වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




බෝනික්කිට හතළිහයි

බෝනික්කිට හතළිහයි

මේ ලෝකේ ජීවත් වෙන අපි හැමෝම වයසට යනවා. මොන තරම් වෙහෙසුනත් වයසට යාම නම් වළක්වන්න බැහැ. ඒ වුණත් බොහෝ දෙනා වයසට යන එක ගැන ගොඩක් කණගාටුවට පත්වීමයි සිදු වෙන්නේ. ඒ වගේම බොහොමයක් දෙනා තමන්ගේ සත්‍යම වයස හෙළි කරන්නත් ටිකක් මැළිකමක් දක්වනවා. විශේෂයෙන් රංගන තරු.

ඒ වුණත් හොලිවුඩයේ ජනප්‍රිය තරුවක් පසුගියදා පැවැති විශේෂ උත්සව අවස්ථාවකදී තමන්ගේ වයස මාධ්‍යයට ප්‍රකාශ කළේ හරිම ප්‍රබෝධයෙන්. ඇය ඩ්‍රීව් බැරිමෝර්. අමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ රංගන පවුලක් වූ බැරිමෝර් පවුලේ සිව්වැනි පරම්පරාවේ සාමාජිකාවක වන ඇය තවත් දින කිහිපයකින් සිය දිවි ගමනේ හතළිස් වැනි කඩඉමට පා තබන බව ප්‍රකාශ කර සිටියා.

රංගන ක්ෂේත්‍රයේ වගේම නිරූපණ ක්ෂේත්‍රයටද දායක වූ ඩ්‍රීව් ලේඛිකාවක, චිත්‍රපටය නිෂ්පාදිකාවක ලෙසින්ද අතිශය කාර්ය බහුල දිවියක් ගත කරන අයෙක්. ඒ වගේම දෙදරු මවක්. දැනට ඇය විවාහ ගිවිස ගෙන සිටින්නේ විල් කෝප්ලේමන් සමගිනි.

“මම ගොඩක් සතුටින් ඉන්නේ. ඒ වගේම විවාහය සහ මගේ දරුවන් මගේ ජීවිතයේ වටිනාම දේවල්. මම මගේ දරුවන්ටත් සැමියාටත් ගොඩක් ආදරෙයි. ඒ වුණත් කාටද මම වැඩියෙන්ම ආදරේ කියන සිතුවිල්ල සමගින් හැමදාමත් මම පොරබදනවා” ඩ්‍රීව් තවදුරටත් කියන්නීය. ස්ටීවන් ස්පිල්බර්ග් ගේ ඊ. ටී. චිත්‍රපටයේ බෝනික්කියක් බඳු සිඟිති සුරතලිය ලෙස ලොව පුරා ජනාදරය දිනූ ඇය පසු කළෙක තරුණ වියට එළඹෙත්ම මත් ද්‍රව්‍ය භාවිතයටත් අයාලේ යාමටත් පටන් ගත්තා. එහෙත් පසුකළෙක එයින් මිදුණු ඇය තම ජීවිතය යළිත් නිවැරදිව සකසා ගත්තා.