වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




දෙරණින් පෑයූ පුංචි තරුව නලින්ද

දෙරණින් පෑයූ පුංචි තරුව නලින්ද

උපතින්ම ආ ගායන හැකියාව කළ එළි දැක්වීම සඳහා දෙරණ ළමා ගායන පිටිය ඔහුට කදිම තෝතැන්නක් විය. මහරගම ජනාධිපති විද්‍යාලයේ අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන නලින්ද අකලංක ඉද්දමල්ගොඩ මෙවර පැවති දෙරණ ලිටිල් ස්ටාර් තරගයේදී ළමා ගායනා අංශයෙන් තුන්වැනි ස්ථානයට පැමිණියේ අති විශාල තරගයකට මුහුණදීමෙනි.

‘හැටපන් දාහක් තරගකරුවන් අතරින් අන්තිම සිය දෙනා - පනස් දෙනා - විසි දෙනා ලෙස අන්තිම පස් දෙනා අතරට ආ ගමන ගැන ලොකු සතුටක් මගේ තිබෙන්නේ . . .’ නලින් ද හඬ අවදි කළේ ජයග්‍රහණයේ සොම්නසින්මයි.

‘මගේ වයස දොළහයි. පුංචි කාලේ ඉඳන් සංගීතයට මම කැමතියි. පාසලේ කුමන් ගා ගුරුතුමිය තමා මගේ හැකියාව මුලින්ම හඳුනා ගත්තේ. පසුව නන්දා මාලිනී මහත්මිය ළඟට ගියා. ඇයත් උදවු කළා මේ ගමනට. සිසිර කාලිංග ඒකනායක මහතා යටතේ දිගටම සංගීතය ඉගෙන ගත්තා. සිසිර සර් මට කළ උදව් නම් වචනවලට පෙරළන්න බැරි තරම්. මේ තරගය පුරාවටම සර් මට උදව් කළා.

‘ඔබ සීසන් ෆෝ එකටත් ගියා නේද?’

ඔව්, අන්තිම සිය දෙනා අතරට ඇවිත් සීසන් ෆෝ එකෙන් ඉවත් වෙන්න සිදු වුණේ අසනීප තත්ත්වය නිසාමයි.

‘මෙවර ජය ලැබෙයි කියලා හිතුවාද?’

‘විශ්වාසයෙන් හිතට හයිය අරගෙන ඉදිරිපත් වුණා. විනිශ්චය මණ්ඩලයේ නැන්දලා, මාමලා හුඟාක් උදව් කළා. මම වැඩිපුරම ගායනා කළේ අමරදේව මහත්මයාගේ ගී. කසුන් කල්හාර අයියාගේ ගීතත් ගායනා කළා. ශාස්ත්‍රීය සංගීතයට මම ආසයි.

‘හෙට දවස කොහොම වෙයිද?’

‘මම දැන් භාත්කණ්ඩය ඩිප්ලෝමා එක හදාරනවා. අධ්‍යාපන කටයුතු සමඟ සංගීත කටයුතු කරනවා. අමරදේව සර්ට කියලා ගීතයකට තනුවක් දාලා කියන්න ලොකු ආශාවක් තියෙනවා. මම එළිමහන් ප්‍රසංගවලට යන්න කැමැත්තක් නෑ. හරියට ඉගෙන ගෙන නිවැරැදිව දෙයක් කරන්න තමා මම උත්සාහ කරන්නේ.’

නගරාධිපති අනුර ප්‍රියශාන්ත මහතාවත් ආදරයෙන් සිහිපත් කළ යුතුයි. මගේ අම්මා - තාත්තා පවුලේ අය, ගුරුවරුන් හට සැමදාමත් මම ගරු කරනවා. ඒ අයගෙන් ලද ආශිර්වාදය මිල කරන්න බැහැ.