වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




එක බෞද්ධයෙක් හෝ ඉන්නා තුරු අපි තනි වන්නේ නැහැ කියා තාත්තා කිව්වා

එක බෞද්ධයෙක් හෝ ඉන්නා තුරු අපි තනි වන්නේ නැහැ කියා තාත්තා කිව්වා

බෙග් මාස්ටර්ගේ පුත් ඉලියාස්

සුවදේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධ ගයාවේ . . .’ මේ ගීතය අපේ රටේ ශ්‍රාවක සිත් දැහැන් ගත කළ ඒ ගැඹුරු හඬ මේ වා තලයෙන් සමුගෙන ගොස් විසි හතර වසරක් ඉක්ම ගොසිනි. අල්හාජ් මොහිදීන් බෙග් නැතහොත් බෙග් මාස්ටර් නමින් ශ්‍රී ලාංකික ගීත ලෝලීන් අතර අමරණීය නමක් දිනා සිටි ඔහු 1991 නොවැම්බර් මස හතර වෙනිදා ජීවන හද මඬලෙන් සමු ගත්තේය. මෙරට බොදු ගීත කලාවේ අමරණීය සලකුණක් වූ බෙග් මාස්ටර්ගේ ඒ ගැඹුරු කටහඬ එදත් අදත්, හෙටත්, මතුදාටත් නොනැසී පවතිනු ඇත. වෙසක් අසිරියේ, පොසොන් අසිරියේ පෙරමඟ බෙග්ගේ ඒ හඬ අපට කියාපානු ඇත.

මේ අමරණීය හඬේ අද උරුමක්කාරයන් වී සිටින්නේ බෙග් මාස්ටර්ගේ පුතුන් දෙපළක් වන ඉෂාක් හා ඉලියාස් දෙපළය. බෙග්ට පිරිමි දරුවෝ පස් දෙනෙක් හා ගැහැනු දරුවෝ තිදෙනෙක් විය. අද වන විට ඒ දරුවන්ගෙන් හයිදර් බෙග් පුතුත් රාබියා බෙගම් හා සලීමා බෙගම් දියණියන් දෙදෙනාත් මෙලොවින් සමුගෙන ගොසිණි. බෙග් මාස්ටර්ගේ ප්‍රිය බිරිය සකීනා බි ද 2009 ජූනි 29 වැනිදා ජිවන ගමනෙන් සමු ගත්තාය. අද බෙග් මාස්ටර් වෙනුවෙන් මෙලොව ජීවත් වනුයේ උෂ්මාන්, මුබාරක්, ඉෂාක්, ඉලියාස්, මොයිනා බෙගම් දූ දරුවන්ය. මේ සුවිශේෂ කලාකරුවාගේ හඬ ඉදිරියට ගෙන යමින් අද ද ශ්‍රාවක දෙසවන් සනහාලන ඉෂාක් හා ඉලියාස් පුත් දෙපළගෙන් අප හා කතාබහට එක් වූයේ ඉලියාස් පුතුය. පියාගේ අතීත සැමරුම් අතර විටෙක තනි වෙමින් ද ඒ අතීත ආවර්ජනයේ සුවිශේෂී මතකයන් අවධි කළ ඉලියාස් අපේ කතාබහ පටන් ගත්තේ මේ අයුරිනි.

මගේ පියා ගැන මට තියෙන්නේ වචනයකින් කියලා නිම කරන්න බැරි ආඩම්බරයක්. මමත් කෝටි ගාණක් පින් කරලා තියෙන්න ඇති තාත්තට දාව උපදින්න. මම අදත් අල්ලා දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා මේ භාග්‍යය මට උරුම කර දීම ගැන.

තාත්තා හැදි වැඩුණේ ඉපදුණේ රැකියාව කළේ ඉන්දියාවේ. ඒ ඔක්කොම දාලා ලංකාවට ඇවිත් තාත්තා සිංදු කියන්න පටන් ගත්තා. තාත්තා බොහොම දුක සේ ජීවිතය පටන් ගත්ත කෙනෙක්. කොයි තරම් මුදල් හිඟකම හරි හමන් ඉන්න හිටින්න තැනක් නොතිබුණත් කොයි තරාතිරමක කෙනෙක් කතා කළත් ලංකාව දාල යන්න තාත්තා කැමැති වුණේ නෑ.

තාත්තාගේ රථාචාර්යා වුණේ මම. අවුරුදු පහළොවක් විතර තාත්තා මමත් එක්කම තමයි කොහේ ගියත් ගියේ. ප්‍රසංගයකට ගියත්, වෙන යම් කටයුත්තකට ගියත් තාත්තා ඒ හැම දේකටම සහභාගි වුණේ මමත් එක්ක. මම තමයි වාහනය එලවන ඩ්‍රයිවර්. කොහේ ප්‍රසංගයක් භාර ගත්තත් තාත්තා ඒ අයගෙන් එන්න ඕනෑ විදිය අකුරක් නෑර අහ ගන්නවා. ඒ වගේ පුදුම කැප කිරීමක් තාත්තා ගායනයේදී කළා.

මට මතක හැටියට මේ සිද්ධිය වුණේ 85 දී විතර. එතකොට අපේ රටේ අගමැතිවරයා ප්‍රේමදාස මහත්තයා. එවක පාකිස්තානු ජනාධිපති ෂියා උල් හක් මහත්තයා ලංකාවට ආවා. තාත්තා නබිතුමා වර්ණා කරපු ගීතයක් උර්දු බසින් ගායනා කළා කිසිම වාද්‍ය භාණ්ඩයක් නැතුව. එදා ඒ හඬ අහපු පාකිස්තානු ජනාධිපතිවරයා තාත්තාගේ හඬට කොච්චර සංවේදී වුණා ද කියනව නම් එතුමන්ගේ ඇසට කඳුළුත් ආවා මට අද වගේ මතකයි. එදා තාත්තාට පවුල පිටින්ම ඒ රටට එන්න කියලා එතුමන් ආරාධනාවකුත් කළා.

ඒ විතරක් නොවෙයි. පාකිස්තානු ජනාධිපතිතුමන් ප්‍රේමදාස මහත්තයාගෙන් පොඩි ඉල්ලීමකුත් කළා මේ මාස්ටර් වටින්නේ අපට. මෙතුමා අපිට සම්පතක්. මෙයාව අපිට දෙන්න සදහටම කියලා. ඒ පාර ප්‍රේමදාස මහත්තයා කිව්වා බෙග් මාස්ටර් මුස්ලිම් ජාතිකයෙක් වුණත් මේ මාස්ටර් අපේ බෞද්ධයන්ගේ හඬ. මෙතුමා අපිට ජාතික වස්තුවක්. මේ වස්තුව අයිති අපේ බෞද්ධ ජනතාවට කියලා ඔය වගේ රාජ්‍ය මට්ටමේ පිළිගැනීමක් තමයි එදා තාත්තාට තිබුණේ.

තාත්තා මාත් එක්ක වාහනේ යන කොට හරිම සතුටින් මතක් කරපු දෙයක් තිබුණා. ඩී. එස්. සේනානායක අගමැතිතුමාත් , සර් ජොන් කොතලාවල අගමැතිතුමාත් දවසක් මිස්ටර් මොහිදීන් බෙග් අපේ ගායකයා කියලා තාත්තව බදා ගත්තලු. ඩඩ්ලි සේනානායක මහත්තයා මිස්ටර් බෙග් අපේ යෝධයා කියලා එයාව බදා ගත්තලු. මේ සිද්ධි තාත්තා මැරෙන තුරාම මතක් කළ දෙයක්.

තාත්තා ඉස්ලාම් භක්තියෙක් වුණත් බොදු ගීත අට දහසකට වඩා ගායනා කරලා තියෙනවා. අපේ තාත්තට තිබුණේ දෝංකාර දෙන කට හඬක්. ඒ කට හඬෙන් දුන්න පණිවිඩය ඕනෑම හදවතකට දැනෙන්න ගත්තා. ඒ හින්දම තමයි තාත්තට බෞද්ධ ගීත ලැබෙන්නත් හේතුව මම හිතන්නේ. වැඩිපුරම බෞද්ධයන්ගේ ආදරයට පාත්‍ර වූ වැඩිම බෞද්ධ සිංදු සංඛ්‍යාවක් ගායනා කරපු ගායකයාත් මගේ තාත්තා. තාත්තා බුද්ධාගම, බෞද්ධයන් කෙරෙහි පුදුම පැහැදීමකින් හිටිය පුද්ගලයෙක්.

තාත්තා නිතර මාත් සමඟ කිව්ව දෙයක් තමයි පුතේ අපිට සල්ලි භාගේ නැති වුණත් බියක් සැකක් ඇති කරගන්න ඕනෑ නෑ. මේ රටේ එක බෞද්ධ මිනිහෙක් හරි ඉන්න තාක් අපි බය වෙන්න ඕනෑ නැහැ. අපේ බඩගින්න නිවන්න තෙරුවන්ගේ ආශිර්වාදය ලැබෙයි. අපි කරන්න ඕනෑ විශ්වාසය ගෞරවය ආරක්ෂා කරන එක තමයි කියලා. තාත්තා ජීවත් වෙලා ඉන්නතාක් හම්බ කළේ සල්ලි නොවෙයි, මිනිස්සු.

බුද්ධං සරණං ගච්ඡාමි ගීතයට විශේෂ ගෞරවයක් තාත්තා ළග තිබුණා. ඕනෑම සංගීත සංදර්ශනයකට ගියත් මුලින්ම ගායනා කරන්නේ ඔය ගීතය. ඔය ගීතය කියන කොට තාත්තාට අමුතු ජවයක් ඇඟට එනවා කියලා මාත් එක්ක කියපු අවස්ථා තිබුණා. ඔය ගීතය මුලින්ම ගායනා කළාට පස්සේ තමයි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්තයා තාත්තාට පුරවැසිභාවය ප්‍රධානය කරලත් තියෙන්නේ.

තාත්තා කවදාවත් හිතුවේ නැහැ මේ තරම් ඉක්මනින් ජිවිතයෙන් සමු අරන් යන්න වෙයි කියලා. ශ්‍රී වජිරඥාන පාරේ නොම්මර පනහ ගෙදර තාත්තා මිලට ගත්තේ සිංදු කියලා එකතු කරපු මුදලකින්. පර්චර්ස් දෙකක මේ ගෙයි දරුවො අට දෙනෙකුයි අම්මයි තාත්තයි අපි හැමෝම සතුටින් ජීවත් වුණා. තාත්තා සමහරදාට සංගීත සංදර්ශන ඉවර වෙලා පාන්දර දෙකට තුනට ඇවිත් ගෙදර අඬපු අවස්ථා තිබුණා. ඒ අඬ අඬා කිව්වේ මේ ගෙදර මම නැතිවුණ දාක උඹලට නැති වෙයිදෝ කියලා මට බයක් තියෙනවා කියලා. කොහොම හරි අපි එකට ජීවත් වුණු අපේ මාළිගාව, ඉඩම රජයට පවරාගෙන ඩෝසර් කරලා දැම්මා. බෙග් පවුල සීසීකඩ විසිරුණා. අපිට කවදා හරි ඕනෑ කළේ මේ අමරණීය හඬ ජීවත් වුණු ගේ පොඩ්ඩ එතුමන් නමින් කෞතුකාගාරයක් කරන්න. එහෙම හැකියාවක් තිබෙනවා නම් අදත් තාත්තා නමින් තාත්තාගේ ගේ තියෙන්න තිබුණා.

1991 නොවැම්බර් මස හතර වෙනිදා තමයි හදිසියේ තාත්තා නැති වුණේ. තාත්තාගේ ඇසේ සුද ඉවත් කිරිමේ ඔපරේෂන් එකකට ගිය වෙලාවේ තමයි තාත්තා අපිව අතහැරලා මේ ලෝකෙන් සමුගත්තේ. මාත් සමඟ ඊට කලින් දවසේ රෝහලට ගිහින් නතර වුණා. එදා දවසේ රෑ බෝ වෙනකන් තාත්තා විනෝදයෙන් කාත් එක්කත් සන්තෝසයෙන් හිටියා. පසුදා උදේ ඔපරේෂන් එකට ගිහින් තමයි නැති වුණේ.

පසුගිය නොවැම්බර් මස හතර වෙනිදාට යෙදිල තිබුණේ තාත්තාගේ විසි හතර වෙනි ගුණානුස්මරණය. මේ වෙන කොට තාත්තා ජීවත් වෙලා හිටිය නම් මේ ගෙවී යන්නේ තාත්තාගේ අනූ හත්වන උපන් දිනය. තාත්තාව සිහිපත් කරලා හැම වර්ෂයකම එදාට අපේ ආගමේ හැටියට කුරානය පොත කියවලා නැති බැරි අයට ආහාරපාන, වියළි ආහාර බෙදා දීම සිද්ධ කරනවා. වසර කීපයක්ම බෙග් උපහාර උත්සව සංවිධානය කළා. පොසොන් උත්සවය. වෙසක් උත්සවය, සිංහල අවුරුද්ද තියෙනකන් අපේ තාත්තා කවදාවත් මිනිස්සුන්ට අමතක වෙන්නේ නෑ. ඔය කාලෙට උදේ ඉඳන් රෑ වෙනකන් ඇහෙන්නේ අපේ තාත්තාගේ දෝංකාරය. තොරණක් තිබුණත්, දන්සැලක් තිබුණත් එතන තාත්තාගේ හඬ ජීවමානයි.

මෙවර මම තාත්තාගේ ගුණානුස්්මරණයට කිරුළපන කලා පදනමේ සහයෝගයෙන් අසරණ මිනිස්සුන්ට වියළි ආහාර බෙදා දීමත් තාත්තාගේ ගීත ගායනා සමඟ උපහාර ගී එළිමහන් ප්‍රසංගයක් ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේ පැවැත් වූවා. තාත්තා ගායනා කළ බොදු ගීත එකතු කරලා සී. ඩී. තුන් දහසක් මම මේ වසරේ නොමිලේ බෙදල දුන්නා. ලබන වසරේ මට වෙසක් එකට හැකි වුණොත් තාත්තාගේ බොදු ගීත ඇතුළත් සී. ඩී. ලක්ෂයක් නොමිලේ බෙදා දෙනවා තාත්තාට පින් සිද්ද වෙන්න.

තාත්තා වෙනුවෙන් පොසොන් එකට පුත්තලම වාරියපොල පාරේ අවුරුදු හතක් පුරාවට දන්සැලක් දෙනවා. ඒ පැත්තේ ජනතාව මගේ තාත්තා වෙනුවෙන් තාත්තා කියන බොදු ගීත දාලා තාත්තාගේ පින්තූරය ඉස්සරහ ගහල පොසොන් එකට දන්සැලක් මගේ තාත්තා සිහි කරලා දෙන්න තරම් උතුම් ගති ගුණ තියෙන මිනිස්සු මේ සමාජයේ ඉන්න එක ගැන මට තියෙන්නෙ පුදුම සන්තෝසයක්. මට තාත්තා මැණිකක්. තාත්තා නැති වුණත් හරි අපි තනි වුණා. බෙග් නැති වුණා. දරුවො තනි වුණා කියලා අපි ගැන හොයා බලන්න තාත්තා වෙනුවෙන්වත් කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ . ඒ ගැන මට තියෙන්නේ කනගාටුවක්.

මේ රට වෙනුවෙන් බෞද්ධයන් වෙනුවෙන් මගේ පියා කළ සේවයට උපහාරයක් විදියට තාත්තා වෙනුවෙන් එයා වැඩියෙන්ම ආශා කළ එළිමහන් ප්‍රසංග රට පුරා පවත්වන්න මට මේ රටේ තාත්තාගේ රසිකයෝ උදව් කළොත් ඒක ලොකු පිනක්.

නොම්බර 10, ආරාමය පෙදෙස, කොළඹ 09 ලිපිනයත් 071-7130044-0786130545 දුරකථන අංකයත් ඕනෑ වෙලාවක ඒ වෙනුවෙන් විවෘතයි.