වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




‘සදාතනික සිහින ලොවක මා තනි වෙනවා’

‘සදාතනික සිහින ලොවක මා තනි වෙනවා’

ගීපද රචක රොඩ්නි විදාන පතිරණ

මෙවර ‘මතක ගී පොත’ට එකතු වන්නේ රොඩ්නි විදාන පතිරණයි. පුවත්පත් කලාවේදියෙකු මෙන්ම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයකු ද වන රොඩ්නි විදාන පතිරණ ගේය පද රචකයෙක් ද වෙයි. ‘කඳුකරයේ’, ‘කරඹ යායේ’, ‘සඳරාජිනී’, ‘සාගර තරංගා’, ‘ප්‍රේම මායා දැලේ’, ‘ ‘සියොතුන් ඉගිල ගියාවේ’ ආදී ජනප්‍රිය ගීත රැසක් රචනා කළ ඔහු සිය අතීත මතකය ‘මතක ගී පොත’ට ගෙනහැර පෑවේ මෙසේයි.

කුඩා කල පටන්ම චිත්‍රපට නැරැඹීමට මා දැක් වූයේ කැමැත්තකි. ඒ කැමැත්ත කෙතරම් වී ද යත් දිනක් චිත්‍රපටයක් නැරැඹීමට යෑම සඳහා මම අම්මා සහ තාත්තා සමඟ රණ්ඩු කළෙමි.

‘ඔයාට මොන චිත්‍රපටද?’

මා විමසූ කාරණය සවනත වැකුණු තාත්තා කෑගැසුවේ අඩි පොළොවේ හප්පමිනි. නාහෙට නාහන කුඩා කොළුවෙක් වූ මම ද මගේ උත්සාහය අත් නොහළෙමි. මම හ¼ඬ නඟා හැඬීමි. මගේ හැඬීම මා චිිත්‍රපටය නැරැඹීමට රැගෙන යාම සඳහා ඉදිරිපත් වූයේ මේ අතරය. ඒ වන විට එකොළොස් හැවිරිදි වියේ පසු වූ මම ඉන් උද්දාමයට පත්ව චිත්‍රපටය නැරැඹීමට යෑමට සූදානම් වූය් හිසේ දහසක් මල් පිපුණු අයුරෙනි. පානදුර නගරයෙන් සැතපුම් කිහිපයක් ඈතින් පිහිටි මාලමුල්ල ග්‍රාමයේ විසූ අපි බසයේ නැඟී ඒ චිත්‍රපටය නැරැඹීමට පානදුර ඉම්පීරියල් සිනමා ශාලාවට පැමිණියෙමු. චිත්‍රපටය නැරැඹීම අලුත් අත්දැකීමක් වූ නිසාම මා මාමාගේ අතේ එල්ලී සිටියේ ඒ සෙනඟ අතර මඟ හැරේවිය යන බියක් සිතේ පිළිසිඳ ගත් බැවිනි. ඒ වන විටත් සිනමා ශාලාවට පිටත බොහෝ සෙනඟ එක් රැස් වී සිටි අතර ඊළඟට චිත්‍රපටය තිරගතවීමට නියමිතව තිබුණේ සවස 2.30 ය. ඒ සඳහා පෝලිමේ සිට ප්‍රවේශ පත්‍ර ලබා ගත් මාමා සිනමා හල අසල වූ කඩයක් ළඟට ළං වී රට කජු ගොටු කිහිපයක් මිලට ගත්තේය. ඉන් එක් රට කජු ගොටුවක් එවේලේම මා අත තැබූ ඔහු තවත් එකක් ගෙන කන්නට වූයේ හුරු පුරුදු කාරයෙක් ලෙසිනි. මම ඔහුව අනුගමනය කළෙමි. මේ අතර මගේ නෙත ගැටුණේ ඔහුගේ කමිස සාක්කුවේ දමා ඇති සිනමා ශාලා ප්‍රවේශ පත්‍රයි. එය ඉල්ලා බැලීමේ සිතක් පහළ වුව ද ඒ ඇසිල්ලේම සිතුවිල්ල යටපත් කර ගත් මම ඉක්මනින් රට කජු ගොටුව කන්නට වීමි. එක්සයිස් පොතක කොළයක ආධාරයෙන් ගොටුවක් ගසා එහි දමා තිබූ රට කජුවල රස, ඒ සිදුවීම මතකයට නඟන මේ මොහොතේ ද මගේ දිවට දැනෙන තරම්ය.

මාමා මිලදී ගෙන තිබුණේ දෙවැනි පන්තියේ ප්‍රවේශ පත්‍ර දෙකකි. අපි දෙවැනි පන්තියට ඇතුළත් වීමු.

‘මාමේ මට ඔය ප්‍රවේශ පත්‍ර දෙක දෙන්න’

ඇතුළු වූ වහාම මාමා වීසි කරන්නට තැනූ ප්‍රවේශ පත්‍ර දෙක මම ඉල්ලා ගතිමි. සිනමා ශාලාව තරමක් අඳුරු වූ අතර දල්වා තිබූ විදුලි පහන් කිහිපය එහි අඳුර පලවා හැරීමට තරම් ප්‍රමාණවත් නොවීය. නියමිත පන්තියේ අසුන් ගැනීමෙන් අනතුරුව මගේ අවධානය රැඳී තිබුණේ ප්‍රවේශ පත්‍ර දෙක අත ගා බලා එහි තිබෙන්නේ මොනවාදැයි කියැවීමටය. ඊට ශාලාවේ රැඳී තිබුණු මද ආලෝකය ප්‍රමාණවත් වූ අතර එහි මිල සඳහන් වූයේ රු. 1.10 ක් බව මට අද මෙන් මතකය. මා ප්‍රවේශ පත්‍ර දෙක පරිස්සමෙන් නවා සාක්කුවේ රුවා ගත්තේ විශේෂ දේවල් එකතු කිරීමට මා එකල පෙලඹී සිට බැවිනි. අප ඇතුළු වන විට ශාලාවේ එතරම් සෙනඟ නොසිටිය ද ටික වෙලාවක් යන විට අතුරු සිදුරු නැතිව රැස් වූ සෙනඟගේ ශබ්දය තිරය විවෘත කරනතුරුම ශාලාවේ දෝංකාර දුන්නේය.

රතු පැහැති තිරය විවෘත වූයේ චිත්‍රපටයේ යම් යම් රූප රාමු එහි පතිත වෙමිනි.

‘සැමියා බිරිදගේ දෙවියාය’

තිරයේ සඳහන් වූ චිත්‍රපටයේ නම මම හොඳින් මගේ මතකයේ තැන්පත් කර ගතිමි. පළමුව මගේ නෙත ගැටුණේ අශෝක පොන්නම්පෙරුමගේ රුවයි. ඔහු රේඩියෝවක් ක්‍රියාත්මක කරන අතරම එමඟින් ඇසුණු ගීතය ගායනා කළේ මියුරු ස්වරයෙනි. ඒ ගීතය මගේ හදවතේ තවමත් රැඳෙන්නේ මේ අතීතය ද සිහිපත් කරමිනි. මේ නිසාම මේ ගීතයට මම බෙහෙවින් ප්‍රිය කරමි.

කොතැනක හිටියත් ඔබ මෙලොවේ
දිගු කල් ජීවත් වෙන්නකෝ
මගේ හිතට සැනසුම ගෙන දී
දිගු කල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

සිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා
සිහි කෙරුවත් පසුගිය දේ හිතලා
සිරිකත මෙන් ඔබ

දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබ එනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවකු සමඟින් ආවා
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිදු ලිය ඔබ
දිගුකල් ජීවත් වෙන්නකෝ

දැල් වූ පහන දැල් වෙන්නට ඇරලා
අඳුරු නිවස ආලෝකය කරලා
ඔබෙ පෙම්බර සැමියගෙ පණ රැකලා
පිරිසිදු ලිය ඔබ
දිගු කල් ජීවත් වෙන්නකෝ
 

ගී පද – චිත්‍රානන්ද අබේසේකර

සංගීතය – ටී. එෆ්. ලතීෆ්

ගායනය – එච්. ආර්. ජෝතිපාල

මා නැරැඹූ පළමු චිත්‍රපටය හා ඇසූ පළමු චිත්‍රපට ගීතය ලෙස මගෙ හදවතේ නොමැකෙන මතකයක තැන්පත් වී ඇති මේ ගීතය ගැයූ ගායකයා මුණ ගැසීමට තරම් මම වාසනාවන්තයෙක් වීමි. ඒ මා අධ්‍යක්ෂණය කළ ‘ශිල්ප දෙනු මැන’ චිත්‍රපටයේදීය. එහි මා පද ලියූ සරත් දසනායක සංගීතවත් කළ ‘සුවඳ රොන් සුනු සැලී’ ගීතය ගැයුවේ ජෝතිපාලයන්ය. අප දෙදෙනා අතර ගොඩ නැඟුණු හිතවත්කම දිගු කාලයක් පැවැතීමට හේතු වූයේ මේ චිත්‍රපටයේදී වූ දැන හඳුන ගැනීමයි. ඒ චිත්‍රපටයේ දෙනවක හාමිනේ, අමරසිරි කලංසූරිය රඟපෑ අතර එය අතරමඟ නතර කිරීමට මට සිදු වූයේ නොසිතූ විරූ විලසිනි. භාගයක් පමණ රූගත කරන ලද චිත්‍රපටය තවමත් ‘සරසවි’ චිත්‍රාගාරයේ තිබෙන බව ද මම මතකයට නඟමි.

‘හන්තානේ කතාව’ චිත්‍රපටයේදී සනත් නන්දසිරි ගයන මේ ගීතයට ද මම බෙහෙවින් ප්‍රිය කරමි.

අනන්ත වූ දෙරණ සරා
දෑස නිවන නිලක් සොයා
අහස් ගව්ව නැඟ ගත්තේ
නිල්ල දකින්නයි
ගලන ගඟක සිඟිති දොළක
සිහිල විඳින්නයි
ගසක වෙළෙන සිහින් වැලක
පහස ලබන්නයි

වේදනාවෙ තෙත මීදුම
දැත විදා උඩ නැගිලා
එබී බලන සහන් එළිය
වසා දිවෙනවා

සදාතනික සිහින ලොවක
මා තනි වෙනවා
පැතූ පැතුම් අනන්තයට
ඉගිලී යනවා

වහස් බැලුම් අඳුනෙත ගා
දහස් සිතුම් මල් ගවසා
මහෝඝයේ කවුළු දොරින්
දොරට වඩින්නේ
මා වට කොට ආදරයේ
රටා වියන්නේ
සඳුන් කළල දෙතොල් විතක
නුරා පොවන්නේ
 

ගී පද - සුගතපාල සෙනරත් යාපා

සංගීතය - ප්‍රේමසිරි කේමදාස

ගායනය – මහාචාර්ය සනත් නන්දසිරි

එකල අටවැනි ශ්‍රේණියේ උගත් මම ‘සරසවිය’ පුවත්පතේ පාඨකයෙක් වීමි. සතිපතා ‘සරසවිය’ පුවත්පත මිලදී ගත් මා එහි පළවන විස්තර කියැවීමට දැක් වූයේ දැඩි කැමැත්තකි. එදින මිලදී ගත් පුවත්පතේ එලෙස මා බොහෝ කැමැත්තෙන් කිය වූ එක් ලිපියක් වූයේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටය පිළිබඳ ලියැවුණු සටහනයි. කොහොමත් කුඩා කල පටන්ම පික්චර් පිස්සෙක් වී සිටි මම ඒ ලිපියට වශී වීමි. ඒ ලිපිය කොපමණ මගේ සිත් ගත්තේදැයි කිවහොත් ලිපියේ තිබුණු විජයගේ හා ස්වර්ණාගේ පින්තූරත්, ඒ අවට පරිසරය සම්බන්ධ සියලු පින්තූරත් පොතක අලවා ගන්නට මම අමතක නොකළෙමි. එතැනින් නොනැවතුණු මම ‘හන්තානේ කතාව’ චිත්‍රපටය නරඹන්නට ද සිහින දැක්කෙමි. සත 50 ක ගැලරියේ ප්‍රවේශ පතක් ගෙන පානදුර ඉම්පීරියල් සිනමා ශාලාවට ඇතුළත් වූ මා හා යහළුවන් ‘හන්තානේ කතාව’ තිරගත වනතුරු බලා සිටියේ නොඉවසිල්ලෙනි. විජය කුමාරතුංගගේ පළමු චිත්‍රපටය වූ එහි මා බෙහෙවින් ආදරය කළ ටෝනි රණසිංහ ද රඟපෑවේය. ස්වර්ණා පිළිබඳ ටෝනිගේ හදවතේ පබැඳුණු සිතුවිල්ල සිතුවිල්ලක් බවට පත් වූයේ විජය නිසාය. ඔවුන්ගේ ඒ සොඳුරු ආදර කතාව හා බැඳුණු හන්තානය අවට පරිසරය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළ රූගත කිරීම් මගේ සිත් ගත්තේය.

චිත්‍රපටය බලන්නට පෙර සිටම මම පේරාදෙණිය හා හන්තානයට බොහෝ සේ ප්‍රේම කළෙමි. එකල පේරාදෙණිය හා හන්තානය සම්බන්ධ කර ගනිමින් නවකතා රැසක් වෙළෙඳ පොළට පැමිණි අතර ඒ පොත් සියල්ල කියවන්නට මට වැඩි කාලයක් ගත නොවුණි. ඉන් වඩාත් මගේ සිත් ඇඳ ගත්තේ ඒ නවකතාවල වූ මහවැලි ගඟත්, හන්තාන කඳු වළල්ලත් ඇතුළු වර්ණනාය. මිහිරි ගීයක් මුමුනමින් ලතාවකට ගලා බසින මහවැලි නදිය මගේ සිතේ ඇන්ඳේ අපූරු සිත්තමකි. ඊට නොදෙවනි වූ හන්තාන කඳුවළල්ල ද පේරාදෙණිය නගරය අරා සිටින යෝධයකු මෙන් මගේ හදවත ඇඳිණ. හිරුට හොරෙන් රාත්‍රිය හා මිතුරු වූ මීදුම් කුමරිය හිරු නමැති තම පෙම්වතා එන්නට පෙර සුන්දර හන්තාන කඳු වළල්ලෙන් සැඟව යන්නේ හිරු නැමැති තම පෙම්වතාට බියෙන් මෙනි. එනමුදු තැනින් තැන රැඳුණු සුදු මීදුම් සේලය පවසන්නේ ඈ සිටි බවට සලකුණකි. ඉන් කෝපයට පත් හිරු තම රශ්මිය ලොවටම විහිදාලන්නේ සැඟව සිටි මීදුම් කුමරිය කොහි සිටිත් දැයි සොයන්නට මෙනි. ඒ පරිසරය පිළිබඳ මෙවැනි අපූර්ව චිත්ත රූප මැවූ මගේ සිත නිතරම හන්තාන හා සැරිසැරුවේ නිතැතිනි. ඒ නිසාම මේ ගී අසන සෑම මොහොතකම ද ඒ අපූරු චිත්ත රූප යළි යළිත් පෙරටත් වඩා සුන්දර ලෙස සිතේ ඇදෙන බව නොරහසකි.