිද්ධ වුණා.

* කොහොම වුණත් ඔබ කෙටි කලකින් ජනප්‍රිය නළුවකු විදිහට ස්ථාවරය හදා ගන්නවා.?

ඒ යුගයේ ප්‍රධාන නළුවන් කීප දෙනයිනේ හිටියේ. සේනාධීර රූපසිංහ, ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ඔස්වල්ඩ් ජයසිංහ වගේ පස් හය දෙනයි හිටියේ. ඔය අතරින් අධ්‍යක්ෂවරු අපිව ග්‍රේඩ් කරලා තිබුණේ. දැන් ගාමිණී ෆොන්සේකා කිව්වොත් ඕනෑම චරිතයකට. පෙම් චරිත, චණ්ඩි චරිත, ඒ වගේම සම්භාව්‍ය චරිත, ඔය ඔක්කොම එයාට ලැබුණා. ඒ තමා වාසනාවන්තම නළුවා. එතකොට ටෝනි රණසිංහ ලව් ස්ටෝරි අරවට, මේවට. ඔස්වල්ඩ් ජයසිංහ ගොඩාක්ම මූදුකරයේ චරිතවලට.

* එතකොට ඔබ?

රෝයි ද සිල්වා කිව්වොත් ‘කොමඩි හීරෝ’ විදිහට තමයි ජනප්‍රිය වෙලා හිටියේ. ඒකෙන් මට ඉල්ලුම බොහොම වැඩි වුණා. මගෙයි, ගාමිණීගෙයි චිත්‍රපට ප්‍රදර්ශනය වෙන කොට ඒ කාලේ ඔපොසිට් කවුරුවත් ෆිල්ම් එකක් දාන්නේ නෑ. ගාමිණී රඟපෑ ‘එදත් සූරයා අදත් සූරයා’ එක්ක තමයි 1972 දී ‘සුජීවා’ චිත්‍රපටය දැම්මේ. ‘එදත් සූරයා අදත් සූරයා’ අධ්‍යක්ෂ ලෙනින් මොරායස් මට කිව්වා ‘පිස්සු කරන්න එපා කියපං ජෝ දේව් ආනන්ද්ට. මේකත් එක්ක උඹේ චිත්‍රපටය දුවන්නේ නෑ’ කියලා.

* ‘සුජීවා’ ප්‍රධාන නළුවා ඔබ?

ඔව්. අන්තිමට බලන කොට ‘සුජීවා’ දින 125 ක් දිව්වා. ‘එදත් සූරයා අදත් සූරයා’ දවස් 50 න් ගැලෙව්වා. ඒකේ ‘චන්දන ඇල්ලෙන් නාලා’ ගීතයෙන් මගේ ජනප්‍රියත්වය ඉහළටම ගියා. ඉතින් එදා සටනක් දුන්නේ මම තමයි. අවසානයේදී ගාමිණියි, මමයි අයියා මලෝ හැටියට රඟපෑවා ‘මිනිසුන් අතර මිනිසෙක්’ චිත්‍රපටයේ. ඒ 1979 දී. ඒකත් අති සාර්ථක වුණා.

* ජනප්‍රිය සිනමාවේ, ජනප්‍රිය නළුවකු විදිහට දිගු ගමනක් ඔබ ආවත් කලාත්මක චිිත්‍රපටවල රඟපෑවේ හරිම අඩුවෙන්. ඒකට හේතුව මොකක්ද?

එහෙම චිත්‍රපටවලට අධ්‍යක්ෂවරු මාව ගත්තේ නෑ. මොකද දකුණු ඉන්දියානු ස්ටයිල් එකට යන නළුවෙක් විදිහටනේ මට ලේබල් වැදිලා තිබුණේ. හැබැයි මට ඒක නැති කරගන්න ඕනෑකම තිබුණා. ඇත්ත වශයෙන්ම රඟපාන්න බැරිකම නෙවෙයිනේ. පුළුවන්. නමුත් මාව ඒ තත්ත්වයට ගන්න අධ්‍යක්ෂවරු බය වුණා. හැබැයි දයා විමලවීර ඔහු අධ්‍යක්ෂණය කළ ‘මධු සිහින’, ‘මිහිඳුම් සිහින’ චිත්‍රපට දෙකට බය නැතිව මාව අර ගත්තා. ඒ මම රඟපෑ වෙනස්ම විදිහේ චරිත දෙකක්.

* රිදී තිරයේ ආදරණීය මේ යුවළ රෝයි - සුමනා යුගය තවමත් ප්‍රේක්ෂකයන්ට අමතක නැහැ?

එදා ඇත්තටම සමහර අධ්‍යක්ෂවරුන්ගේ පුරුද්දක් තිබුණා චිත්‍රපටයක් කරලා පාඩු වුණාම අපි දෙන්නව දාලා චිත්‍රපටයක් හදනවා. ඒක ඉතිං ෂුවර් එකටම බොක්ස් ඔෆීස්. අර චිත්‍රපටයෙන් වුණ පාඩුව පියවා ගත්තට පස්සේ ආයේ අපි දෙන්නා දිහා හැරිලා බලන්නේ නැහැ. රෝයි - සුමනා යුගය ගොඩක් ජනප්‍රිය වුණේ 70 දසකයේදී.

* මතක් කරමුද ඒ චිත්‍රපට කීපයක්?

ගීතා, සුජීවා, සුනේත්‍රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි, රන්වන් රේඛා වගේ චිත්‍රපට රාශියක්. මේ චිත්‍රපටවලින් අපි දෙන්නා ප්‍රේක්ෂකයෝ අතර ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේම කාර්යබහුල වුණා. අපි දෙන්නට, දෙන්නා හමු වෙන්න තියා කතා කරන්නවත් වෙලාවක් නැති තරම් වුණා.

* කොහොම වුණත් රංගනයට පිවිස කෙටි කලකින් ඔබ සිනමා අධ්‍යක්ෂණයටත් මුල පුරනවා?

සිනමාවේ මම මේ රැඳී ඉන්න කාලෙත් එක්ක බලද්දී මම ඉතා ඉක්මණින් අධ්‍යක්ෂවරයකු වුණා කියලා හිතෙනවා. 1977 දී මගේ මුල්ම චිත්‍රපටය ‘ටොම් පචයා’ ස්ටැන්ලි පෙරේරා සමඟ අධ්‍යක්ෂණය කළා. සිනමාවට මම ආවේ 1964 දී. මගේ ගුරුතුමා සිරිල් පී. අබේරත්න කිව්වේ ‘පළමුවැනි චිත්‍රපටය ජනප්‍රිය වෙනකොටම උඹ දැනගනින් උඹේ පිටි පස්සෙන් තව එකෙක් එනවා. කවදා හරි ඌ උඹව බීට් කරනවා’ කියලයි. ගාමිණීට, විජයට හැර අපේ අනෙක් නළුවන්ට එහෙම වුණානේ. නමුත් අධ්‍යක්ෂවරයකු වූ නිසා මට සිනමාවේ අඛණ්ඩව රැඳෙන්න පුළුවන් වුණා. ගුරුතුමා කිව්වා වගේම මම හිතුවා මගේ පළවෙනි පින්තූරේ ඉඳන්ම මම ඉගෙන ගන්න ඕනෑ කියලා.

* මොනවද ඒ කළ හැදෑරීම්?

අධ්‍යක්ෂණයට එන්න කලින් මම පින්තූර දොළහක සහාය අධ්‍යක්ෂවරයා හැටියට වැඩ කළා. මුලින්ම ඇසිස්ට් කළේ ‘සුමුදු භාර්යා’ චිත්‍රපටය. ජෝ දේව් ආනන්ද් තමා මගේ ඊළඟ ගුරුතුමා. එයා තමයි ජනප්‍රිය චිත්‍රපට හදන්න මට පුරුදු කළේ. ඇසිස්ටන් ඩිරෙක්ටර්, ප්‍රොඩක්ෂන් මැනේජර්, මේන් ඇක්ටර් මේ හැමදේම මම කළා ඔහුගේ චිත්‍රපටවල.

* විනෝදාත්මක චිත්‍රපට රැල්ලක පුරීගාමී අධ්‍යක්ෂවරයා ඔබ?

1990 විතර වෙන කෙට අපේ සිනමාව කඩා වැටිලා චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකයෝ එන්නේ නැති තත්ත්වයකයි තිබුණේ. අන්න එතෙන්දි සිනමා ශාලාවලට සෙනඟ ගෙන්න ගන්න සමහර අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු කාමුක චිත්‍රපට හැදුවා. කාම රැල්ලක් ආවා. එක පිරිසක් කාම රැල්ලේ චිත්‍රපට බැලුවට ෆැමිලි ක්‍රවුඩ් එක නැත්තටම නැති වුණා.

* මේ අභියෝගයට ඔබ මුහුණ දුන්නේ වෙනත් අයුරකින්?

ඔව්. එතනදි මම කල්පනා කළා වෙනස් දෙයක් කරන්න. නිෂ්පාදක තිලක් අතපත්තුත් එක්ක කතා කරලා මම ‘චෙරියෝ ඩොක්ටර්’ කියලා චිත්‍රපටයක් හැදුවා. ඔක්කොම විකට නළුවෝ. ජෝ අබේවික්‍රමගේ ඉඳලා ගත්තා. අති ජනප්‍රිය වුණා. එතැන ඉඳලා එක දිගට චිත්‍රපට අටක් මම බොක්ස් ඔෆීස් කළා. මම හිතන්නේ තවම එහෙම කරන්න බැරි වුණා කිසිම අධ්‍යක්ෂවරයකුට.

* සුපර් හිට්ස් අටක්?

චෙරියෝ ඩොක්ටර්, චෙරියෝ කැප්ටන්, චෙරියෝ ඩාලිං, ලව් 94, සූරයන් අතර වීරයා, රෑ දනියෙල් 01, රෑ දනියෙල් 02, සහ රෑ දනියෙල් 03 චිත්‍රපට. එක දිගට. මේ අටම සුපර් හිට්ස්.

* බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ සුසංයෝගය ඇති කළේත් ඔබ?

ඔව්. වාණීජ සිනමාවට ඒ සුසංයෝගය හරි අපූරුවට ගැළපුණා. ඒ වගේ දේවල් ගොඩක් මම කරලා තියෙනවා. 1972 දී තමයි මම ෆ්‍රෙඩී සිල්වාව ගෙනාවේ. ඒ වෙද්දි ෆ්‍රෙඩී පොඩි පොඩි පාර්ට්වලට හිටියේ. නමුත් මම ජෝ දේව් ආනන්ද්ට කියලා ‘සුජීවා’ චිත්‍රපටයේ ‘අලුත් කලාවක්’ ගීතයට දාලා ෆ්‍රෙඩී අති ජනප්‍රිය නළුවකු කළා. ඒ වගේම දොන් සිරිසේන. මට මතක නෑ, ඒ වගේ කී දෙනෙක් සිනමාවට හඳුන්වලා දුන්නද කියන එක. ආ සංගීතා වීරත්න සිනමාවට හඳුන්වා දුන්නෙත් මම නේ. ඒ ‘ධ්බ’ඵ ච ර්චබබඥප ධට ඊඪථඥ’ චිත්‍රපටයෙන්. එතකොට සංගීතාට වයස අවුරුදු 16 යි.

* ‘තණගිරවි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ඔබ කලාත්මක සිනමා ධාරාවට යම් සාධනීය ප්‍රවේශයක් ලබා ගන්නවා. නමුත් ඊට වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ?

ඔව්.

* ඒ නිසා යම් කලකිරීමක් ඔබට ඇති වුණා?

අනිවාර්යයෙන්ම. ඒක එහෙම වුණා. ඒත් ‘තණ ගිරවි’ට ‘මැන්හයිම්’ ෆිල්ම් ෆෙස්ටිවල් එකේ කුසලතා සහතිකයක් ලැබුණා. ඉතිං ඒකත් ලොකු දෙයක්නේ. ඇත්ත වශයෙන්ම ‘තණ ගිරවි’ චිත්‍රපටයට අපේ රටෙන් මට මීට වඩා ප්‍රතිචාරයක් ලැබුණා නම් ඊටත් එහා ගිය කලාත්මක චිත්‍රපට නිර්මාණය කළ හැකිව තිබුණා. නමුත් එක අතකින් බලන කොට මේ විදිහේ බොක්ස් ඔෆිස් චිත්‍රපට කරලා සල්ලි ටිකක් හොයා ගත්ත එක හොඳයි කියලත් හිතෙනවා.

* ඒ වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ඔබට ලැබුණ නිසාද?

ඒවා කාටත් නැරඹිය හැකි මටටමේ චිත්‍රපට. දෙපැත්ත කැපෙන වචන මම යොදා ගන්නේ නැහැ. පොඩි, පොඩි කොමඩි. සම්භාව්‍ය නොවුණත් මම අධ්‍යක්ෂණය කළ ‘ගෙදර බුදුන් අම්මා’ හොඳ චිත්‍රපටයක්. ඒ වගේම මම විජය කුමාරතුංගයි, සුමනයි දාලා ‘කඩවුණු පොරොන්දුව’ නව නිෂ්පාදනය කළා. 1982 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය හැටියට එයට සම්මාන ලැබුණා. එච්. ආර්. ජෝතිපාල නිෂ්පාදනය කරපු ‘සුමිතුරෝ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මම. ජෝති වැඩියෙන් රඟපෑවේ මාත් එක්ක. අපි අතරේ හොඳ මිතුරු දමක් තිබුණා. කොයි තරම් හිතවත් අධ්‍යක්ෂවරු හිටියත් ජෝති එයාගේ වැඩේ බාර දුන්නේ මට.

* මේ වෙනකොට ඔබ චිත්‍රපට කොපමණ සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කර තියෙනවාද?

චිත්‍රපට තිස් අටක්, එයින් චිත්‍රපට විස්සක් විතරම බොක්ස් ඔෆිස්, ඒ අතර ෆේලියර් වෙච්චත් තියෙනවා. ඒ අධ්‍යක්ෂවරයා කියන දේ අහන්නේ නැතිව වැඩ කරපු නිෂ්පාදකයෝ නිසා.

* ඔබේ චිත්‍රපට සියල්ලේම තිර කතා රචකයාත් ඔබමයි?

ඔව්, ඔව්. මම කාටවත් ඒ වැඩේ පැවරුවේ නෑ. කතා සංකල්පය, දෙබස්, තිර රචනය මේ ඔක්කොම මගෙමයි. මොකද මම ස්ක්‍රිප්ට් එකට වහල් වෙන කෙනෙක් නෙවෙයි. මම තව රෙකෝඩ් වැඩක් කරලා තියෙනවා. ඒක ඇහුවොත් පුදුම වෙයි.

* කියමුකෝ බලන්න?

තිලක් අතපත්තු මහත්තයාට මම කොමඩියක් කළා ‘ඔක්කොම කනපිට’ කියලා. ඒකේ තිබුණේ නෑ ස්ක්‍රිප්ට් එකක්. මගෙ ඔළුවෙන් කතන්දරේ හදාගෙන තමයි ෆිල්ම් එක ෂූට් කළේ. ඇසිස්ටන් ඩිරෙක්ටර් දන්නෙත් නෑ මොකක් ද කරන්නේ කියලා. ‘මම කියන දේ උඹ ලියා ගනින්’ කියලා තමයි වැඩේ පටන් ගත්තේ. ඊට පස්සේ එඩිටිං කරන කොට තමයි මම කතන්දරේ ලිව්වේ. මම අනුන්ගේ කතන්දර කරන්න කැමැති නැති හේතුව ඒකයි.

* එතකොට දැන් සෑම සාර්ථක මිනිහෙක් පිටුපසම කාන්තාවක් ඉන්නවා කියන කතාව අපි දන්නවනේ?

ඔව්. ඔව්.

* ඔබටත් ඒක එසේමයි?

අපොයි ඔව්. අනිවාර්යයෙන්ම.

* සුමනා අක්කව හම්බ වුණේ කොහොමද කියලා මතක් කරමුකෝ?

අපි දෙන්නා හම්බ වුණේ එල්. එම්. පෙරේරාගේ ‘හතර පෙරළිය’ කියන චිත්‍රපටයෙන්.

* ‘හතර පෙරළිය’ ඔබේ ජීවිතයෙත් පෙරළියක් කළා?

ඇත්තටම. සුමනාට කලින් ඒ කාලේ හිටිය හොඳ හොඳ නිළියෝ මට ලව් කළා. ඒ හැම වෙලාවෙම මම හිතුවේ මගේ ගුරුවරයා දුන් උපදේශය. ඒ ආරාධනා, ඉඟිබිඟි ඔක්කොම ප්‍රතික්ෂේප කරල සිනමාව ගැන ඉගෙන ගත්තා. අන්තිමේදී හෙව්ව කෙනා ලැබුණා. සුමනගේ ක්‍රියා පටිපාටිය මම පැත්තක ඉඳගෙන බලාගෙන හිටියා. සුමනාට තිබුණා ලොකු දක්ෂකමක් සංස්කරණයට, කැමරා කෝණ ගැන දන්නවා. ඇත්ත වශයෙන්ම ජෝ දේව් ගේ පිංතූරවලදී ගොඩක් වෙලාවට ඒ ගීත සංස්කරණය කළේ ඒ සංස්කරණ ශිල්පියයි, මමයි, සුමනයි. ඔය ගීතා, සුජීවා, සුනේත්‍රා, සූකිරි කෙල්ල වගේ චිත්‍රපට. ජෝ දේව් කවදාවත් නැටුම් අධ්‍යක්ෂවරයෙක් ගෙනාවේ නැහැ අපි දෙන්නගේ සිංදුවලට. මගේ පිටිපස්සෙන් එන කෙනා, ඒ කිව්වේ මගේ සහකාරිය නිකං ආතභූත නැති කෙනෙක් වුණා නම් මම විනාශයිනේ.

* කවදද ඔබ දෙපළ විවාහ වුණේ?

1975 අගෝස්තු 30 වැනිදා. මගේ  Birth Day එක දවසේ. එදා තමයි ‘සූකිරි කෙල්ල’ මුල්ම දර්ශනය රූගත කළේ ලංකා චිත්‍රාගාරයේ. ඒ වෙනකොට මේක දැනගෙන හිටියේ ජෝ දේව් ආනන්ද් පමණයි. ලන්ච් ඉන්ටවල් එකේ තමයි ගිහින් කසාද බැඳලා ආවේ.

* උත්සවයක් මොකුත් ගත්තේ නෑ?

නෑ නෑ. අනේ නෑ. මොකද අවුරුදු හතක් විතර අපි ආදරේ කළේ රහසින්?

* ඇයි ඒ?

මේකත් මගේ ගුරා දුන්න උපදේශයක්. චිත්‍රපට නළුවෙක් හෝ නිළියක් විවාහ වුණ බව හෝ ප්‍රේම සම්බන්ධයක් තියෙන බව රසිකයෝ දැන ගත්තොත් ජනප්‍රියත්වය අඩු වෙනවා. එහෙම නොවෙන්න තමයි අපි රහසේ ලව් කළේ.

* නළු, නිළියන්ගේ විවාහ ජීවිත අසාර්ථකයි කියන එක රහසක් නෙවෙයිනේ. එතකොට කොහොමද මේ රෝයි - සුමනා වසර හතළිහක් පුරාවට ‘රන් රස’ වගේ එකට බැඳිලා ඉන්නේ?

ඒක ඉතිං අවබෝධය. දැන් මම වෙන නිළියක් කසාද බැන්දා නම් මට චිත්‍රපටයක් කරන්න හදන කොට කියයි මොකටද අරයව දාන්නේ, මාව දාන්නකෝ ඒ චරිතයට කියලා. මම මෙයාට කතන්දර හදන්නේ නෑ. මගේ ඔළුවේ තියෙන නිර්මාණය ගැන අදහස දුන්නාම සුමනා තමයි කියන්නේ මේකට මෙයා හොඳයි, අර චරිතයට අරයා හොඳයි කියලා. ගැහැනිය කියන්නේ අසංක මම පිළිගන්න විදිහට ඉස්සර වෙලාම මිතුරිය. දෙවනුව පෙම්වතිය. තුන්වැනියට බිරිය, හතරවැනි තැනට මව. සුමනා කියන්නේ මේ හැමෝගෙම එකතුවක්.

* මාතු භාර්යා?

ඔව්. මාතු භාර්යා. ඒක තමා කෙනෙක් පිළිගත යුතු දේ. මගේ ජීවිතයේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන සාධකය තමයි සුමනා. අපි ගත කළේ සරල දිවියක්. තියෙන කාලේ කෙනෙක් නටන්න හොඳ නෑ. මොකද නැති කාලෙට අඬන්න වෙනවා. එහෙම දේවල් අපි දැකලා අහලා තියෙනවානේ. අපේ සිනමා ක්ෂේත්‍රයෙන්ම ඒ පාඩම අපට ඉගෙන ගන්න පුළුවන්.

* රෝයි අයියා ‘ධනු’ ලග්නයේ. සුමනා අක්කා ‘මකර’ ලග්නයේ . මේ ග්‍රහ තත්ත්වයත් ඔබේ ජීවිතවල සාර්ථකත්වයට බලපාන්නට ඇති?

මම ඡ්‍යොතිෂ්‍ය ගොඩක් දුරට විශ්වාස කරනවා. හරියටම හරි. ‘ධනු’ ලග්නකාරයා ලේසියෙන් මරන්න බෑ. වයසට ගියත් තරුණයි වගේ. ගතින් විතරක් නෙවෙයි හිතෙන් පවා. මම හැබැයි හොරුන්ට අහු වෙනවා. ඒ නිසා චිත්‍රපටයක් කරන කොට හරි ඒකේ නිෂ්පාදන කටයුතු බාර දෙන්නේ සුමනාට. මම නිර්මාණකරුවා විතරයි.

* රෝයි ද සිල්වාගේ ආදරණීය අනන්‍යතාවය තමයි ඔබේ කොණ්ඩය?

කොණ්ඩය සහ රැවුල.

* පොඩි ප්‍රශ්නයක් අහන්න අවංක උත්තරයක් දෙනවද?

මෙච්චර වෙලාත් එහෙමනේ කළේ?

*වැඩියෙන්ම ආදරේ කොණ්ඩයට ද? සුමනක්කටද?

හඞ හඞ හා . . . අමාරුම ප්‍රශ්නයක්.

මගේ කොණ්ඩේ නම් අල්ලන්න දේන්නේ සුමනට විතරයි. එයා තමයි ඔක්කොම ගාණට සෙට් කරන්නේ. දැන් අවුරුදු හතළිහක් තිස්සේ කොණ්ඩේ කපන්නේත් සුමනා. එයා ඒ ඔක්කොම කරනවා. අනෙක් එක මම හිතන්නේ මේක දෙවියන්ගෙන් ලැබුණ දායාදයක් ද කොහෙද?

* වසර පනහක් පුරාවට විවිධ දුක් ගැහැට, කම්කටොළු මැද්දේ තමයි ඔබ මේ ගමන එන්නේ. ඔබේ කලා දිවිය ගැන ඔබ තෘප්තිමත් ද?

මම තෘප්තිමත්. මොකද දන්නවද, අපි සිනමාවට එනකොට එය ගෞරවණීය වෘත්තියක්. අපි සියලු සැප වින්දා. මට අලුත් නළුවෙක් වශයෙන් එදා 1964 දී රුපියල් 1500 ක මුදලක් ලබා ගත්තා රඟපාලා. ඒ කියන්නේ ඒ කාලේ සිවිල් සර්වන්ට් කෙනෙකුට හම්බ වුණෙත් රුපියල් 500 යි. දූවරුන්ට මව්පියෝ ඒ කාලේ කසාද බඳින්න හෙව්වේ සිවිල් සර්වන්ට් කෙනෙක්. මොකද මාසෙකට 500 යි. මට රුපියල් 500 ක් එදා ඇඩ්වාන්ස් ලැබුණාම කරගන්න දෙයක් නැති වුණා.

* නළු, නිළියෝ එදා තමන්ගේ වෘත්තීය කළේ ලොකු අභිමානයකින්. මම හිතන්නේ හොඳ විනයකුත් එදා තිබුණා?

විනය හරියටම තිබුණා. අද ඒ විනය නෑනේ. පාන්දර 4.00 ට අපිව ගෙනිච්චාම විජය චිත්‍රාගාරයට හොඳ රස කෝපි කෝප්පයක් අපට දෙනවා. බිත්තර කෝපි එකක්. ඉන් පස්සේ අවශ්‍ය නම් නාගන්න ඔක්කොම කර ගන්න පුළුවන්. මේකප් එක පටන් ගන්නවා හරියට 5.00 ට. හරියට 6.00 ට මේකප් එක ඉවරයි. ඇඳුම් අන්දලා ඉවරයිි 6.30 ට. ඊට පස්සේ විශාල කෑම මේසයක් ඇරලා තියෙනවා. ඒකේ පිට්ටු ද, පාන් ද, අරව ද, මේව ද ඔක්කොම තියෙනවා. ඒ කාලා බීලා හරියට 7.45 ට එනවා වී. නීලකන්ටන් කියන අධ්‍යක්ෂවරයා, සෙට් එකට යනවා හරියට 7.55 ට. අර කැමරාවට දුම් අල්ලලා, පූජාව තියලා, පොල් ගෙඩියක් ගහලා තමයි අපි ඔක්කොම වැඩ ආරම්භ කරන්නේ. හරියට උදේ 8.00 ට පළවෙනි ඵඩධබ එක ගන්නවා. එදා එහෙමයි සිදු වුණේ. පස්සේ අපේ අයම තමයි ඒවා නැති කර ගත්තෙත්. ඒ ලබපු ගෞරවය හා විනයගරුක බව නිසා මගේ සිනමා දිවියත් ගත කළේ බොහොම සමබරව. ඒ තෘප්තිය මට හැමදාම තියෙනවා.

* ඔබේ අලුත් චිත්‍රපටය ගැනත් විස්තර ටිකක් කියමු?

‘සිහින ලොවක් සොයා’ මම අධ්‍යක්ෂණය කළ 38 වැනි චිත්‍රපටයයි. අමෙරිකාවේ නිව්යෝර්ක්, ලොස් ඇන්ජලීස්, වොෂින්ටන් වැනි නගරවල සහ ලංකාවේත් එය රූගත කළා. ප්‍රවීණ සහ නවක නළු නිළියන් රැසක් ඊට රංගනයෙන් දායක වෙනවා. එහි සියලු වැඩකටයුතු දැන් අවසන්. ලබන වසරේ මගේ ආදරණීය පේ‍්‍රක්ෂකයන්ට එය නැරඹීමට අවස්ථාව ලැබේවි.