වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සරත්ට තිබුණු වස්දොස් ඔක්කොම පසුගිය දවස්වල නැතිවුණා බිරිය චාරිකා පවසයි

සරත්ට තිබුණු වස්දොස් ඔක්කොම පසුගිය දවස්වල නැතිවුණා බිරිය චාරිකා පවසයි

සරත් චන්ද්‍රසිරිගේ නිවහනට යමු

‘කොහෝ . . . කොහෝ . . .’

දෙදහස් දාහතර වසරේ අවසාන වෙන්න තිබෙන්නේ හරියටම දින කිහිපයක්. ඒ එක් දිනයක මගේ සවනත වැකුණේ කොවුලෙක්ගේ මිහිරි නාදයක්. මා දෙනෙත යොමු කළේ ඒ මියුරු ස්වරය එන්නේ කොහෙන්ද කියලා බලන්න. ඒත් සමඟම මා දුුටුවේ සරත් චන්ද්‍රසිරි කියන ඔබ ආදරය කරන රංගන ශිල්පියාගේ නිවෙස ඉදිරිපස කොණක තිබෙන කෑම ලෑල්ල අසල ගසක ඉඳගෙන ගී ගයන කොවුලාණන්ව. උගේ මියුරු හඬ ඇහිලද කොහෙද තවත් කෙනෙක් මිදුලට ආවා.

‘මම මේ බැලුවේ කොවුලා කෑ ගහන්නේ මොකද කියලා’

ඒ එළියට ආව සරත් චන්ද්‍රසිරි හඬ අවදි කළේ අපට නිවෙසට ආරාධනා කරන ගමන්.

‘කෑම ලෑල්ලේ කෑම නැත්නම් වට පිටාවට වෙලා ගොඩක් සත්තු කෑ ගහනවා. ඒ අතර මෙයත් ඒකේ සාමාජිකයෙක්. මේ කොහා කෑගහන්නේ සිංහල අවුරුද්දට නෙමෙයි, දෙසැම්බරයේ.’

සරත් කිව්වේ හිස්ව තිබෙන කෑම ලෑල්ලට කෑම දමන ගමන්. ගෙදරට වී ඉන්න නිවාඩුවේ කුරුල්ලන්ට කෑම දමන එකත් ඔහුගේ එක රාජකාරියක්.

* ‘ඉඳහිට ලැබෙන නිවාඩුව කොහොමද ගත කරන්නේ?

‘ගොඩක් වෙලාවට මට මේ විදියට නිවාඩුවක් ලැබෙන්නේ අහම්බයෙන්. ඒ වගේ නිවාඩුවකට ගෙදරටම වෙලා තමයි මම නිතරම ඉන්න කැමැති. බොහොම නිහඬ පරිසරයේ ඈත වෙල් එළියෙන් හමන මඳ සුළඟ ගතට වගේම හිතටත් අරගෙන එන්නේ අපූරු සුවයක්.

ඔහුගේ නිවෙස අසලම පිහිටි අක්කර කිහිපයක් විහිද ගිය පුරන් වූ වෙල්යාය දෙස බලාගෙන මිිමිනුව ඒ කතාව නම් ඇත්ත කියලා අපටත් පෙනුණා. මේ කතාවට අලගු තබන්නට අපගේ කතබහ අතරට ආවේ සරත් චන්ද්‍රසිරිගේ බිරින්දෑ චාරිකා ජයමාලි.

‘සරත් ගෙදර ඉන්නවා නම් කරන්නේ නිදා ගන්න එකයි. නැත්නම් චිත්‍රපටයක් බලනවා. දුවව එක් කරගෙන එන්නත් යනවා. කොහේ හරි අපට යන්න උවමනා නම් ඔහු අපව එක් කරගෙන යන්නත් අමතක කරන්නෙ නැහැ’

වේදිකා නාට්‍යයක් පුරුදු කරන්න ගිහින් ආරම්භ කරන සරත් – චාරිකාගේ හාදකමට, චාරිකාගේ නිවෙසෙන් අවසර ලැබෙන්නේ පස්සේ. ඒ අවසරයත් සමඟ එක්තැන් වෙන දෙන්නා. බිරියගේ ගම් ප්‍රදේශයම වුණු බණ්ඩාරගම ප්‍රදේශයේම කැදැල්ල තනන්න තීරණය කළා.

* ‘ඔබගේ රංගන කටයුතුවලට බොහෝ දුරක පදිංචිව ඉන්න එක කරදරයක් නොවෙයිද?’

‘මම කොහොමත් නිතරම ඉන්නේ නිර්මාණ කටයුතුත් එක්ක නිසාමයි මේ ප්‍රදේශයේ ගේ තනන්න තීරණය කළේ. චාරිකාගේ මහ ගෙවල් තියෙන්නේ මේ ළග නිසා මම නැති අවස්ථාවලදී ඒ ගැන තැවෙන්න ඕනෑ වුණේ නැහැ. මොකද ඒ අවස්ථාවල ඒ අයගේ ආරක්ෂාව ඔවුන්ට නිරතුරුවම ලැබුණා. ඒක මගේ හිතට සැනසීමක් වුණා’

සරත්ටත්, චාරිකාටත් යෞවන වයසේ ඉන්න පුතාත්, දුවත් නිසා ඉස්සර වගේ දැන් කොහොමත් බයක් නැහැ. තාත්තා නැති ගෙදර අඩුව පුරවන්නේ පුතා.

* ‘දරුවන් මොනවද කරන්නේ?

‘පුතා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. දුව ඒ ලෙවල් කරනවා. ඈ ඉගෙන ගන්නේ දේවි බාලිකා විද්‍යාලයේ. ඒ ලෙවල් කරන්නේ මැත්ස්වලින්. ගෙදර කටයුතුයි, මේ දෙන්නාගේ කටයුතුයි කරන කොට දවස ගත වෙනවා දැනෙන්නේ නැහැ. ඒ දෙන්න ලොකු නිසා සරත් ගෙදර නැහැ කියලා බයක් අපට නැහැ’

ගෙදර බර පැන කරට ගත් සරත් දවස් ගණන් ඈත ඉඳන් මුදල් සොයද්දී ගෙදර කටයුතු සියල්ල කරට ගන්නේ චාරිකා. ඈ දිරිය කතක්.

* ‘චාරිකාගෙන් ලැබෙන සහයෝගය ගැන යමක් සඳහන් කළොත්?’

‘මම මෙතෙක් කළේ මුදල් හම්බ කරන එකයි. ගෙදර හදන කටයුත්තේ පටන් සියල්ලම සැලසුම් කරලා කළේ චාරිකා තමයි. ගෙදරදොර වැඩ සියල්ලක්ම කරමින් දුවගේත්, පුතාගේත් කටයුතු සොයා බලමින් ඈ කරන්නේ සුළුපටු කාර්යයක් නොවෙයි. ඒ වගේ වගකීමක් ගන්න පුළුවන් බිරියක් මට ලැබීම ගැන ඇත්තටම මම සතුටු වෙනවා. එහෙම නොවුණා නම් මේ සෑම කටයුත්තක්ම කරන්න මට ලෙහෙසි වෙන්නේ නැහැ.’

මේ තරමට වගකීම් රැසක් ඉටු කරන චරිකා සරත්ගේ ජීවිතයට ආලෝකයක්. දිරියක්. ඒ දිරිය බිරියගෙන් යළිත් මා මෙහෙම විමසුවා.

* ‘සරත් වැඩිපුරම කැමැති කෑම හදලා දෙන්න කියලා ඔබට කරදර එහෙම කරනවා ඇති නේද?

‘ඒ ගැන නම් මට කිසිම කරදරයක් නැහැ. හදල තියෙන දෙයක් එක්ක ඔහු කෑම කනවා. කොහොමත් ෆ්‍රයිඩ්රයිස් වගේ කෑමවලට සරත් කැමැති නැහැ. ඔහු කැමැති ගමේ කෑමවලට. කොළ ජාතිවලට. ඇට වර්ගවලට. ඒ නිසා මට විශේෂ කෑම හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ’

සුහදව කෙරෙන කතාබහ අතරට පැමිණියේ සරත්ගේ දුවත්, පුතත්. සරත්ගේම කපාපු පලුව වගේ ඉන්න දුවත්, අම්මාගේ හැඩහුරුකම ගත්ත පුතත් සරත් ළඟින්ම වාඩි වුණා.

* ‘තාත්තා වගේ රංගන ශිල්පියෙක් වෙන්න අදහසක් තියෙනවාද?’

‘මම නම් කැමැති ඉංජිනේරු අංශයෙන් ඉදිරියට යන්න. ඒතරම්ම මම රඟපෑමට කැමැති නැහැ. එත් තාත්තා නිසා කැම්පස් එකේ අපූරු පිළිගැනීමක් තියෙනවා’

පුතා එහෙම කිව්වත් දුව කිව්වේ මෙහෙම කතාවක්.

‘මම නම් කවදා හරි තාත්තා වගේ රංගනය පැත්තට යන්න කැමැතියි. ඒ හැම දෙයක්ම කරන්නේ ඉගෙන ගැනීමේ කටයුතු අවසාන වුණාට පසුවයි’

කටකාර දෝණි පිළිතුරු දුන්නා.

ඒ අතර පසුගිය දවස්වල ගෙදර හැමෝටම ඇබැද්දියකට මුහුණ දෙන්නත් වුණා. ඒ සරත් හාට් ඇටෑක් එකකින් අයිසීයූ එකේ තියලා විතරක් නෙවෙයි, ඔහු මිය ගියා කියලත් මුළු ක්ෂේත්‍රයේම ප්‍රචාරය වුණා.

* ‘ඇත්තටම මේ කතාවේ සුලමුල මොකක්ද?’

‘පසුගිය දවසක මමයි, සරත් වගේම කුමාරත් මගේ හිතවත් වෛද්‍යවරයෙක් හමුවන්න ගියේ ඔහු එන්න කියලා තිබුණ නිසා. එතනදි ඔහු හෘද රෝග වෛද්‍යවරයෙක් නිසා නිකමට වගේ අපි තුන්ගෙනාගෙත් හදවත් පරික්ෂා කළා. එතනදි මගේ එක නාලයක පුංචි තිතක් පෙන්වන නිසා ඔහුගේ ප්‍රධාන වෛද්‍යතුමා වන ගාමිණී ගලප්පත්තිට මාව දැම්මා. එතැනදි ඔහු පරීක්ෂණයක් කරලා තවත් පරීක්ෂණයක් කරන්න ඕන නිසා ඔහුගේ ඉස්පිරිතාලයේ වෝඩ් එකට මා ඇතුළත් වුණා. එතනදි එහෙම අසනීපයක් නැතිවග ඔහු අපිට කිව්වා. අවසානයේදී ටික දවසකට පස්සේ දිගටම දුරකථන ඇමතුම් කිහිපයක්ම ආවා. ඒ අතර ‘මචං උඹ මැරුණයි කියලයි අපට පණිවිඩේ ආවේ’ කියලා යාළුවෙක් කිව්ව කතාවෙන් මම පුදුම වුණා. ඒ කතාව කිහිප දෙනෙකුටම ආරංචි වෙලා තිබුණා. ඒත් මට ඉහෙන් බහින ලෙඩක් නැහැ. මේ දවස්වල මම වේදිකා නාට්‍යවල රඟපානවා’

සරත් කියන්නේ හිනාවෙවී.

‘ඒ වගේ ආරංචියක් ගිය එක හොඳයි. මොකද සරත්ට තියන වස්දොස් ඔක්කොම ඔය කතාවත් එක්ක යන්න ඇති’

බිරිය චාරිකා ඒ කතාවට අපූරු අරුතක් දුන්නා.

කාලයකට පසුව ලැබුණ නිවාඩුවේ ඔවුන්ට නිදහසේ ඉන්න කාලය ඉතිරි කරන ගමන්ම අප ඒ සොඳුරු කැදැල්ලෙන් සමුගත්තා.