වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මේ රසිකයන් හොඳම දේ ඉල්ලන කාලයයි

මේ රසිකයන් හොඳම දේ ඉල්ලන කාලයයි

‘ළාසඳ ආයේ’ ගීතය බිහි කළ භාගේ ශ්‍රී ෆොන්සේකා සමඟ කතාබහක්

වැහිබර ලකුණු පහළ වෙමින් තිබූ පසුගිය බදදා හැන්දෑව තරමක් නිස්කලංක එකක් වූයේය. ඈඳි පුටුවේ දිගා වී රූපවාහිනිය දෙස බලා සිටින මට වරින්වර ඇස පිය වෙයි. පෙරදා රත්‍රියේ විඩාබර ගත දැන් ඉල්ලන්නේ නින්දකි. එකවරම රූපවාහිනී තිරය මත ඇඳුණු රූප සිත්තම මසිත අවධි කළේ ක්ෂණයකිනි.
 

‘ජීවිතය පිළිබඳ විශ්වාසය

දිගට ගිය තැන ඇත්තේ අඳුර පමණි

මම ඒ අඳුරට පෙම් බඳින්නෙක්මි

සිනහව දැන් මට අමතකය

තිරය මත එසේ ලියැවුණු අකුරු මගේ නිද්‍රාවෙන් යටි හිත ද පුබුදු කළේ ක්ෂණිකවය. ඉන් අනතුරුව තිරය මත ඇඳුණේ ‘ළා සඳ ආයේ’ යනුවෙන් නම් පෙළකි.

සමිතා මුදුන්කොටුව ගයන මේ ගීතය මීට පෙර මා අසා නොතිබිණි. එනිසාම මම රූපවාහිනිය වෙතට තවත් ළං වුණෙමි.

සැබැවින්ම මේ ගීතය පෙර විකාශය වූ ගීත අතර සුපැහැදිලි වෙනසක් දරන වග සංගීතය ගැන අල්පමාත්‍ර දැනුමක් ඇති මට වැටහුණි. ඒ නිසාම මේ වෙනස් ගීිතයේ හිමිකරුවා සොයා යන ගමන ඇරැඹුවේ බ්‍රහස්පතින්දා උදෑසනය.

සැබෑවටම මේ ගීතයේ හිමිකරුවා භාගේ ශ්‍රී ෆොන්සේකාය. ඔහු ශ්‍රීපාලි මණ්ඩපයේ කථිකාචාර්යවරයෙකි. සංගීතය පිළිබඳ උසස් දැනුමක් හිත වපුරා ගත්තෙකි. ඔහු ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසංග කලා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයාය.

* භාගේ ශ්‍රී අපි මුල සිටම ගමන අරඹමු.

මගේ අම්මා සංගීත ගුරුවරියක්. අම්මා නිර්මාණ කරන ආකාරය මං කුඩා කාලයේදී විඳලා තියෙනවා. මගේ තාත්තත් සංගීත විෂයට සම්බන්ධතා තියෙන කෙනෙක්. ගුවන් විදුලි සංස්ථාවේ තමයි වැඩ කළේ. අම්මා සහ තාත්තා දෙදෙනාම සංගීතය සමඟ කරනු ලබන සුන්දර ගනුදෙනු මං කුඩා කලේ වින්ඳේ හරිම ආසාවෙන්. අම්මා ගීත හදනවා මං බලන් හිටියේ තාල තබමින්.

මෙහෙම කාලයක් ගත වෙලා. මම අධ්‍යාපන කටයුතු සඳහා යොමු වුණේ කොළඹ ආනන්ද විද්‍යාලයට. ආනන්ද විද්‍යාලයේදී අපට සංගීතය කියා දුන්නේ ලයනල් රන්වල කියන අපේ රටේ අති ගෞරවාන්විත ගුරුවරයා. එතුමා නිරතුරුවම ජන ගායනා පිළිබඳ, ජන ගී ආශ්‍රිත පර්යේෂණ පිළිබඳ, ජන ගීවල වටිනාකම ගැන, ජන ගීවල ඇති හරවත් ගුණවත්කම ගැන අප දැනුවත් කළා. ඒ දැනුවත් වීම හරහා අපි ජන ගීයට තදින්ම ආදරය කරන්න පටන් ගත්තා. මේ ආදරය හිතට එකඟව කරන එකක්. ඒ නිසාම සංගීතය ඉගෙනීමට පෙළඹුණා.

පාසල් අධ්‍යාපනයෙන් පසුව බරණැස හින්දු විශ්ව විද්‍යාලය සහ දිල්ලි විශ්ව විද්‍යාලයෙන් සංගීතය හැදෑරුවා. ඉන් පසුව භාත්කණ්ඩේ විශ්ව විද්‍යලයෙන් පශ්චාත් උපාධිය නිම කළා. මේ ඉගෙනීම් තුළ ලෝකයේ විවිධ සංගීත රටා ඇසුරේ ගනුදෙනු කරන්නට මට හැකි වුණා. විවිධ භාණ්ඩ සංගීත ක්‍රමෝපායන් ඉතා හොඳින් අධ්‍යයනය කළා.

ඉගෙනීමෙන් අනතුරුව ලංකාවට පැමිණ ශ්‍රීපාලි මණ්ඩපයේ කථිකාචාර්යවරයකු ලෙසට සේවයට එක් වුණා. ඉන් සිදු වුණේ සංගීතයට තවත් සමීපවීමයි. මේ කාලයේදී ධර්මසේන පතිරාජ මහත්මයාගේ නිිර්මාණවලට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා.

* මේ ගීතය බිහි වෙන ආකාරය ගැන කතා කරමු?

සියලුම සංගීත සම්ප්‍රදායන්වල ගීත ග්‍රහණය කරන්නට මා හැකි පරිදි කාලය වෙන් කර ගන්නවා. සංගීතය පිළිබඳ පර්යේෂණ කරන මම අපේ රටට ඔබින වෙනස්ම ආකාරයේ ගීතයක් නිර්මාණය කරන්නට හිතුවා. උතුරු ඉන්දියානු සංගීතයේ භාව යොදා ගනිමින් අපට ගැළපෙන ආකාරයේ ගීතයක් තැනීම තමයි අරමුණ වුණේ.

අපේ රටේ ජන ගී ඇහෙන්නේ අවුරුදු කාලෙට විතරයි. ජන ගී අයත් නිිර්මාණ අපට ඇහෙන්නේ ඉතාම කලාතුරකින්. මා විශ්වාස කළා වෙනස්ම රිද්ම රටා උපයෝගි කොට ගනිමින් ගීතයක් නිර්මාණය කරන්නට.

වැදි ජනතාවගේ දරු නැලවිලි ගීතවල රිද්ම, උතුරු ඉන්දියානු ශාස්ත්‍රීය සංගීත රිද්ම සහ 70 – 80 බොලිවුඩ් බයිස්කෝප් රිද්ම මේ ගීතයට යොදා ගත්තා.

සංගීත කොටස් නිමා කිරීමෙන් පසුව අසංගි විජේසූරිය ලියූ පදවැල මේ සංගීතයට කදිමට ගැළපුණා. ඉන් අනතුරුව තමයි ‘ළා සඳ ආයේ’ ගීතය බිහි වුණේ. මට අවශ්‍ය වුණේ රින්ගිං ටෝන්වලට තවත් ගීතයක් හදන්න නෙවෙයි. විඳින්න පුළුවන් ගීතයක් නිර්මාණය කරන්නටයි.

* මේ ගිතය ගායනයට සමිතා යොදා ගත්තේ විශේෂිත හේතුවක් නිසාද?

ඇත්තටම ඔව්. මෙම ගීතය ගායනයේදී විවිධ සංගීත රටාවල ගති ලක්ෂණ හමු වෙනවා. මේ සියල්ලම ගැයිය හැකි අයෙක් තමයි මට වුවමනා වෙලා තිබුණේ. ලංකාවේ ‘හස්කි වොයිස්’ ඉතාමත් හොඳින්ම පිහිටපු ගායිකාව තමයි සමිතා. අපි අතර ඉතා හොඳ සාකච්ඡාවකින් අනතුරුව මේ ගීතය ඉතාමත් මිහිරියාවට ගයන්නට සමිතාට හැකි වුණා.

*මේ රූප රචනය ඉතා වෙනස් වූ එකක්?

මේ රූප රචනය අධ්‍යක්ෂණය කළේ නාමල් ජයසිංහ. ඔහු ඉතාමත් වෙහෙසකර අරුත්බර කටයුත්තකට අත ගැසුවා. මට අවශ්‍ය වෙලා තිබුණේ කළුවර කාමරයක නොසන්සුන් සංගීත ගරුවරයාගේ ප්‍රකාශනයක් ලෙස මේ ගීතය නිර්මාණය කරන්නටයි. ඇත්තටම මේ ගීතය ඉතාමත් සාර්ථක වුණා කියලා මට හිතෙනවා.

* කොහාමද ලැබෙන ප්‍රතිචාර?

ඉතාමත් හොඳයි. මං මේ ගීය නිර්මාණය කිරීමේදී වුණ මහන්සිය ජනතා ප්‍රතිචරයෙන් නැති වී ගියා. ඇතැමුන් මට දුරකථනයෙන් කතා කරලා සුබ පැතුවා. කවදාවත් නොදන්න අය පවා අපේ ගීතය ගැන හොඳ කිව්වා. මා හිතන්නේ අපේ රසිකයන් මෙවැනි ගීත ඉල්ලමිනුයි ඉන්නේ.

* ඉදිරිය කොහොමද?

මේ ලංකාවට හොඳ සංකල්ප අවශ්‍ය කාලයක්. ඒ නිසා අලුත් සංකල්ප බිහි විය යුතුයි. ඉදිරියේදී විප්ලවවාදී චරිතයක සෞන්දර්ය ෆැන්ටසිය ගැන ගීතයක් නිර්මාණය කරන්නට හිතාගෙන ඉන්නවා.