වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




‘සැමීගේ කතාව’ ගැන නොකියූ කතාවක්

‘සැමීගේ කතාව’ ගැන නොකියූ කතාවක්

සැමී යනු අපූරු ගැටවරයෙකි. වයසෙන් වැඩුණ ද මනස නොවැඩෙන සැමීගේ ජීවිතය නතර වද්දී ලෝකය ඉදිරියට ගලා යයි. ඔහුගේ ආදරණීය අම්මා වියපත් ව ලෝකය හැර යද්දී එකම සොහොයුරා යුද්ධයෙන් මිය යයි. එහෙත් ජීවිතය යනු අපූරු එකකි. ඒ සැමී ජීවිතය පිළිබඳ අපූරු කතිකාවක් ගොඩ නංවන්නේ ය. සැමීගේ කතාවට මුල පිරිය යුත්තේ එහෙම ය. ඒලෙස මුල පිරුණ සැමී පසුගිය දවසක අපේ සිනමාව ජගත් කීර්තියට පත් කළේය.

හැටහය වසරක ඉතිහාසයේ මුල් වරට රංගනය වෙනුවෙන් අමෙරිකානු සිනමා උළෙලක දී අපේ නළුවකු හොඳම නළු සම්මානය දිනා ගත්තේය. ඒ පසුගිය සිකුරාදා නිව්යෝර්ක් සිටි සිනමා උළෙලේ දී ජගත් චමිලයන් හොඳම නළුවා වීමත් සමඟ ය. මේ පුවත මට පැවසුවේ ඒ වනවිට සිනමා උළෙලට සහභාගි වෙමින් සිටි චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ විමල් දේශප්‍රියගේ ආදරණීය බිරින්දෑ ‘පුරහඳ කළුවර‘ රංගනය වෙනුවෙන් හොඳම නවක නිළියට හිමි සරසවිය සම්මානය දිනූ ප්‍රියංකා සමරවීර විසිනි.

මේ ඉතිහාසයටම අපේ නළුවකු එයට පෙර අන්තර් ජාතික සම්මානයක් දිනා ගත්තේ ද එකම අවස්ථාවක පමණී. ඒ ‘පුරහඳ කළුවර‘ වෙනුවෙන් ජෝ අබේවික්‍රමයෙන් සිංගප්පූරු අන්තර් ජාතින සම්මානයෙන් පිදුම් ලැබීමයි. මෙවර ඒ අවස්ථාව ජගත් චමිලයන් උදා කරනුයේ සැමීගේ කතාව වෙනුවෙනි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ප්‍රියංකර විතානාච්චිය. එය ප්‍රියංකරගේ මුල්ම සිනමාකරණය වෙයි. ජගත් චමිලයන් සම්මානය දිනූ ඵෙතිහාසික මොහොත මෙරට කාටත් කලින් දැන ගත්තේ අපේ මහා රංග වේදියාණන් වන රවීන්ද්‍ර රන්දෙණියට ය. ඒ සිනමා උළෙලට සහභාගි වූ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ විමල් දේශප්‍රිය, එය එසැනින් රවීන්ද්‍රයන්ට දැන්වූ හෙයිනි.

රවීන්ද්‍ර රන්දෙණිය ඒ උදෑසනින්ම අතිගරු ජනාධිපති තුමන්ට අප රට ලද සුවිසෙස් ජයග්‍රහණය පිළිබඳ පුවත දන්වා සිටියේය. අතිගරු ජනාධිපතිතුමන් වහාම ජගත් චමිලයන්ටත්, එහි අධ්‍යක්ෂ ප්‍රියංකර විතානාච්චිටත් අමෙරිකාවට කතා කොට සුබ පැතුවේය. ජගත්ට මෙරටින් මුලින්ම සුබ පැතුවේ අතිගරු ජනාධිපතිතුමන්ය. ඒ සඳහා මැදිහත් වූයේත් ජගත් චමිලට සිනමා උළෙලට සහභාගි වන්නට ඇවැසි කරුණු කාරණා සපුරාලූයේත් රවීන්ද්‍ර රන්දෙණිය බැව් මෙහි සඳහන් කළ යුතුය. නැත්නම් සිනමා උළෙලට සහභාගි නොවී ජගත් දිනපතා මෙගා නාට්‍ය රඟපානවා ඇත. මේ උළෙලට සහභාගි වන්නට ටෙලි නාට්‍යයකින් දවස් ගණනාවක් ඉඩ ලබා ගන්නට ජගත් චමිලට මහන්සි වන්නට සිදු විය. සම්මානය අතට ගත් සැනින් දඩිබිඩියේ ගුවන් යානයක නැඟී හැරෙන තැපෑලෙන් යළි ජගත් මව්රටට ආවේ පසුදින සිටම ටෙලි නාට්‍යයේ රඟපාන්නට සිදු වූ හෙයිනි.

අමෙරිකානු සම්මානයකින් පුද ලබන ජගත් චමිල මුල් වරට සිනමා රංගනයට එක් වනුයේ රවීන්ද්‍ර රන්දෙණියගේ පුතණුවන් හැටියට ය. ඒ විජය ධර්ම ශ්‍රී හොඳම අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මානය දිනාගත් ‘ගුරු ගෙදර‘ චිත්‍රපටයේ රංගනයෙනි. අප මිත්‍ර ජැක්සන් ඇන්තනි සිනමාවට හඳුන්වා දෙන්නේ ද ‘ගුරු ගෙදර‘ චිත්‍රපටයෙනි. ඒ දවස්වල මොරටුවේ වේල්ස් කුමර විදුහලේ සිසුවකු වූ ජගත් පසු කලෙක සිය ජීවන සහකාරිය කර ගත්තේ ද විජය ධර්ම ශ්‍රී ගේ දියණියයි.

සැමීගේ කතාවට පාදක වනුයේ කපිතාන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග්‍රීසි බසින් රචනා කරන ලද ‘සෑම්ස් ස්ටෝරි‘ නම් නවකතාවයි. මේ නවකතාව මෙරට ඉංග්‍රීසි සාහිත්‍ය වෙනුවෙන් පිරිනැමෙන ඉහළම සම්මනය වූ ග්‍රේෂන් සම්මානය 2001වසරේ දී දිනා ගත්තේ ය. ග්‍රේෂන් සම්මානය ඉංග්ලිස් පේෂන්ට් චිත්‍රපටය වෙනුවෙන් ඇකඩමි සම්මාන දිනූ තිර නාටක රචකයකු මෙන්ම සාහිත්‍යධරයකු වන මයිකල් ඔන්ඩච්චි විසින් සිය පෞද්ගලික ධනයෙන් ආරම්භ කරන ලද අරමුදලකි. ඔන්ඩච්චි ශ්‍රී ලංකා රත්න සම්මානයෙන් පුද ලද කැනඩාවේ පුරවැසියකු වන ශ්‍රී ලාංකිකයෙකි. එල්මෝ ජයවර්ධන රචනා කරන ලද තවත් කෘතියක් වනුයේ ‘ලාස්ට් කිංග්ඩම් ඔෆ් සිංහල‘ය.

එය සිංහලට නැඟී ඇත්තේ ‘අන්තිම සිංහල රජ දහන‘ ලෙසට ය. එල්මෝ ජයවර්ධනගේ නවකතාව පාදක කර ගෙන තිර රචනය කළ ප්‍රියංකර විතානාච්චි ජගත් චමිලට කතා කළේ ය. ප්‍රියංකර විසින් ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණ පාඨමාලාව මෙහෙයවනු ලබද්දී ජගත් එහි සිසුවකු විය. ඒ දවස්වල ප්‍රියංකර තැනූ කෙටි චිත්‍රපටයක ද ජගත් චරිතයක් නිරූපණය කළේ ය. චිත්‍රපටය පිළිබඳවත්, චරිතය පිළිබඳවත් විස්තර දුරකතනයෙන් කියද්දී ගෙදර කළු ළැල්ලක චරිතය පිළිබඳ සටහන් කළ ජගත් කල් නොයවාම ප්‍රියංකර ‘සර්“ සොයා ගියේය. ඒ සිය මුහුණ හා ඉරියව් අසාමාන්‍ය ලෙස වෙනස් කර ගෙන ය. ඒ සෑම් මෙලෙස විය යුතුයැයි තමන් විසින් උපකල්පනය කර ගෙන ය. ටික දිනකින් හමු නොවුණු සිය සර්ගේ කන්තෝරු කාමරයට අනාරාධිතවම කඩා වැදුණ ආගන්තුකයා දුටු ප්‍රියංකර ට කෑ ගැසිණ.

‘‘මේ මගේ සෑම්‘‘

තම සිතෙහි ඇඳුණු රුව රැගෙනම ජගත් එහි පැමිණ සිටියි. එතැන් පටන් ජගත් සෑම් විය. දශක ගණනාවකට එපිට ලෝක සිනමාවේ ද මෙබඳුම සිදුවීමක් විය. මාලන් බ්‍රැන්ඩෝ ගෝඩ් ෆාදර් චිත්‍රපටයේ විටෝ කොරලියානෝ ලෙස රඟපෑමට පෙරාතුව එහි අධ්‍යක්ෂ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපලා හමුවට ගියේ තම සිතැඟි පරිදි රූපයක් මවා ගෙන ය. ඒ ඉරියව් අධ්‍යක්ෂගේ සිතැඟි සමඟ එකිනෙකට පෑහිණ.

සෑමිගේ කතාව කපිතාන් එල්මෝ ජයවර්ධන විසින් ලියන ලද්දේ ඔහුගේ නිවසේ වෙසෙන සේවකයකු වටා ය. චිත්‍රපටය ආරම්භ කිරීමට පෙර ජගත් ගේ එක් බලාපොරොත්තුවක් වූයේ රූ ගන්වන්නට පෙර ඇත්ත සැමී මුණ ගැසීමයි. ඒ අනුව ප්‍රියංකර සහ ජගත් කපිතාන් එල්මෝ ජයවර්ධනගේ නිවසට ගියේය. කපිතාන් එල්මෝ සැමී ට කතා කළේ ය.

‘‘මං සැමී ගැන පොතක් ලිව්වේ. දැන් මේ මහත්තයලා ඒ පොතෙන් සැමී ගැන චිත්‍රපටයක් කරනවා.‘‘ කපිතාන් සැමීට පැවසුවේ ය. සැමීගේ මුහුණේ කිසිදු ඉරියව්වක් නොවීය. එහි සිනාවක්වත් නැත. සැමීගෙන් වචනයක් හෝ කියැවුණේවත් නැත. එහෙත් ඒ වනවිට තමා කළ යුත්තේ කුමක් දැයි ජගත් චමිල තීරණය කොට හමාර ය. අධ්‍යක්ෂවරයා ට අවශ්‍ය සියලු දේ නිර්මාණය කිරීම නළුවෙක්ගේ කාර්යය බව ජගත් අවබෝධ කරගෙන සිටියේ ය. හැඟීම් විරහිත සැමී වෙනුවට හැඟීම් සහිත සැමී කෙනෙක් ගොඩ නැඟිණ.

සැමී පිළිබඳ ජගත් සමඟ සංවාද මේ දිනවල එමට ය. එහෙත් මගේ වෑයම ජගත් ට සරසවිය උණුසුම් සුබ පැතුම් පතන ගමන්ම සැමීගේ කතාව ගැන කතාවක් ලියන්නට ය. කතාවක් වුව ද එය ප්‍රබන්ධයක් නොවේ. මේ රට සිනමාවේ බොහෝදෙනා සැමීගේ කතාව ගැන ඇසුවේත් ජගත් සම්මානය දිනූ පසුව ය. කොටින්ම දැනට මාස කිහිපයකට පෙර ජාතික චිත්‍රපට සංස්ථාව මගින් මේ වනවිට තිරගත වීමට නියමිත රැඟුම් පාලක මණ්ඩලය මගින් අනුමත චිත්‍රපට ලැයිස්තුවක් ඉදිරිපත් කොට තිබිණ. එහෙත් එයට වසරකට පමණ පෙර අනුමැතිය ලද ‘සැමීගේ කතාව‘ චිත්‍රපටයේ නම ඊට ඇතුළත් ව නොතිබිණ. මා චිත්‍රපටය නැරැඹුවේ මෙයට වසරකට එකහමාරකට පෙරාතුව ය .රැඟුම් පාලක මණ්ඩලය අනුමැතිය ලද්දේ එයට පෙරාතුව ය.

ප්‍රියංකර විතානාච්චි යනු කොළඹ රාජකීය විදුහලේ ඉගෙනුම ලැබූ පසුව අමෙරිකාවේ සිනමාව සහ ව්‍යාපාර අධ්‍යයනය හැදෑරුවෙකි. පාසල් යන සමයේත්, බයිස්කෝප් පිස්සෙකු වූ ප්‍රියංකර සිනමාව ඉගෙන ගත්තේ සිනමාව හැදෑරීම සඳහා ලොව පවතින ඉහළම විශ්වවිද්‍යාලයක් වන අමෙරිකාවේ කැලිෆෝනියා ලොස් ඇන්ජලිස් විශ්වවිද්‍යාලයේය (U.C.L.A). යළි මව්රට පැමිණි ඔහු මෙරට ඉහළ පෙළේ සමාගමක විධායක තනතුරක් දරද්දී ද සිනාමව පිළිබඳ ඇල්ම තුරන් කළේ නැත. සිනමාව පිළිබඳ තමන් ලද දැනුම රටට බෙදන්නටත්, කවදාක හෝ තමන්ගේ චිත්‍රපටයක් නිර්මාණය කරන්නටත් ඔහුට මහත් වුවමනාවක් තිබිණි. එමෙන්ම කවර රාජකාරියක සිටිය ද සෑම දවසකම සවස සිනමාහලකට රිංගා ඕනෑම වර්ගයක චිත්‍රපටයක් නැරැඹීමේ පුරුද්ද ඔහු අත්හැරියේ ද නැත.

ඔහුගේ දැනුම පිළිබඳ මුලින්ම මෙරට තක්සේරු කළේ එවකට චිත්‍රපට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ව සිටි, එමෙන්ම සිනමාවට අවංකවම ආදරය කළ සංස්ථා නිලධාරින් අතළොස්සෙන් එක් අයෙකු වූ අයිවන් වීරක්කොඩි ය. අයිවන් ජාතික චිත්‍රපට සංස්ථාව මෙහෙයවූ සිනමා තිර රචනා පාඨමාලාව මෙහෙයවීම පි‍්‍රයංකරට බාර දුන්නේ එවකට මෙරට සිනමාවේ පොල්මඞකාරයන්ගේ රැවුම් ගෙරැවුම් මැද ය.

කාත් කවුරුවත් දන්නේ නැති මිනිසුන් ලවා සිනමාව උගන් වන්නට හදනවා යැයි එක් බලධාරියෙක් අයිවන්ට ප්‍රසිද්ධියේ දොස් කිව්වේ ය. එහෙත් එය එතෙක් මෙරට සිනමා පාඨමාලාවන්හි ඇට්ටකුනා කළ තිර රචනා වැඩමුළුවක් නොවී ය. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නූතන සිනමා ලෝකයට ගැළපීමක් විය. ප්‍රංශ නවරැල්ලේ හෝ ඉතාලි නව තාත්වික වාදය වැනි පරණ පාඩම්වලින් බැහැර වූ එහි අලුත් හොලිවුඩ් බොලිවුඩ් චිත්‍රපට හරහා සිනමාව පිළිබඳ අලුත් කියැවීමකට සිසුන් යොමු කිරීමට එමඟින් සමත් විය. එහෙයින්ම චිත්‍රපට සංස්ථාව මේ සිනමා පාඨමාලාව එක්තරා කාලයක දී නතර කළේ ය. නැත්නම් නතර වන තැනට වැඩ සිද්ධ කළේ ය.

පසු කලෙක විශ්වවිද්‍යාල කිහිපයකටම ප්‍රියංකර සිනමා දැනුම බෙදා දෙන්නට උත්සුක වූයේ තමා ලත් දැනුම අලුත් පරම්පරාවකට දායාද කිරීමේ අභිලාෂය හේතුවෙනි. එපමණක් නොව මේ දැනුම ගම් නියම් ගම් පුරා පතුර වන්නට ද ඉඩ ලැබුණ හැම අවස්ථාවකම හෙතෙම ඒ සඳහා නොපැකිළව ඉදිරිපත් වූයේය. වරෙක අනුරාධපුරයෙන් ඈත වාහල්කඩ ගම්මානයේ දී කිසියම් සිනමා වැඩමුළුවකට ඔහු සහභාගි වූ අවස්ථාවක් මගේ මතකයට නැඟෙයි.

එහි දී ඔහු තෝරා ගත්තේ ‘ඩේ ආෆ්ටර් ටුමාරෝ‘ චිත්‍රපටයයි. ඔහු ගැමියන් ට ‘ඩේ ආෆ්ටර් ටුමාරෝ‘ පිළිබඳ අගනා කතාවක් කළේය. එය සිනමාව පිළිබඳ අභිලාෂයෙන් යුතු එහි රැස්වූවන්ට පමණක් නොව කිසි දිනෙක දැක නැති අත්දැකීමක් විඳීන්නට පැමිණි ගැමියන්ට ද ප්‍රියංකර කියාදුන් සිනමා බස තේරුම් ගැනීම අපහසු වූයේ නැත. එය එතරම් සරලය. ඒ කාලය මෙරට ත්‍රස්තවාදී යුද්ධය තදින් පැතිර ගිය සමයකි. එහෙත් ගැමියන් වෙනුවෙන් එහි රැදෙන්නට ඔහු දෙවරක් සිතුවේ නැත.

කෙසේ හෝ වේවා ප්‍රියංකර සිය සිනමා සිහිනය සැබෑ කරගනු වස් මුල්ම සිනමා නිර්මාණය කරන්නට පෙලඹෙන්නේ ඒ දවස්වල ය. ‘සැමීගේ කතාව‘ මුහුරත් උළෙල පැවැත්වූ දිනය හරියටම කවදා දැයි මට මතක නැතත්, එය පැවැත්වූයේ චිත්‍රපට සංස්ථාවේ පැරැණි ගොඩනැඟිල්ලේ බව නම් මට මතකය. ප්‍රියංකරගේ ගජ මිතුරෙක් වන ප්‍රවීණ චිත්‍ර ශිල්පී වසන්ත පෙරේරා මෙන්ම ඔහු අගය කළ සිනමා විචාරක ගාමිණී වේරගම ද මුහුරත් උළෙලට සහභාගි වූ අයුරු ද මට මතකය. එතැන් පටන් ‘සැමීගේ කතාව‘ රූ ගැන්වීම් පටන් ගත්තේය. වසන්ත ද එහි සුළු චරිතයන් නිරූපණය කළේය. සැමීගේ මුහුණ නිර්මාණය සඳහා දන්ත වෛද්‍යවරයකුගේද උපදෙස් ගත් වගක් ඒ දවස්වල ප්‍රියංකර මට පැවසුවේය.

චිත්‍රපටය සංස්කරණය කළේ ප්‍රවීන් ජයරත්නය.

එහෙත් කරදරයකින් තොරව රූ ගන්වා අවසන් වූ ‘සැමීගේ කතාව‘ට ගැටලු මතු වන්නට පටන් ගත්තේ එය තිරගත කරවන්නට ප්‍රදර්ශකයන් සොයා යන්නට පටන් ගත් විට ය. අසීමිත මහජනය සඳහා අනුමැතිය ලැබූව ද සිනමා සමාගම් ඒ සඳහා උනන්දු නොවීය. චිත්‍රපටයේ පිටපත් පවා ලැහැස්ති ව තිබියදී එක් ප්‍රධාන සමාගමක් පැවසුවේ වසර 2015 දී පමණ අවස්ථාවක් දීමට හැකි වන බව ය. චිත්‍රපටය කෙතරම් කල්ගියාද යත් ජගත් චමිල සැමීගේ හැඩරුව තවත් චිත්‍රපටයකට ද ගෙන ආවේය.

චිත්‍රපටසංස්ථාව මෙරට සිනමාව සම්බන්ධ බලතල ඇති ආයතනයයි. එහි වරදක් පෙන්වීම ආන්නතරිය පාප කර්මයටත් වඩා ලොකු එකක් ලෙස සැලකීමට එහි බලධාරිහු සූදානම් ව සිටිති. එහෙත් ඒ පිළිබඳව ලියන්නේ ආදරයෙන් විනා අනාදරයෙන් නොවන නිසාත්, එය වඩා වැඩ දායක ඉසව්වකට යොමු කළ යුත් නිසා බැව් මෙහි සදහන් කළ යුතුය. ‘සැමිගේ කතාව‘ චිත්‍රපටය සංස්ථා මණ්ඩලයේ හෝ ප්‍රදර්ශනයට එහි සිටින පිරිස කිසිවිටෙකත් උනන්දු වූයේ නැත. වර්තමානයේ කැනඩාවේ පදිංචිව සිටින සිනමාකරු ප්‍රියංකර ට චිත්‍රපටය තිරගත කිරීම සම්බන්ධව ලැබුණු ප්‍රතිචාරය කළකිරුණු එකකි. වර්තමානයේ බොහෝවිට සංස්ථා මණ්ඩලයේ තිරගත වන්නේ අනිකුත් මණ්ඩල මගින් තෝරා නොගන්නා කසිකබල් චිත්‍රපට පමණි.

එබැවින් බොහෝදෙනා තුළ ඇත්තේ සංස්ථා මන්ඩලය යනු අනාථ චිත්‍රපට සඳහා වෙන්වූවක් හැටියට මතවාදයකි. එහෙත් ‘සැමීගේ කතාව‘ වැනි යහපත් සිනමාව අපේක්ෂාවෙන් තැනුණු චිත්‍රපට සංස්ථාව මගින් තිරගත කරවන්නේ නම් අපට මෙපමණ ආඩපාලි කියන්නට අවශ්‍ය වන්නේ නැත. සංස්ථාව මගින් චිත්‍රපට ප්‍රදර්ශනය කරන සමයේ පස්වැනි මණ්ඩලය යනුවෙන් නම් කරන ලද මණ්ඩලය හරහා විහිෂ්ට චිත්‍රපට නරඹන්නට ප්‍රේක්ෂකයන් සූදානම් ව සිටි බව අපට තවමත් අමතක නැත. රාජ්‍ය චිත්‍රපට සංස්ථාව චිත්‍රපට ප්‍රදර්ශනයට මුලින් අත තැබුවේ ද ඒ සමයේ ප්‍රධාන සමාගම් මගින් ප්‍රතික්ෂේප කරන ලද ‘අහස් ගව්ව‘ චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින් බැව් මම මෙහි සදහන් කරන්නට කැමැත්තෙමි. එබැවින් සැමීගේ කතාවෙන් සංස්ථාවට අලුත් ආරම්භයක් දිය හැක්කේය.

මෑත කාලයේ සිනමාව අපේ තරුණයන් අත පෑන්, පැන්සල් ගානට පත්ව ඇත්තේය. මේ අලුතින් සිතන තරුණයන්ගේ සිනමාව අපේ සම්ප්‍රදායික සිනමාවට වඩා වෙනස්ය.ඔවුන් වෙනුවෙන් අලුත් වෙළද පලක් තැනීම සිනමා බළධාරින්ගේ කාර්යය විය යුත්තේය.ඔවුන් ගේ සිනමා ලෝකය සිනමාහල්වලින් ඔබ්බට ද යා හැක්කකි.

සිනමා කෘති ආදායම් උපයන්නේ සිනමාහල් පමණක යැයි සිතන්නන් තවමත් සිටින්නේ මෙරට පමණකි. එබැවින් මෙබඳු සම්මාන ලාභී චිත්‍රපට සඳහා ටෙලිවිෂන් නාලිකා ප්‍රදර්ශනයේ දී ඉහළ මිලක් අය කරදීමේ වැඩ පිළිවෙළක් සැකසීම මෙන්ම ඩීවීඩී සහ බ්ලූ රේ වෙළෙඳ පොළ ගොඩ නැංවීම ඇතුළු දහසකුත් එකක් ක්‍රමවේද ක්‍රියාවට නැංවීම වඩා යහපත් වනු නොඅනුමානය. මෙරට චිත්‍රපට නරඹන්නට සිනමාහල්වලට එන ජනගහනයට වඩා නිවසට වී චිත්‍රපට නරඹන ජනගහනය වැඩි බැව් අප අමතක කළ යුතු නැත. එම ජනගහනයෙන් පිරිසක් ලෝකයේ විශිෂ්ට අලුත් චිත්‍රපට එලෙස රස විදින්නේ අපේ සිනමාවේ එබදු හිස් තැන තවම සපුරා ලන්නට කිසිවකු උනන්දුවක් නැති හෙයිනි.

ජගත් ජාත්‍යන්තරය ජය ගෙන මෙරටට එද්දී ඔහු ගුවන් තොටුපලේ දී තමන්ට රංග වේදය මුලින් ඉගැන්වූ තිස්ස ගුණවර්ධන ගුරුතුමාණන්ගේ දෙපා වැඳ අපේ සාරධර්ම සිහිපත් කළේය. එය බෙහෙවින් අනුවේදනීය අත්දැකීමක් වූයේය. දැන් අපේ යුතුකම විය යුත්තේ ජගත් ජාත්‍යන්තරයට ගෙන ගිය රංගනය අපේ ප්‍රේක්ෂකයන් අතරට ගෙන යෑමය. එය ඔහුට කරන යුතුකමක් වන බැවිනි.

අපේ සිනමාකරුවන්ට ලෝකය විවර කර දුන් අග්‍රගණ්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන්ගේ අනූ වැනි ජන්ම දිනය නිමිති කොට එනම් 2009 වසරේ නිකුත් වූ ආවර්ජනා ග්‍රන්ථයේ මුල්ම පරිච්ඡේදය ඇරඹෙනුයේ මෙපරිද්දෙනි.

අමෙරිකාවේ ඉහළම විශ්වවිද්‍යාලයකින් සිනමාකරණය හැදෑරූ ශ්‍රී ලාංකික තරුණයකු වන ප්‍රියංකර විතානාච්චි පසුගියදා මා (ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්) හමුවිය. සිනමාකරණය මෙන්ම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ද අමෙරිකානු උපාධියක් ලත් ඔහු මේ දිනවල සිය මුල්ම චිත්‍රපටය නිර්මාණය කරන බැව් මා සමඟ පැවසීය.

“ඔබ චිත්‍රපටකරණය හැදෑරුවේ ඇයි?‘‘

මම ඇසීමි.

“ඔබ ‘අහසින් පොළවට‘ චිත්‍රපටය කරපු හින්දා.මටත් ඒ වගේ චිත්‍රපටයක් කරන්නට පුළුවන් නම් කියන හැඟීම හින්දා‘‘

ඔහු උත්තර දුන්නේය.

අතීතාවර්ජනයක යෙදීමට කැමැති වැඩිහිටියෙතු ලෙස මෙය මට මහත් ගෞරවයට හේතු විය. එබැවින් මම ඔහුට අවවාදයක් දුනිමි.

‘‘දැන් ඔබ අහසින් පොළවට බැසිය යුතු කාලයයි“

ආචාර්ය ලෙස්ටර් ප්‍රියංකරට දුන් අවවාදයෙන් මේ ලිපිය නිම කරමි. සැමී ට කරන ගෞරවය නම් සැමී දැක ගන්නට කැමැති ප්‍රේක්ෂකයන්ට එය නරඹන්නට ඉඩ හසර හදා දීම ය.