වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා උපදේශක තනතුරෙන් එක රුපියලක් මම උපයාගෙන නෑ...

සිනමා උපදේශක තනතුරෙන් එක රුපියලක් මම උපයාගෙන නෑ...

ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය පැහැදිලි කරයි...

තමා නිරූපණය කළ සෑම චරිතයකටම සාධාරණය ඉටු කළ රංගන ශිල්පීන් වෙතොත් ඒ දෑතේ ඇඟලි ගණනටත් අඩුවෙනි. පෙම්වතාගේ චරිතය ඉතා හොඳින් රඟපෑව ද වීරයාගේ චරිතයේදී අසාර්ථක වූ නළුවන් අප දැක තිබේ. වීරයාගේ චරිතය කදිමට නිරූපණය කළ ද, ඇතැමෙකුට දුෂ්ටයාගේ චරිතයට පණ පෙවීමට නොහැකිය.

එහෙත් රවීන්ද්‍ර රන්දෙණිය මේ ඕනෑම චරිතයකට ඔට්ටු නළුවකු යැයි මට සිතේ. පෙම්වතා, වීරයා හෝ දුෂ්ටයා කියා ඔහුට වෙනසක් නැත. ඔහු රඟපෑ සෑම චරිතයකින්ම එය අපට සනාථ කොට තිබේ. ඔහුගේ අභිමානවත් රංග පෞරුෂය දේශීය සිනමාවට එක් කළ වටිනාකම් බොහෝය.

සිනමාව පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ද වන ඔහු මෙවර අප හා මෙසේ විචාරශිලී සංවාදයකට එක් වේ.

කොහොමද මේ දිනවල ඔබේ කලා කටයුතු සිදු වෙන්නේ?

පසුගිය 20 වැනිදා ‘රිදී රැයක්’ ප්‍රසංගයට අපි සහභාගි වුණා. එය මෙවරත් ඉතා සාර්ථකව පැවැත් වුණා කිව්වොත් හරි. අපි හැමෝම මේ කාර්යය සඳහා අත්වැල් බැඳ ගත්තේ ලොකු උනන්දුවකින් හා සහෝදරත්වයෙන්. ඊට අමතරව මම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපෑමට නියමිතයි. මේ එළඹෙන නව වසරේ එහි රූගත කිරීම් ඇරඹේවි. ඒ වගේම තව සති දෙකකින් අපේ ‘Film Team’  ආයතනය මඟින් දැවැන්ත ඉංග්‍රීසි චිත්‍රපටයක වැඩ පටන් ගන්නවා.

මොකක්ද ඒ චිත්‍රපටය?

ඒකෙ නම ‘Jekyll & Hyde’.  ඒක නම් ප්‍රබන්ධ කතාවක්. එක්දාස් නවසිය තිස් ගණන් තමයි මේ කතාවට පසුබිම් වෙන්නේ. එංගලන්තයේ සහ ලංකාවේ තමයි මේ චිත්‍රපටය රූගත කෙරෙන්නේ. I. T. V. London  ආයතනය මඟින් තමයි මෙය නිෂ්පාදනය කරන්නේ. එය ලන්ඩනයේ තිබෙන ප්‍රධාන පෙළේ රූපවාහිනී නාළිකාවක්.

 පසුගිය කාලේ රාවයක් තිබුණා සම්මානනීය නවකතාවක් ඇසුරෙන් ඔබ චිිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සූදානම් වෙන බව. ඒ කටයුත්තට මොකද වුණේ?

ඇත්තටම මේ වැඩ කටයුත්ත කරන්න මට මගේ කණ්ඩායම ඕනෑ. ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණයක් කරන්න පුළුවන් පිරිසක් තමයි ‘Film Team’  ආයතනයේ ඉන්නේ. මේ අය නැතිව මේ වැඩේ මට කරන්නත් බෑ. තුන් වතාවක් අපි මේක සැලසුම් කරගෙන යනකොට විදෙස් චිත්‍රපටවල වැඩ කටයුතු යෙදුණා. මේ අලුත් චිත්‍රපටයේ වැඩ නිම වුණාට පස්සේ අපි ඒ කාර්යයට අත ගහන්නයි හිතාගෙන ඉන්නේ.

ජනාධිපති සිනමා උපදේශකවරයා විදිහටත් ඔබට සුවිශේෂ කාර්යභාරයක් පැවරී තිබෙනවා?

ඇත්තටම මේ ජනාධිපතිතුමාගේ සිනමාව පිළිබඳ උපදේශක තනතුර, එතුමාගේ ඉල්ලීම පිට මම බාර ගත්ත දෙයක්. අනෙක මම ඊට අදාළ දීමනා වැටුප් කිසි දෙයක් ලබා නොගෙන සේවයක් විදිහටයි ඒක කරගෙන යන්නේ. ජනාධිපතිතුමාට ළං වෙලා තනතුරු ලබා ගත්තාය කියන චෝදනාව අපට ඇහෙනවා. නමුත් එහි සත්‍යතාව පසුබිම නොදන්න අය තමයි එහෙම කරන්නේ.

ඔබේ වැටුප්, දීමනා එකතු කර කිසියම් පරිත්‍යාගයකුත් සිදු කළා ඔබ වරෙක?

රුපියල් මිලියනයක් මම ‘සිනෙස්ටාර්’ පදනමට දුන්නා, අපේ වයෝවෘද්ධ කලාකරුවන්ගේ සුබසාධනය සඳහා. ඉන් පස්සේ ඒ අදාළ තනතුර වෙනුවෙන් ලැබෙන මුදල මම වෙනමම ගිණුමක තැන්පත් කළා. පොදු වැඩ කටයුතු සඳහා ඒ මුදල් පරිත්‍යග කරන්න උත්සාහ කළා. නමුත් සාර්ථක වුණේ නැහැ. විශේෂයෙන්ම කිරිබත්ගොඩ රෝහලේ බාහිර රෝගී අංශය සම්පූර්ණ මුදලම යොදලා පිළිසකර කරන්න හැදුවා. ඒත් ඒකට අවශ්‍යය ඒ සහයෝගය ලැබුණේ නෑ.

නමුත් ඔබ පෞද්ගලික මට්ටටමෙන් අපේ කලාකරුවන් වෙනුවෙන් උතුම් මෙහෙවරක නියැළෙනවා?

ඔව්. අපේ සහෝදර කලාකරුවන්ට විවිධ අවශ්‍යතා ඇති වෙන අවස්ථාවල ඒ මුදලින් මම යම් පරිත්‍යාගයක් සිදු කරනවා. ඒ එක සතයක්වත් මගේ පෞද්ගලික ප්‍රයෝජනයට යොදා ගැනෙන්නේ නැහැ. දැන් ‘රන්මිහිතැන්න’ ටෙලි සිනමා ගම්මානය හදන්න ඉස්සර වෙලා ඒ ප්‍රදේශය කැලෑවක්ව තියෙද්දී මුලින්ම එතනට ගියේ හිටපු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දිසානායක මහත්තයයි මමයි. එතන ඉඳන් ‘රන්මිහිතැන්න’ ඔය තත්ත්වයට ගොඩ නඟන කල් හැම කටයුත්තකටම මැදිහත් වුණා. අපි කවුරුත් දන්නවා ඒක මිලියන හය සීයක ව්‍යාපෘතියක්. ඒ කාලය ඇතුළත එක රුපියලක් මම අරගෙන නෑ. ඒක මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය මඟින් සිදු කළේ.

සේවා සැපයුම් කළ සියලු දෙනාට මුදල් ගෙව්වේ මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයෙන්?

ඔව්. එක සතේක ගනුදෙනුවකට මම මැදිහත් වුණේ නෑ. ඒ විතරක් නෙවෙයි, ඒ කටයුතු කෙරෙන කොට ඒවා අධීක්ෂණය කරන්නට, එහි වැඩ කටයුතු කෙරෙන විදිය ජනාධිපතිතුමාට වාර්තා කරන්න, ජනමාධ්‍යය අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙන්න මම අඩුම ගානේ විසි වතාවකට වැඩිය ‘රන්මිහිතැන්න’ ට ගිහින් ඇති. ඉන්ධන දීමනාවන් මම සතයක්වත් අරගෙන නෑ. මගේ මුළු කාලය වැය කරලා හෝටල් කාමරවල පවා නැවතුණේ මගේ මුදලින්. සිනමාව වෙනුවෙන් මොනවද මම කළේ කියලා මුළු සිනමා කර්මාන්තයම දන්නවා. නමුත් තනතුරු ගත්තාය කියන චෝදනාව විතරයි අද ඉතිරි වෙලා තියෙන්නේ.

එහෙම චෝදනා නැගෙන කොට මොකද හිතෙන්නේ?

ඒක ගැන ඉතින් මගේ කනගාටුවක් නෑ. ලෝකේ හැටි එහෙම තමයි. විශේෂයෙන්ම කැපවීමෙන්, අවංකව වැඩ කළොත් අනිවාර්යයෙන්ම ඒ වගේ කතා අහන්ට සිදු වෙනවා. එහෙම නොවුණොත් තමා පුදුමය.

හැබැයි ජනතාව දන්නවා ඔබ ගැන. තමන්ගේ මඩිය පුරෝගත්ත කලාකරුවෝ ගාණට ඔබ වැටිලා නෑ?

එහෙමද? එහෙම නම් හොඳයි.

හැබැයි මේ තනතුරේ ඉඳන් සිනමාවේ අනාගත අභිවෘද්ධිය පිණිස සාර්ථක වැඩ පිළිවෙළක් දියත් කරන්නට බැරි වුණා කියන චෝදනාව ඔබට නැඟෙනවා?

ඔව්. එහෙම තියෙනවා. දැන් මේකනේ, උපදෙස් දෙනවා කියන එකයි, උපදෙස් ක්‍රියාත්මක කරනවා කියන එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාව හරහා තමයි මේ ඕනෑම කටයුත්තක් කරන්න වෙන්නේ. නැතුව දැන් මට ගිහිල්ලා කරන්න පුළුවන්කමක් නෑනේ. ලංකාවේ චිත්‍රපට බෙදා හැරීම පිළිබඳ තිබෙන ප්‍රශ්න, එහෙම නැතිනම් සිනමා ශාලා වැඩි දියුණු කිරීමේ වැඩ පිළිවෙළ, පිටපත් ප්‍රමාණය තීරණය කිරීම ඒ ඔක්කොම කෙරෙන්න ඕනෑ චිත්‍රපට සංස්ථාව මඟින්. එතකොට මේ පිළිබඳ ජනාධිපතිතුමා දැනුවත් කිරීම, ඒ ලැබෙන උපදෙස් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරවීම තමයි මට කළ හැක්කේ.

ඒ කියන්නේ අදාළ පාර්ශවයන් අතර සම්බන්ධිකරණ කටයුතු?

සම්බන්ධිකරණ කටයුතු, ඒ පිළිබඳ පැහැදිලි කිරීම්, කර්මාන්තයේ තිබෙන බලාපොරොත්තු, ඒවා එකිනෙක සංනිවේදනය කරලා හරි දේ තෝරාගෙන මෙන්න මේ ක්‍රියා මාර්ග ගත යුතුයි කියා යෝජනා කිරීම.

සිනමාවේ ඇතැම් ගැටලු සඳහා ඔබ සක්‍රීයව මැදිහත් වූ බවයි ඔය කියන්නේ?

එහෙම අවස්ථා තියෙනවා. දැන් ඩිජිටල්කරණය ගම්මු. මේ ප්‍රශ්නය නිහාල්සිංහ මහත්මයා, සුමිත්‍රා පීරිස් මහත්මිය ඇතුළු සිනමාව පිළිබඳ දැනුමක් ඇති විද්වතුන් සමඟ මාස ගණනක් සාකච්ඡා කරලා යම් එකඟතාවයකට පැමිනුණා. විශේෂයෙන්ම නිහාල්සිංහයන් ලෝකයේ මේ පිළබඳ සියලු දත්තයන් පරීක්ෂා කරලා තමයි මේ නිර්දේශයන් ඉදිරිපත් කළේ.

ඒ මොකක්ද?

ලංකාවට ගැළපෙන ඩිජිටල්කරණ ක්‍රියාවලිය 2 ම් කියන කාරණය. ඉතින් මේකට බරපතළ විරෝධතා ආවා. ලෝක සිනමාව 4 ම් වලිනුත් ඉස්සරහට යද්දී අපිට 2 ම් කියන සම්මතයෙනුත් පල්ලෙහාට යන්න යෝජනා ආවා. මේවාට එරෙහිව බරපතළ ලෙස සටන් කරන්න සිදු වුණා. හැම රැස්වීමකටම ගිහින් මේ ගැන පැහැදිලි කරන්න මටත් සිදුවුණා. කොටින්ම 2ම් වලට අඩුව කරන නිර්මාණ ලෝකයේ පිළිගත් චිත්‍රපට උළෙලවල චිත්‍රපටයක් හැටියට නෙවෙයි සලකන්නේ ‘වීඩියෝ’ කියලයි. ඉතින් ඕවා වෙනුවෙන් පෞද්ගලිකව, තනියම මැදිහත් වෙලා ඒ ගැන සටන් කරලා, දැඩිව පෙනී ඉඳලා තමයි 2ම් කියන තත්ත්වයට සහතික කර ගත්තේ. ඒක මම හිතනවා බරපතළ මැදිහත්වීමක් සිනමාව වෙනුවෙන් කරපු. ඒවා හරියට සංනිවේදනය වුණේ නෑ. මොකද තිරයෙන් පිටුපස තිබෙන දේවල්නේ ඒවා.

චිත්‍රපට පිටපත් ප්‍රමාණය පිළිබඳ ඇති වූ අර්බුදයට ඔබ මැදිහත් වුණා යම් ආකාරයකට?

ඔව්. එතැන මම දැඩිව පෙනී හිටියා. මම නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක්, ප්‍රදර්ශකයෙක්, සිනමා ශාලා හිමියෙක් නෙවෙයි. මම නළුවෙක් විතරයි. ඇයි මම එයට මැදිහත් වුණේ? එතැන ලොකු අසාධාරණයක් තිබුණා. ඒ කාලේ පිටපත් 20 ක් 25 ක් වැඩිම වුණොත් 35 ක් තමයි ප්‍රදර්ශනය කෙරුණේ. අපේ මේ සීමිත සිනමා ශාලා තුළ චිත්‍රපටයකට එක මණ්ඩලයක් තුළ හසුරුවන්න පුළුවන් ඒ සීමිත ප්‍රමාණය පමණයි. නමුත් ප්‍රවණතාවක් මතු වෙන්න ගත්තා අධික පිරිවැයක් දරා තනන චිත්‍රපට සඳහා ප්‍රමුඛතාවය දිය යුතුයි සහ වැඩි සිනමාහල් ප්‍රමාණයක එය ප්‍රදර්ශනය කළ යුතුයි කියා.

සිනමාකරුවන් හා නිෂ්පාදකයන් විසින්ම තමයි මේ බලාධිකාරිය ඇති කරන්නට කටයුතු කළේ?

නියමිත ප්‍රදර්ශන වාරය එනතෙක් අපට ඉන්න බෑ. චිත්‍රපටය හදලා ඉවර වුණ ගමන්ම පෙන්වන්න ඕනෑ. අපිට සිනම ශාලා 45 ක්, 55 ක් ඕනෑ කියලා ඔවුන්ම තීරණය කරලා ඒ අනුව ක්‍රියා කරන්න පියවර ගත්තා.

‘අබා’ චිත්‍රපටයෙන් තමයි ඔය රැල්ල ආරම්භ වුණේ, ඔබත් ඊට රංගනයෙන් දායක වුණා?

ඔව්. ඒ රංගනයෙන් පමණයිනේ. ඒ ට්‍රෙන්ඩ් එක එතනින් ආරම්භ වෙලා අවසානයේ ව්‍යාප්ත වෙලා පිටපත් ප්‍රමාණය 55 ක් විය යුතුම යැයි කියන තැනට ආවා. එහෙම කරන්න මණ්ඩල තුනකින් විතර සිනමා ශාලා එකතු කරන්න වෙනවා. ඒ එකම මණ්ඩලයකවත් එතකොට අලුත් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්න බෑ. හොඳම සිනමා ශාලා ටික ගිහිල්ලා තියෙන්නේ මේ දැවැන්තයාට. එතකොට අර තමන්ගේ ප්‍රදර්ශන වාරය එනතුරු හිටපු අපේ සාමාන්‍ය චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ චිත්‍රපට අවුරුදු තුන, හතර ආපස්සට ගියා.

මේ නිසා සාමාන්‍ය චිත්‍රපට නිෂ්පාදකයින් බලවත් අසීරුතාවකට පත් වුණා?

ඔවුන් චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කරන්න හදන කොටම ‘නෑ අපිට මුලින්ම ඕනෑ. අපි විශාල මුදලක් ආයෝජනය කළා’ කියලා අර දැවැන්ත නිෂ්පාදක, අධ්‍යක්ෂවරු අවි අමෝරා ගන්නවා. මේ නිසා චිත්‍රපට හතළිහකට අධික ප්‍රමාණයක් හිර වෙලා තියෙනවා. දේපළ උගස් තියලා, බැංකු ණය අරන් තමයි අර අහිංසක නිෂ්පාදකයෝ තමන්ගේ චිත්‍රපටය නිර්මාණය කළේ. ඒ අය බැංකුවලට නිකම් පොලී ගෙව ගෙවා ඉන්නවා.

නමුත් අධික පිරිවැයක් දරා නිපදවන ‘බ්ලොක් බස්ටර්’ ගණයේ චිත්‍රපට සඳහා කිසියම් ප්‍රමුඛතාවක් දිය යුතුයි නේද?

පිටපත් ප්‍රමාණය හැමදාම 35 කට සීමා විය යුතුයි කියා මම කිව්වේ නෑ. වර්තමානයේ තිබෙන තත්ත්වයට අනුවයි මම ඒ අදහස ප්‍රකාශ කළේ. එක මණ්ඩලයකට පිටපත් 45 ක් දක්වා ප්‍රදර්ශනය කිරීමට හැකි වන සේ මණ්ඩල ප්‍රතිව්‍යුහගත කරන තුරු පිටපත් 35 ක් දාන්න කියලයි මම කිව්වේ. ඉතින් ඒක සමස්ත කර්මාන්තයම පිළිගත්තා දෙතුන් දෙනෙක් හැරෙන්න. සමහර නිෂ්පාදකයෝ, ප්‍රදර්ශකයෝ මගෙන් අහනවා ඇයි කිසිම ප්‍රතිලාභයක් නැතිව මේකට පෙනී සිටින්නේ කියලා. නමුත් සිනමා කර්මාන්තයට අවැසි දේ සහ රජය පිළිගත් ප්‍රතිපත්තිය උසාවියෙන් පවා තහවුරු වුණා. මේ ප්‍රශ්නය උසාවියටත් ගියානෙ.

මේ නීතිමය ප්‍රතිපාදන මත චිත්‍රපට සංස්ථාව හරහා තමයි මේ පිටපත් 35 සීමාව ක්‍රියාවට නැඟුණේ?

ඔව්. හිටපු සංස්ථා සභාපති අශෝක සේරසිංහ මහතා දැඩිව ඒ වෙනුවෙන් පෙනී සිටියා.

ඔහුට එම තනතුර අහිමිවන්නට මේ පිටපත් පිළිබඳ ගැටලුවත් බලපාන්න ඇති බව ඇතැමුන්ගේ මතයයි?

කෙළින්ම ඒ ප්‍රශ්නය බලපෑවද කියන්න මම දන්නේ නෑ. නමුත් ඒ පෙනී සිටීම තුළ ඔහු බොහෝ විරුද්ධවාදීන් ඇති කර ගත්තා. කොහොම වුණත් ඒ පෙනී සිටීම අගය කරන්න ඕනෑ. මොකද ඒ වෙලාවේ කර්මාන්තයේ බහුතරයකගේ ඉල්ලීම වුණේ ඒකයි. ඇත්තටම ඒ වෙනුවෙන් මමත් පෙනී සිටියා. තමන්ගේ චිත්‍රපට තමයි වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන්නේ, ඒ්වා තමයි විශිෂ්ට නිර්මාණ කියලා තමන්ම හඳුන්වා ගන්න අයගේ තර්ක, විතර්ක හා මැදිහත්වීම සාධාරණ නැති නිසයි මම ඒ විදිහට කටයුතු කළේ.

කොහොම වුණත් ඔය තනතුර නිසාම ඇතැමුන් සිතනවා ඇති රවීන්ද්‍ර රන්දෙණිය මිට වඩා සිනමාව හා සිනමා ශිල්පීන් වෙනුවෙන් පෙනී සිටිය යුතු අයකු බව?

හැමෝටම ගෙවල් අරන් දෙන්න, සිනමා ශිල්පීන්ගේ පොදු හා පෞද්ගලික ගැටලු සියල්ලටම මැදිහත් වෙන්න සිනමා උපදේශකවරයකු වූ පලියටම පුළුවන් ද කියලා හිතාගන්න බෑ මට. නමුත් මට හැකි උපරිම අයුරින් මම පොදු හා පෞද්ගලික කටයුතු සඳහා මැදිහත් වෙනවා. මම විතරයි මළ ගෙදරකවත් පේන්න ඉන්නේ කියලා හැමෝම කියනවා. ඔය එක් එක් අවශ්‍යතා මතුවුණ අවස්ථාවල ජනාධිපති අරමුදලෙන් ප්‍රතිලාභ ලබා දෙන්නට වෙනත් විදිහට මා කටයුතු කර තිබෙනවා. උපදෙස් ක්‍රියාත්මක කිරීම උපදෙස් දෙන කෙනාගේ වගකීම හෝ කාර්යභාරය නෙවෙයි.

සිනමාව පිළිබඳ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ දැක්ම පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?

අපේ සිනමා කර්මාන්තය නගා සිටුවන්නට එතුමා තරම් ඇප කැප වූ කිසිදු රාජ්‍ය නායකයෙක් මා දැක නෑ. එතුමා සැබෑවටම සිනමාවට හා සිනමා ශිල්පීන්ට ගරු කරන, ආදරය කරන නායකයෙක්. එක එක යුගවල හිටපු රාජ්‍ය නායකයන් සමඟ මම කටයුතු කරලා තියෙනවා. මම මන්ත්‍රීවරයෙක් වශයෙනුත් කටයුතු කරලත් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් මම සිනමාව වෙනුවෙන් පෙනී හිටපු හැටි හැන්සාඩ් වාර්තාවල ඇති. එතනදිත් ක්‍රියාත්මක වුණ ප්‍රතිපත්තිය තමයි චිත්‍රපට කර්මාන්තය පෞද්ගලික අංශයට යා යුතුයි කියන එක. රජයේ මන්ත්‍රීවරයෙක් වෙලත් මම දැඩි ලෙස ඊට විරුද්ධව පෙනී හිටියා. අවසානයේ ඒ පරිපාලනය තුළ තිබුණ දේශපාලනයෙන් ඈත් වෙලා නිහඬව මගේ දේශපාලන ජීවිතයට සමු දෙන්න තීරණය කළෙත් ඒ නිසයි.

එවකට පැවති රජයට ඔබ ඇතුළු සිනමා ශිල්පීන් පිරිසක් විවිධ යෝජනා ඉදිරිපත් කළා?

ජෝ අබේවික්‍රම මහත්මයා, මාලිනී ෆොන්සේකා මහත්මිය, ශ්‍රියානි අමරසේන මහත්මිය, රෝයි ද සිල්වා මහත්මයා, සුමනා අමරසිංහ මහත්මිය මේ වගේ දැවැන්ත පිරිසක් වරක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා එවකට හිටපු සංස්කෘතික ඇමැති කරුණාසේන කොඩිතුවක්කු මහතා මුණ ගැසුණා. සංස්ථාවේ රැකවරණයෙන් සිනමාව ඈත් කරන්න එපා කියලා අපි එදා එතුමාට කිව්වා. 1971 ඉඳන් සිනමාව රැකුණේ සංස්ථාව නිසා කියලා අප මතක් කර දුන්නා. නමුත් එවකට තිබූ නායකත්වය එය ප්‍රතික්ෂේප කළා. කොටින්ම ඒ ගිය නියෝජිත පිරිස පවා හමුවීම ඔහු ප්‍රතික්ෂේප කළා.  I don’t want see them. කියලයි එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ. මා එම රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිටි නිසා බලවත් අසීරුතාවකට හා ලැජ්ජාවට පත්වුණා.

අපේ සිනමාවේ කඩා වැටීමට පසුබිමට ප්‍රබල හේතුවක් වුණේ යුද්ධය කියන කතාව ඔබ පිළිගන්නවාද?

අනිවාර්යෙන්ම තිස් වසරක යුද්ධය නිසා වැඩිපුරම හානියක් වුණේ සිනමා කර්මාන්තයට. රෑ 9.30 දර්ශන අවලංගු වුණා. සිනමා ශාලා වැසුණා. චිත්‍රපට නිෂ්පාදනය පහත වැටුණා. මේ නිසා මිලියන හැත්තෑ හතරක් වුණ පේ‍්‍රක්ෂකයෝ මිලියන හයට බැස්සා. එහෙම වැටුණු සිනමාවක් එක රැයකින් නංවන්න බෑ. නමුත් එය නඟා සිටුවීමට රජයක් වශයෙන් කරන්න පුළුවන් මැදිහත්වීම උපරිමයෙන් කළානේ.

විශේෂයෙන් ලබා දුන් බදු සහන?

සියලුම උපකරණයන් ගෙන්වන්න, සියලුම අමු ද්‍රව්‍ය ගෙන්වන්න, ඒ කියන්නේ විදුලි බල්බ, දළ සේයා පට මේ හැම දෙයක්ම නිකං ආනයන බද්දෙන් නෙවේ සියලු බදුවලින් නිදහස් කළා. වැට් එතකොට ජාතිය ගොඩ නැඟීමේ බද්ද ආදී සියලුම ආතකාරයේ බදුවලින් නිදහස් කර දුන්නා.

නමුත් මෙහි ප්‍රතිලාභ සිනමා කර්මාන්තයට ලැබුණාද සහ නිෂ්පාදකයින් මේ තත්වයෙන් ප්‍රයෝජනය ගත්තාද කියන පැනය අපට මතු වෙනවා?

ඔව්. ඒ ගැටලුව මතු වෙනවා. දැන් ඊට වඩා ලොකු සහනයක් දුන්නා. මුදල් අමාත්‍යාංශය ඒක වෙනමම සඳහන් කරලා තියෙනවා. චිත්‍රපටයක් සඳහා අයෝජනය කරන මුදල මිලියන 35 දක්වා ආදායම් බදු ගණනය කිරීමේදී සහන ලැබිය හැකි වියදමක් හැටියට ඇතුළු කරන්න ඉඩ දුන්නා. අවුරුදු පහකට එය දීර්ඝ කර දුන්නා. ඒ වගේම මිලියන 35 ක ණය මුදලක් ඒ විදිහටම ශාලා හදන්න ලබා දුන්නා. ඒකම බරපතළ දෙයක්නේ. සිනමා කර්මාන්තය උනන්දු වුණේ නෑ ඒකෙන් ප්‍රයෝජන ගන්න. සිනමාවට මොනවද කළේ කියා අහන එක තමයි අද කරන්නේ. ඒ වගේම ජනාධිපති අරමුදලෙන් සහ සංස්කෘතික අමාත්‍යාංශයෙන් කලාකරුවන්ගේ සුබ සාධන කටයුතු සඳහා සෘජුවම මැදිහත් වෙනවා. පොලී රහිතව ලක්ෂ 12 ක මුදලක් ලබා දුන්නා වාහනයක් මිලදී ගන්න කලාකරුවන්ට වගේම මාධ්‍යවේදීන්ටත්.

නමුත් එය සමසේ බෙදී ගියේ නෑ කියා මැසිවිල්ලක් නැඟෙනවා?

කොටස් වශයෙන් තමයි මේ ණය මුදල ප්‍රදානය කෙරෙන්නේ. තවමත් ඒ සුදුසු පුද්ගලයන් මේ ණය යෝජනා ක්‍රමයට ඇතුළත් කර ගෙන යනවා. නමුත් ඒ ණය ලබාගන්න බැංකුවකින් මූලික සුදුසුකම්වත් ලබා ගන්න බැරි උදවියට එය ලැබෙන්න නැතිව ඇති. ඒක ඉතින් බැංකු ක්‍රමයේ හැටි. නමුත් මෙවැනි දෙයක් හරි කරන්න ඉදිරිපත් වුණේ ජනාධිපතිතුමානේ. හැම වෙලාවෙම කලාකරුවන් වෙනුවෙන් පෙනී ඉඳලා, ඔවුන් සමඟ සුහදව, සමීපව ඇසුරු කරලා මේ තරම් ගෞරවයක් කලාකරුවන්ට පුද කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් විතරයි. ඒක ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙටම ප්‍රකාශ කළේ එතුමන්. එතකොට ‘නෙළුම් පොකුණ’ වගේ රඟහලක් එතුමා චීන රජයේ සහයෝගය මත අපට ඉදිකර දුන්නා. එය ජාත්‍යන්තර මට්ටමේ රඟහලක්. එය පවත්වාගෙන යාමේ ගැටලුත් තියෙනවනේ. ඒ නිසා මේ රඟහල නොමිලේ ලබා දෙන්නට පුළුවන්කමක් නෑ. ඒ වගේම ජෝන් ද සිල්වා සමරු රඟහල විශාල ආයෝජනයක් කරලා තට්ටු තුනකට ඉදි කරනවා.

එල්ෆින්ස්ටන් රඟහල නවීකරණය වෙනවා?

ඔව්. ඒ වගේම තව ජාත්‍යන්තර මට්ටමේ රඟහලවල් තුනක් අනුරාධපුරය, නුවර, කුරුණෑගල ප්‍රදේශවල ඉදි කරන්න කටයුතු කරගෙන යනවා. ඉතින් මේ වගේ දැවැන්ත ව්‍යාපෘති කොයි රජය ද කරලා තියෙන්නේ. දැන් 2001 වෙන කොට තිබූ රජය චිත්‍රපට බෙදා හැරීම පෞද්ගලික අංශයට පවරලා කරපු විපත නිසා අදත් සිනමාව දුක් විඳිනවා. චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රියා පිළිවෙත සංස්ථාවෙන් ගිළිහී පෞද්ගලික සමාගම් කිහිපයක් අතට ගිහින් ඔවුනට ඕනෑ ආකාරයට අද කර්මාන්තය හසුරවනවා. එවැනි කර්මාන්තයට බලපාන දැඩි ප්‍රතිපත්තියක්, එකම ක්‍රියා මාර්ගයක්වත් ජනාධිපතිතුමා යටතේ ක්‍රියාමත්මක වෙලා තියෙනවාද? කලාවට හා කලාකරුවන්ට පුදුම විදිහේ රුකුල්දීමක් තමයි එතුමන් කළේ.