වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

තිරිමාදුරට සුබපැතුම්

නිමාව දුටු සඳා ටෙලි සිතුවමේ පණ්ඩුක දිද්දෙණිය නම් සුවිශේෂ වූ චරිතය නිරූපණය කළ කුමාර තිරිමාදුර රංගන ශිල්පියාට ප්‍රේක්ෂක අපේ උණුසුම් සුබපැතුම්.
 

එච්. ඉන්ද්‍රපාල

කිතුලහේන

ඔබේ රංගනය අප මතකයට නැඟේ

සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ගණනකට දායක වූ දක්ෂ නළුවකු හ ගායකයකු වූ ෆෙ‍්‍රඩී සිල්වා මිය ගොස් වසර ගණනාවක් ගත වුණත් රඟපෑ චිත්‍රපට නැවත දකින්නට ලැබෙන විට ඔහුගේ රංගන ප්‍රතිභාව පිළිබඳ අප මතකයට නැඟේ.

විකට චරිතයන්ට සීමා කර තිබූ ඔහු දක්ෂ ගායන ශිල්පියකු ද විය. ප්‍රසංග වේදිකාවට ද සුදුසු ශිල්පියකු වූ ඔහු ගායනයේදී යොදා ගත් ගීත වැඩි ප්‍රමාණයක් අරුත්බර විය.
 

ප්‍රභාත් රාජපක්ෂ

නාවලපිටිය
 

ටෝනි ඔබ සැමදා ඇගයිය යුතුයි

යුගයක් එකලු කළ ටෝනි රණසිංහ නිහතමානී සුන්දර කඩවසම් කලාකරුවාගේ දස්කම් විස්කම් නිතර අගැයීමට ලක් විය යුතුය.
 

අයලීන් සෝවිස්

රාගම

මම කැමැතිම ගී අප සිත සනසයි

සඳුදා සිට සිකුරාදා දක්වා දිනපතා රාත්‍රී 10 ට හෝරාවක් පුරාවට සියත එෆ්. එම්. හි ප්‍රචාරය වන රෑ 10 ට මම කැමැතිම ගී 10 ය නම් වූ සංගීතමය විචිත්‍රාංගය රාත්‍රී නින්දට පෙර නිවී සැනසිල්ලේ සවන් යොමා සිටිය හැකි හරවත් ගුවන් විදුලි රසාංගයකි. සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වන පරිදි විවිධ වූ පුද්ගලයින්ව සහභාගි කරවාගෙන ගීත හා බැඳුණු අතීත ජීවන අත්දැකීම් අසන්නන් සමඟ බෙදා ගනිමින් ඔවුනට වැඩ සටහන මෙහෙයවීමට ඉඩහසර ලබාදෙන සුන්දරම ගුවන් විදුලි හෝරාවකි. උදේ සිට හවස් වන තෙක් ඒකාකාරී වැඩසටහන් බලෙන් ශ්‍රවණය කර හෙම්බත්ව සිටින අපගේ මනසට එය දිව්‍ය ඔසුවක් වැනිය.


ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

බටහිර අධිකාරිමුල්ල

දූනගහ

හිරුට තුති

හිරු රූපවාහිනී නාලිකාවේ උත්තරීතර වැඩසටහන මඟින් ආනන්ද ජයරත්න රංගධරයාගේ මතකය නැවත ආවර්ජනය කිරීම පිළිබඳ මාගේ ස්තුතිය.
 

රෝහිත හේවාපන්න

රාගම

උපහාරයකි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් නිකුත් කරන ලද සිසිර ඉන්ද්‍රාණිගේ සුමියුරු ගීත ඇතුළත් කැසට් පටයේ දැන්වීම නිතර ප්‍රචාරය කිරීම අසනීප තත්ත්වයෙන් පසුවන එතුමාට ගුවන් විදුලියෙන් කරන උපහාරයකි.
 

චිත්‍රා ජානකී විජේසේකර

නුගේගොඩ

තිසල් අපට ගෞරවයකි

මෙවර සාක් සිනමා උළෙලේ හොඳම නළුවා ලෙස තිසල් තුල්නෙත් මොරගොඩ පුංචි පුතා තේරී පත්වීම අප රටට ඉමහත් ගෞරවයකි.
 

දමයන්ති මාපුටුන

ගලහිටියාව

රවිහාන්ස් වැටකෙපොතට,

ඒ ලෙවල් ඉවරයි නාට්‍යය තරුණ පරපුරේ කතාවක්. ඔවුන්ගේ හද ගැහෙනා රිද්මය ඌරුවම් බෑමයි. එය ඔබ මනාව එහි සංගීතයට මුසු කර ඇත. මට නම් සංගීතය පිළිබඳ අවබෝධයක් නැහැ. ඒත් ඒ නාට්‍යයේ සංගීතය නම් හරිම අපුරුයි.
 

සුමනා ධර්මවර්ධන

කටුවාමුල්ල

කඩවත

ටී. එන්. එල්. අගයමු

ටී. එන්. එල්. ආයතනය බෞද්ධාගමික වැඩසටහන්වලට මුල් තැනදීම අගය කරමු. එහි ප්‍රචාරය වන ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා සංවාද, සිත් පහන් කරයි. නොමග ගිය අය සුමගට යොමු කිරීමට එයින් ලැබෙන අනුබලය ප්‍රශංසනීයයි.
 

සුජාතා ගුණවර්ධන

කඩවත

ඩිජිටල් හඬ අපට ඇකැපද

වයඹ පළාතේ වාරියපොළ, වෙන්නප්පුව, දංකොටුව, කොස්වාඩිය, කුලියාපිටිය, මැල්සිරිපුර යන නගරවල සිනමාශාලා ඩිජිටල් ශබ්ද පද්ධතිවලින් සහ වෙනත් ක්‍රමවලින් නවීකරණය වෙද්දී වයඹ පළාතේ අග නගරය වූ කුරුණෑගල සිනමා ශාලා හතරක් නවීකරණය නොකිරීම කනගාටුවකි.
 

එච්. ඒ. ජයසේන

රනාල

දුලීකා මාරපනට

ප්‍රතිභා ප්‍රභා රැඳි ඔබේ සොබාවට
දෙනයන සැනසුනා මනදොල පුරා සිට
ඔය රැගුමට සම වූ කෙනෙකුන් කලාවට
වත්මන බිහිව නැත පවසමි අගේ කොට

කුමරිය මාරපන පරපුරේ නම දිනුව
ඔය සම්මාන ගැන සෑහේවිද ලැබුව
සිතුවොත් විචාරක බුද්ධිය හද ඇතිව
ටෙලි නිළි රැජන ඔබ විය යුතු දැය පැතුව

නිසර වූ කලාකෙත සරු කෙම් බිමක් කර
රමණීය රැගුම් පා අප හද ඔකඳ කර
පොඩි තිරයට ඇවිත් ඝනඳුර හැර
ඔබ හිනැහෙන්න හිරු ලෙස තරු අඹර
 

රංජනී පීරිස්

අඟුලාන

මේ කෙටි පණිවුඩ ප්‍රතිචාර තීරයයි

ගුවන් විදුලියෙන් ගීත ප්‍රචාරය වන විට නිවේදක නිවේදිකාවන් මැද්දට පැන කතා කිරීම හරිම අප්‍රසන්නයි.
 

ෆාතිමා

වැලිගම

හරයක් නැති විකාර ගීතවලට මියුසික් වීඩියෝ කරලා ගායකයන් වෙන්න හදන හැමෝම ගායකයෝ නෙවෙයි. ඔහේ වචන කිව්වට ඒවා ගීතත් නෙවෙයි.

ලංකාවෙ ඉන්නේ බුද්ධිමත් රසිකයෝ කියලා ඔය සිංදු කියන අය දැනගත්තොත් හොඳයි.
 

පැතුම් මධුරංග

ඌරගස්මංහන්දිය

විශ්ව කොඩිකාර නළුවකු ද පමණක් නොව ගීත ගායනයට හැකියාවක් ඇත්තෙකු ද බව අපි දනිමු. එහෙයින් අප ඔබෙන් බලාපොරොත්තු වන්නේ අලුත් ගීතයකි.
 

චලනි

අවිස්සාවේල්ල

සිහින සිත්තරාවි ටෙලි නාට්‍යයේ මොරීන් චාරුණිගේ රඟපෑම් ඉතාමත් ඉහළයි.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

හිරු ටී. වී. ආටක නාටක වැඩසටහන දිගටම පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටිමි.
 

හසිදු

බෙන්තර

සිංහල සිනමාව නැවත නගා සිටුවීමට දෙමෝදර පාලම, ඔට්ටුයි බැරුවට, සූරවීර චණ්ඩියෝ වැනි චිත්‍රපට අවශ්‍යයි. අධ්‍යක්ෂවරුනි එවැනි චිත්‍රපට නිර්මාණය කරන්න.
 

අතුල කුමාරසිරි

කැරන්වත්ත

ආදරණීය වස්සානය, උත්පලවණ්ණා, එකමත් එක රටක, මවුස් වැනි සිනමාපට තුළින් සිනමා අම්බරයේ පායා දිදුලන සුපිරි තරුව, රොෂාන් රවීන්ද්‍ර සිංහල සිනමාවේ ප්‍රධාන නළුවාගේ අඩුව පුරවාලන්නට සිටින දක්ෂතම හොඳම රංගන ශිල්පියා ඔබයි.
 

බුද්ධික ඒකනායක

උඳුගොඩ

තම දරුවන් සමඟ ගෙවීමට කාලයක් සොයා ගැනීමට දුෂ්කර මේ රටේ සමහර කාන්තාවන්ට ටී. වී. චැනල්වල පෙන්වන එක් එක් නාට්‍ය බලන්න නම් කාලය වෙන් කර ගැනීමට හරි පහසුයි.

ටී. වී. චැනල්වල පෙන්වන නාට්‍ය බලන්න ඇබ්බැහි වී සිටින අයට ඒවාහි කොටසක් නොබැලුවොත් කෑවෙත් නෑ වගේ අඩුවක්. ඒවා හරියට තමන්ගේ ජීවිතයේ කොටසක් වගේ. නාට්‍යවලට වහල් නොවී කාලය ගත කරනවා නම් කොච්චර හොඳද?
 

ඈන් නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

රුක්මණී දේවිය නැති අඩුව අපට තදින් දැනෙයි.
 

චාමර

බදුල්ල

ගීත ලොවම මවිත කළ ගායකයකු වන ආදරණීය ගායක ජෝතිපාලයන්ගේ හැඟීම්බර සුන්දර ගීත නවකයන් විසින් බටහිර සංගීතය මුසු කර විනාශ කරනවාට අපි නම් දශමයක්වත් කැමැති නැහැ.
 

ආර්. එෆ්. එම්. සුහෙල්

නුවරඑළිය

අනූව දශකයේ හින්දි සිනමාපට ගොඩක් ලස්සනයි. ඒවා ටී. වී. එකෙන් දකින්න ආසයි.
 

ඉන්දික මුණසිංහ

කෙහෙල්ඇල්ල

බලංගම

ඕල්රයිට් සංගීත කණ්ඩායමේ තුසාර සුබසිංහ,
ඔබ නිසයි ඕල්රයිට් ඉන්න ප්‍රසංගයම ලස්සන.
 

එස්. ලියනගේ

කොටපොළ

සිර පැරකුම් හි රඟන පුමුදිත උදය කුමාර චූටි පුතාගේ රංගනය ඇත්තටම විශිෂ්ටයි. පුතා ඔයාට සුබ අනාගතයකට සුබපැතුම්.
 

රන්දිමා පීරිස්

පානදුර

අද ප්‍රසංග වේදිකාවේ බොහෝ ගායක ගායිකාවන්ගේ ගැයුම් වෙනුවෙන් නර්තනයක් ඉදිරිපත් කරනු දැකිය හැකිය. නමුත් ඉන් ඇතැම් අංග ප්‍රිය දසුන් නොවේ. අඩ නිරුවතින් ඇතැමෙක් නර්තන අංග ඉදිරිපත් කරයි.
එය ඉතාම අප්‍රසන්නය.

නර්තන ශිල්පිණියන් මීට වඩා ලැජ්ජා බය නැති කර ගත්තා නම් මෙවැනිනක් සිදු නොවනු ඇත.
 

ඩබලිව්. දමයන්ති කුමාරි

හොරණ

කලාව සහ කලාකරුවන් වෙනුවෙන් ලියැවුණු අරුත්බර සටහන් කිහිපයක් ප්‍රතිචාර තීරයේ අදත් මෙලෙස දිග හැරෙයි. ඒවා අතර සමහර සිතැඟි විවේචනය, සුබ පැතුම් ද නැතිවා නොවෙයි. කෙසේ නමුත් ඔබට සිතට නැඟෙන සොඳුරු අදහස 0752805047 යන අංකයට ක්ෂණිකව එවිය හැකිය.

ප්‍රතිචාර, සරසවිය,

ලේක්හවුස්, කොළඹ 10

මේ ලිපිනය ඔබේ තැපැල්පත් වෙනුවෙනි.