වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ

ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ

ජූලි සිට රිත්මා මණ්ඩලයේ
අර්ජුන කමලනාත් අධ්‍යක්ෂණයට

තාරුණ්‍යය ඉලක්ක කර ගනිමින් රංගන ශිල්පී අර්ජුන කමලනාත් පළමුවරට අධ්‍යක්ෂණය කළ ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ සිනමා සිතුවම එළඹෙන ජූලි මාසයේ දෙවැනි සතියේ සිට රීගල්, ලිඩෝ ඇතුළු රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන් හි තිරගතවීමට නියමිතය.

තරුණියන් පස් දෙනෙකු වටා ගෙනී ඇති කතා පුවතක් වන මෙය ඉසුරු ෆිල්ම්ස් හි නිෂ්පාදනයකි.

අර්ජුන කමලනාත් සමඟ අමීශා කාවින්දි ප්‍රධාන චරිත මවන ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස්, තිර රචනය සහ නිර්මාණ අධ්‍යක්ෂණය ද අර්ජුනගෙනි. සුදත් විජේසේකර, සප්නා කරීම්, රශ්මි පුෂ්පිකා, මේරියන් එළිසබෙත්, නිමේශා සෙව්වන්දි, චාමි සේනානායක, සුරංජිත් ඩයස්, චන්න චානක, ඩික්සන් ජෙරාඩ්, සම්පත් දිනූෂ ඇතුළු පිරිසගේ රංගනයෙන් ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ හැඩගැන්වේ.

කේශාන් පෙරේරාගේ සංගීත අධ්‍යක්ෂණයකි. චන්ද්‍රදාස ප්‍රනාන්දු ගී පද රචනයෙන් එක් වී ඇත. අයෝමි පෙරේරාගේ ගැයුමින් ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ රස ගැන්වෙයි.

සජිත වීරප්පෙරුම (ෂැගී) මෙහි කැමරා අධ්‍යක්ෂවරයාය.

ජනක චමින්දගේ ‘අකඩවාරිය’ මේ දිනවල රූ ගැන්වේ

අංගම් සටන් ක්‍රමයත් දේශීය වෙදකමත් අලළා ජනක චමින්ද අත්තනායක පිටපත රචනා කොට කැමරාව මෙහෙයවමින් අධ්‍යක්ෂණය කරනු ලබන අකඩවාරිය ටෙලි සිතුවමේ රූගත කිරීම් කොළඹ සහ කුලියාපිටිය අවට මේ දිනවල සිදුවේ.

ආචාර්ය ජගත් විජේනායකගේ නිෂ්පාදනයක් වන මෙය ත්‍රාසජනක සටන් ජවනිකා අඩංගු ටෙලි සිතුවමකි.

ක්ලීටස් මෙන්ඩිස්, ජනක් ප්‍රේමලාල්, ජනක කුඹුකගේ, උද්ධික ප්‍රේමරත්න, තාරිකා වන්නිආරච්චි, වසන්ති රංවල, කුමාර කරුණානන්ද, චමින්ද වික්‍රමසිංහ, නුවංගි ලියනගේ, නිලන්ති විජේසිංහ, ශ්‍රීමාල් වෙඩිසිංහ, රිචඩ් අබේවර්ධන, අවන්ති අපොන්සු, සුරංගි රුවන්මලී, දයාසිරි හෙට්ටිආරච්චි, සංකේත් වික්‍රමගේ, අජිත් ශාන්ත, වතික රවිනාත්, මහේන්ද්‍ර වීරරත්න, නිල්මිණි බුවනෙක, කපිල සිගේරා, මල්කි සමරවීර, තමාලි නදීශා, අංජුලා ගමගේ, අංජුලා පෙරේරා, නිලන්ති ගුණවර්ධන, නදීශා ලක්මාලි, රවීන්ද්‍ර ප්‍රදීප්, චන්න පතිරණ අකඩවාරියහි නළු නිළි කණ්ඩායමයි.

සටන් අධ්‍යක්ෂණය අජන්ත මහන්තආරච්චිගෙනි. චමින්ද වික්‍රමසිංහ විධායක නිෂ්පාදකවරයාය.

මංගල කොඩිතුවක්කුගේ සහාය අධ්‍යක්ෂණයකි. මංජුල ගුණවර්ධන නිෂ්පාදන කළමනාකරුය. චාමින්ද ගුණතිලක අංග රචනයෙන් එක් වෙයි. චාමින්ද වාස්ගේ කලා අධ්‍යක්ෂණයකි.

අකඩවාරිය දිනේෂ් සුබසිංහගේ සංගීතයෙන් හැඩගැන්වේ.

ශ්‍රී ලංකා යූත් කෙටි සහ වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය අදින් අවසන්

ජාතික තරුණ සේවා සභාවේ නිස්කේ වීඩියෝ අංශය මගින් සංවිධානය කරන ලද බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර්හි පැවැත් වූ ශ්‍රී ලංකා යූත් කෙටි සහ වාර්තා චිත්‍රපට උළෙලේ අවසන් වටයට තෝරා ගත් නිර්මාණ ප්‍රදර්ශනය අදින් අවසන් වේ. මේ අවස්ථාව සඳහා යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහභාගී වේ. - ප්‍රසාද්

‘ස්ටාර් ෆෙ‍්‍රන්ඩ්’ තෑගි දිනා

‘ස්ටාර් ෆෙ‍්‍රන්ඩ්’ ඔබ අතර වඩාත් ජනප්‍රිය බව මේ වන විටත් අප දන්නවා. ස්ටාර් ෆෙ‍්‍රන්ඩ් කණ්ඩායම පසුගියදා එක්තැන් වුණේ ඔවුන් කැමැතිම තරුව සමඟ කතා කරන්න වගේම තෑගි දිනා ගන්නයි. මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ සාරංග දිසාසේකර, යුරේනි නොෂිකා, ශේෂාද්‍රි ප්‍රියසාද්, රොෂාන් රණවන, ඉරාජ් වීරරත්න ඇතුළු කලාකරුවන් රැසක් ස්ටාර් ෆෙ‍්‍රන්ඩ්ස්ලාට රන් කාසි පිරිනමන අයුරුයි.

ආනන්දයේ 82 කණ්ඩායමෙන් ‘බල්ලොත් එක්ක බෑ’ 30

ආදි ආනන්දීයන්ගේ 82 කණ්ඩායමේ සාමාජිකයන් බහුතරයකට එන වසරේ පනහ සපිරේ. ඒ සපිරුණු අඩ සියවසත් සමඟ ඔවුන් සැරිසරන්නේ තවත් සමාජ මෙහෙවරකට මුල පුරන්නයි. ඒ මුල පුරන්නට යන සමාජ මෙහෙවරට ආධාර පිණිස වේදිකා ගත වන්නේ රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යයයි.

විජය නන්දසිරි, කුමාර තිරිමාදුර, රොෂාන් පිලපිටිය, ගිහාන් ප්‍රනාන්දු, අනූෂා දිසානායක ගේ රංගනයෙන් හැඩවන ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යයේ වේදිකා පරිපාලනය අශෝක ද සොයිසා සමඟ ශාන්ත උදය කුමාරයි. වේදිකා පසුතල නිර්මාණයෙන් ලුවලින් වැන්ඩවෝෆ් ද, වේශ නිරුපණයෙන් අජන්ත ප්‍රසාද් ද, සංගීත නිර්මාණයෙන් ශාන්ත පීරිස් ද රංගාලෝකයෙන් උපාලි වීරසිංහ ද සහභාගි වේ.

කොළඹ 07 නව නගර ශාලාවේ වේදිකා ගතවන ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍ය නැරැඹීමට 30 වැනිදා පැමිණෙන්න යැයි 82 කණ්ඩායම ඔබට සාදරයෙන් ආරාධනා කරයි.

සිත්තරු ඇඳිරූ - 2

27 සිට 30 දක්වා ලයනල් වෙන්ට්ඩ් හී

ජාතික චිත්‍ර කතා පදනමේ ශිල්පීන් අසූ දෙනෙකුගේ චිත්‍ර ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනය ‘සිත්තරු ඇඳි රූ - 2’ මෙම මස 27, 28, 29 සහ 30 යන දිනයන්හි කොළඹ ලයනල් වෙන්ඩට් කලාගාරයෙදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ චිත්‍ර කතා ශිල්පීන්ගේ එකම එකමුතුව වන ජාතික චිත්‍ර කතා පදනම මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

මෙයට සමගාමීව ‘ටොක්ස් ඇන්ඩ් ජෝක්ස්’ නමින් මාසික කෙටි චිත්‍ර කතා සංග්‍රහයක් එළිදැක්වීමට ද කටයුතු සම්පාදනය කර තිිබේ.

විවිධ මාතෘකා යටතේ චිත්‍ර නිර්මාණ 200 කින් පමණ සමන්විත ‘සිත්තරු ඇඳි රූ - 2’ නැරැඹීම සඳහා මෙරට චිත්‍ර ලෝලීන්ට සංවිධායක කමිටුව විවෘත ආරාධනාවක් කරයි.

ඔබ නැතුව ඔබ එක්ක රුසියාවේ

ප්‍රසන්න විතානගේගේ නවතම සිනමා කෘතිය වන ඔබ නැතුව ඔබ එක්ක රුසියාවේ තිස් පස් වැනි මොස්කව් අන්තර් ජාතික සිනමා උළෙලේදී මේ දිනවල තිරගත වේ.

එහි මංගල දර්ශනය 20 වැනිදා පැවැත්වූ අතර 29 වැනිදා චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට නියමිතය.