වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




වයස හැට හයයි තවම තරුණයි

වයස හැට හයයි තවම තරුණයි

කෝපි කඩේ පියුම් මහත්තයා හමුවෙමු

කෝපි කඩේ පියුම් මහත්තයා කිව්වම කවුද නොදන්නේ. සැබවින්ම ඒ චරිතය තමයි ඔහුව හඳුනා ගැනීමේ අනන්‍යතා ලකුණ.

එඩී අමරසිංහ.

කෝපි කඩේ ඒ අව්‍යාජ ගැමියා ඔහුය.

කාලෙකට පසුව ටිකක් කතා කරමු ඔහුත් එක්ක.

කොහොමද ජීවිතේ. මොනවද මේ දවස්වල කරන්නේ?

සුපුරුදු රාජකාරිම තමයි. රඟපානවා. ‘සරසවි වරම්’ කියලා වේදිකා නාට්‍යයක් කරනවා. පුද්ගලික ජීවිතේ ගැන කිව්වොත් නියම කාලවලදී කසාද බැන්දා, දරුවො හැදුවා. මුදල් හෙව්වා. දැන් මම සීයා කෙනෙක්. හරිම සතුටුයි ජීවිතේ හැරිලා බලද්දී.

දැන් වයස කීයද?

අවුරුදු හැට හයයි. ඒත් තවම කොල්ලා වගේ මං ඉන්නවා.

ඔබ මොන අවුරුද්දෙ විතරද රඟපාන්න එන්නෙ?

1969 දියි රංගනය පටන් ගත්තෙ.ඒ දිනුම් කණුව චිත්‍රපටයෙන්. ඉන් පසු මරුවා සමඟ වාසේ, කෝලං කාරයෝ, චණ්ඩි ශ්‍යාමා, ඇතුළු චිත්‍රපට ගණනාවකත් දිමුතුමුතු, මැණික් නදිය ගලා බසී, කන්දෙ ගෙදර, බෝගල සවුන්දිරිස් වැනි නාට්‍යවලත් රඟපෑවා.

ඔබේ ජීවිතයේ කඩඉමක් වූ පියුං මහත්තයා ගාවටයි මං ඊළඟට එන්නේ?

මට ඒ චරිතය ලැබුණේ කේ. ඩී. සිරිපාල එහෙමත් නැතිනම් අපේ ඩිංගි මහත්තයා හරහා. එදා ඉඳලා අද වෙනකම්ම මං කෝපි කඩේ පියුම් මහත්තයා.

ඔබව වැඩිපුරම දක්නට ලැබුණේ පොලිස් නැතිනම් හාමුදුරු චරිතවලින්. ඇයි ඒ?

ඒ මගේ ස්වරූපය හින්දා වෙන්න ඇති. පොලිස් චරිත කරගෙන ඇවිල්ලා තට්ටේ ගෑවා විතරයි මට දිගටම හාමුදුරු චරිත ලැබෙන්න පටන් ගත්තා. පස්සේ එවන් වූ චරිත බාර ගත්තේ නැහැ.

ඔබ වෘත්තියෙන් කලාකරුවකු වුණේ නැහැ නේද?

ලංකාව වගේ රටක කලාවෙන් ජීවත් වෙන්න අමාරුයි. ඒක මං අත්දැක්කා. ඉතින් මං නුගේගොඩ පළතුරු කඩයක් පටන් ගත්තා. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග ඉස්සර නුගේගොඩට ආවොත් මගෙ කඩයට ගොඩ නොවී යන්නේ නැහැ.

ඔබේ කලා ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් තියෙනවා නේද බෝගල සවුන්දිරිස් නාට්‍ය කරද්දී?

අපිට මිනිරන් පතලකට යන්න සිද්ධ වුණා. හරියටම අඩි 1200 ක් විතර යට. ඒ ගමන මට හීනයක් වගේ. හරිම චමත්කාර ජනකයි. එවෙලෙ මට හිතුණා කලාකරුවකු වීම කොතරම් වාසනාවන්ත ද කියලා. සාමාන්‍ය මිනිස්සුන්ට යන්නට නොහැකි විවිධාකාර තැන්වලට යන්න ලැබෙනවනේ.

ඔබේ දුව චාරුනී ඉස්සර ජනපි‍්‍රය නිළියක්. අද කෝ එයා?

දුව බැන්දට පස්සෙ රංගනයෙන් ඈත් වූණා. දැන් එයා අම්මා කෙනෙක්. මං හිතන්නෙ නැහැ ආයෙත් දුව රඟපාන්න ඒවි කියලා.

මේ එඩී ගේ ලිපිනයයි.
මල්වත්ත, තලවත්තේ ගෙදර
පොල්ගහවෙල.