වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ඇස්වහ කටවහ

ඇස්වහ කටවහ

තීක්ෂණ අනුරාධගේ යාළුවෙක් අලුතින් වාහනයක් අරගෙන තීක්ෂණට කොල් එකක් දුන්නලු.

මචං තීක්ෂණ, මං ගත්තා මරු වංඩියක්.

තීක්ෂණත් හිත හොඳ මනුස්සයනේ ඉතින් එයා තම මිත්‍රයාගේ දියුණුව ගැන බෙහෙවින් සතුටු වෙලා.

ෂා . . . කොච්චර දෙයක් ද, මට සන්තෝසයි උඹේ දියුණුව ගැන. දැන් කොහෙද ඕකෙන් මුලින්ම ගියේ.

තවම නම් කොහෙවත් ගියේ නැහැ.

හරි මට අද අලුත්ගම ෂෝ එකක් තියෙනවා. හා හා පුරා කියලා කලුතර බෝධියත් වැඳගෙනම යමු.

තීක්ෂණගේ අදහසට යාළුවා එක පයින්ම කැමැති වෙලා. ඔන්න දෙන්නා කතිකා කරගත් පරිදි හවස හයට විතර අලුත්ගම යන්න පිටත් වෙලා. තීක්ෂණ යාළුවගේ අලුත් වාහනේ ගැන කියලා මේ ගමනට තීක්ෂණගේ නෝනයි එයාගේ අම්මත් එකතු කර ගත්තලු. යන අතරතුරදි තීක්ෂණ වාහනේ ගැන වර්ණනාවකුත් පටන් අරගෙන. යාළුවත් ඒ සතුටත් සිතේ තියාගෙන හැටට හැටේ අලුත්ගමට වෙනකම් වාහනේ එලවලා.

එදා තීක්ෂණ සිංදු කියලා ස්ටේජ් එකෙන් බහින කොට පාන්දර එකට විතර ඇති. ඒ වෙලාවේම පිරිස කොළඹ එන්න පිටත් වෙලා. කට්ටියට වැඩිදුර එන්න ලැබිලා නැහැ. අලුත් වාහනයේ එන්ජිම පැත්තෙන් මොකක්දෝ සද්දයක් ඇවිල්ලා පයාගලට කිට්ටුවදි. තව ටිකක් දුර යද්දි මොකක්දෝ කැඩෙනවත් ඇහුනලු. කලබල වෙච්ච යාළුවා ටක් ගාලා පාර අයිනට කරලා වාහනේ නවත්වගෙන. බොනට් එක එහෙම ඇරලා බලන කොට එන්ජින් එකේ පටියක් එල්ලි එල්ලි තියෙනවා. අලුත්ගමට එනකම් වාහනේ ගැන වර්ණනා කළ තීක්ෂණ අහසෙ තරු හොයනවලු ගනින්න. කොහොම හරි පාන්දර දෙකේ විතර ඉඳලා එළිවෙනකම් වාහනේ නිදාගෙන උදයෙම ගරාජ් එකක් හොයලා ඒක හදාගෙන තමයි තීක්ෂණ ගෙදර ඇවිල්ලා තියෙන්නේ. එදායින් පසුව තීක්ෂණ නෙවයිලු අනුන්ගේ වාහන ගැන වර්ණනා කළේ.