වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝර්දානයේ රටවිරුවෝ

ජෝර්දානයේ රටවිරුවෝ

ඔබට සුපුරුදු ‘රටවිරුවෝ ටැලන්ට් ස්ටාර්’ වේදිකාව දැන් ඉදිවෙලා තියෙන්නේ ජොර්දානයේ. පසුගියදා ජෝර්දානයේදී ආරම්භ වූ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් හි මෙවර පැවැත්වෙන්නේ දෙවැනි වැඩසටහනයි.

වෙනත් ක්ෂේත්‍රයන්හි රැකියාවල නියුතු වූවන් තම කලා හැකියාවන් ලොවටම පෙන්වන්න ජෝර්දානයේ තවත් රටවිරුවන් හය දෙනෙක් සූදානම්. ඔවුන්ගේ ඒ කුසලතා ඉරිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ ඔබට දැක බලා ගන්න අවස්ථාව සැලසී අවසන්.

මෙවර රටවිරුවෝ වේදිකාවේ ආරම්භය සනිටුහන් කරන්නේ ගායන තරුවක්. ඇය ලයංකා දිනාදරි ෆොන්සේකා. පාසල් කාලයේ සිටම සංගීතයට වූ ලැදියාවෙන් ඒ පිළිබඳ හදාරා අද සිය හැකියාවන් රටවිරුවෝ වේදිකාවෙන් එළි දක්වන්නත් සූදානම්. මොරටුවේ පදිංචි ලයංකා දිනාදරී විදෙස් සේවයට එක් වී ඇත්තේ 2010 වසරේ සිටයි.

එච්. එම්. ගුණතිලක බණඩාර රටවිරුවෝ වේදිකාව ගීතවත් කිරීමට සූදානම්. පාසල් කාලයේ සිටම සංගීතයට වූ ලැදියාවෙන් විෂයක් ලෙස හදාරා පාසල් මට්ටමේ ගායනා තරග ජයග්‍රහණවලට හිමිකම් කියයි. සංගීත කණ්ඩායම් සමඟ ගායකයෙක් ලෙස ද තම දක්ෂතා පෙන්නුම් කර ඇති ගුණතිලක බණ්ඩාර විදෙස් සේවයට එක් වෙන්නේ මීට සිව් වසරකට ඉහතදීය.

ජොර්දානයේ සේවයේ නියුතු අවන්ති ලංකා රටවිරුවෝ වේදිකාවට එක්වෙන්නේ නර්තන අංශයෙන්. කුඩා කාලයේ සිටම නර්තනයට ඇති වූ ඇල්ම නිසාම පාසලේදී විෂයක් ලෙස ද නර්තනය හැදෑරූ ඇය අද රටවිරුවෝ වේදිකාවෙන් ඒ හැකියාව ලොවටම පෙන්වන්න සූදානම්. වේයන්ගොඩ පදිංචි අවන්ති ලංකා විදෙස් සේවයට එක් වෙන්නේ මේ වසර ආරම්භයේදීය.

දරළුව පදිංචි පවිත්‍රා මධුවන්තී හේරත් රටවිරුවෝ වේදිකාවට එක් වෙන්නේ ගායන තරුවක් ලෙසයි. පාසලේදී විෂයක් ලෙස සංගීතය හදාරා ඇති ඇය පාසල් මට්ටමේ ගායනා තරග ජයග්‍රහණ පවා දිනා ගන්නට සමත් වූ අයෙක්. පවිත්‍රා ජෝර්දානයේ සේවයට එක් වී ඇත්තේ 2010 වසරේ සිටයි.

ශසික නිර්මාල් රටවිරුවෝ වේදිකාව නර්තනයෙන් විචිත්‍රවත් කරන්න එක් වෙන තවත් රටවිරුවෙක්. විවිධ අවස්ථාවන්හිදී තම නර්තන හැකියාවන් එළිදක්වා ඇති ඔහු පාසල් කාලයේදී නර්තනය විෂයක් ලෙස හදාරා ඇති අයෙක්. ජෝර්දානයේ ඇඟලුම් ආයතනයක සේවයේ නිරත ශසික විදෙස් සේවයට එක්වෙන්නේ 2010 වසරේ සිටයි.

ධම්මික උදය කුමාර රටවිරුවෝ වේදිකාවට එක් වන්නේ ගායන තරුවක් ලෙසයි. පාසැල් කාලයේදීම ගීත ගායනයට යොමු වූ ඔහු හෙට පිපෙන මල්, නිම් තෙර, තුරුණු ශක්ති වැනි රූපවාහිනි සංගීත වැඩසටහන් ඔස්සේ ද සිය හැකියාවන් එළිදක්වා ඇති අතර තරුණ සේවා සභාවේ යෞවන සම්මාන ජාතික මට්ටමේ ජයග්‍රහණවලට ද හිමිකම් කියන්නේය. රත්නපුර පදිංචි ධම්මික උදය කුමාර ජෝර්දානයේ සේවයට එක්වන්නේ 2005 වසරේ සිටය.


භානු ප්‍රසන්න මියයයි

සම්මානනීය අංග රචනා ශිල්පියකු වන භානු ප්‍රසන්න අභාවප්‍රාප්ත විය. මිය යන විට හතළිස් දෙහැවිරිදි වියෙහි පසු වූ ඔහු කලක් ජාතික තරුණ සේවා සභාවේ උපදේශකවරයකු වශයෙන් ද ක්‍රියා කළේය. භානුගේ මේ හදිසි වියෝවට හේතුව හෘදයාබාධයකි.

යංග් ඒෂියා ආයතනයේ ප්‍රධන අංග රචනා ශිල්පියා ලෙස කටයුතු කළ ඔහු ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ගණනාවකට අංග රචනයෙන් දායකත්වය ලබා දුන්නේය.

භානුගේ අවසන් කටයුතු පසුගියදා කොට්ටාවේදී සිදු විය.

පී. වික්‍රමනායක මියයයි

සුප්‍රකට බට්ටී චිත්‍ර කතාව ඇඳී පී. වික්‍රමනායක අභාවප්‍රාප්ත විය. බට්ටී චිත්‍රපටය සහ ටෙලි නාට්‍ය නිර්මාණය කළේ ඒ ඇසුරෙනි. කොරටුවේගෙදර, චන්දිරා, වීර ත්‍රිසියස් ඔහු ඇඳි ජනප්‍රිය චිත්‍රකතා අතර වේ. ලේක්හවුසියෙන් තම වෘත්තීය ජීවිතය ඇරැඹි ඔහු පසුකාලීනව විජය ප්‍රකාශන ආයතනයට එක් විය.

ඔහුගේ අවසන් කටයුතු ඉකුත් දා බොරැල්ලේදී සිදු විය.