වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




නිළි රැජන මාලිනියගෙන් උරුම වූ ෆොන්සේකා පරපුරේ වත්මන් රංග ප්‍රතිභව

නිළි රැජන මාලිනියගෙන් උරුම වූ ෆොන්සේකා පරපුරේ වත්මන් රංග ප්‍රතිභව

- සෙනාලි
නංගිගේ හැකියාව ගැන ගොඩක් සතුටුයි
- සමනලී

සමනලී
අක්කි ගැන මට ආඩම්බරයි
- සෙනාලි

සමනලී ෆොන්සේකා - සෙනාලි ෆොන්සේකා. නම කියූ පමණිින් ඔබට හඳුනා ගන්න අපහසු නැති දෙන්නෙක්. ෆොන්සේකා පරපුර නියෝජනය කරමින් කලා ලොවට පිවිසි සමනලී තම හැකියාවෙන් කෙටි කලකදී සාර්ථක ලෙස අනන්‍යතාවක් ගොඩ නගා ගත් රංගන ශිල්පිනියක්. සෙනාලි ෆොන්සේකා එම පරපුරේ දිදුලන අලුත්ම තාරකාවයි. මේ දිනවල තිරගත වන සිරිපැරකුම් චිත්‍රපටයේ සිරිමල් එතනාගේ චරිතයට පණ පොවමින් සිනමාවේ මුලකුරු කී ඇය අද වන විට කාගේත් කතාබහට ලක්ව සිටින්නීය. රසික හදවත් තුළ අතිශය ජනප්‍රියත්වයට පත් සමනලී හා සෙනාලි සරසවිය හමු වූ මොහොතකි මේ.

දෙදෙනාම හමු වුණ පුංචි කාලේ සුන්දර මතකයකින් මේ කතාබහ අරඹමු?

සෙනාලි - ‘මතකද අක්කී අපි ඒ කාලේ දඟ වැඩ ගොඩක් කලා.’ අපි හැමෝම එකතු වුණාම සෙල්ලම් කරනවා. වයස අනුව අපි කණ්ඩායම් දෙකක හිටියේ. මම පොඩි කට්ට්යගේ කණ්ඩායමේ. සමනලී අක්කි හිටියේ ලොකු කට්ටියගේ කණ්ඩායමේ. ලොකු කට්ටියගේ කණ්ඩායමට අපිව ගන්නේ නෑ ඒ කාලේ.

සමනලී - ඔව්. මෙයාලා එතකොට කියනවා ‘අනේ අක්කී ඔයාලා එක්ක සෙල්ලම් කරන්න අපිවත් ගන්නකෝ කියලා. ඒ කාලේ නිතරම සෙනාලි අපේ ගෙදර එනවා. එතකොට මම එයාව බලාගන්නවා. දැන් ඒ කාලේ වගේ නිතරම හමු නොවුණත් මම එයා දිහා බලාගෙන ඉන්නේ.

මං කැමැතියි දෙන්නගේ නෑදෑකමත් දැනගන්න?

සමනලී - මෙයා මගේ තාත්තාගේ මල්ලිගේ දුව.

ඔබලා ලංකාවේ කලා ක්ෂේත්‍රතයේ සුවිසල් රුක් ගොමුවක සෙවන ලබන චරිත දෙකක්. මාලිනී, දමයන්ති නැන්දලා වගේ. මනෝලි, රුවනි, තරිඳී වැනි ඥාති සහෝදරියනුත් කලාවට සම්බන්ධයි. මෙය ඔබට දැනුණේ මොන ආකරයෙන්ද?

සමනලී - මට රංගන ශිල්පිනියක් වෙන්න ආසාවක් ඇති වුණෙත් මාව රංගනයට යොමු කළෙත් මගේ ලොකු නැන්දා මාලිනී ෆොන්සේකා. එදා ඉඳලා අද දක්වාම මම රංගනයෙන් දායක වුණ හැම චරිතයක් ගැනම ලොකු නැන්දා එක්ක කතා කළා. එයා තමයි මට උපදෙස් දුන්නේ. එයාගේ උපදෙස් හරියටම හරි. ඒ නිසයි අද මම මේ තත්ත්වයේ ඉන්නේ. අනිත් හැමෝමගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ ගැන හරිම සතුටුයි.

සෙනාලි - සමනලී අක්කිට වගේම සිනමාවට එන්න මටත් ආසාව ඇති වුණේ ලොකු නැන්දා නිසයි. සිරි පැරකුම් චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලැබුණාමත් මුලින්ම කිවේ ලොකු නැන්දට. රූගත කිරිම්වලට පෙර ඇය මට ගොඩක් උපදෙස් දුන්නා. ලොකු නැන්දා නිතරම කිව්වේ අඩුවෙන් කතා කරන්න, වැඩියෙන් වැඩ කරන්න කියලයි. ඒ වගේමයි දමයන්ති නැන්දත් මම සමඟ සිරි පැරකුම් චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණා. එයත් මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම තමයි අපේ ඥාති සහෝදරියනුත්. ඒ හැම දෙනාම මට ලොකු ශක්තියක්. අපේ පවුලෙන්ම රංගනය ගැන ඉගෙන ගන්න ලැබීම සතුටක් වගේම වාසනාවක්.

සමනලී ඔබගේ රංගන ජීවිතය දෙස බැලුවාම ඔබ බොහොමයක් තැන්හිදී නිරූපණය කරන්නේ බටහිර පන්නයේ රැඩිකල් චරිත. සෙනාලි, බොහෝ කලක් විදෙස් රටක ජීවත් වූ ඔබ සිනමාවට පය තැබුවේ ගැමි චරිතයකට පණ පොවමින්. මේ ගැන ඔබේ අදහස දැනගන්න කැමැතියි?

සෙනාලි - ඒක තමයි රංගනය. රංගන ශිල්පිනියක් කියන්නේ බටහිර පන්නයේ හෝ ගැමි හෝ ඕනෑම ආකාරයක චරිතයක් නිරූපණය කළ හැකි කෙනෙකුට. මමත් කැමැතියි විවිධ චරිත නිරූපණයට. මටත් බටහිර පන්නයේ චරිතයක් නිරූපණය කරන්න අවස්ථාවක් ලැබුණොත් එය සතුටින් භාරගෙන සාර්ථකව ඉදිරිපත් කරනවා.

සමනලී - මම ගැමි චරිත බටහිර පන්නයේ චරිත කියලා බෙදා වෙන් කරන්න කැමැති නැහැ. මේ දක්වා මට ලැබුණේ තරමක් බටහිර පන්නයට ලැදි චරිත. නමුත් හොඳට ලියවුණ ඕනෑම චරිතයක් සාර්ථකව නිරූපණය කරන්න පුළුවන් වෙනවා.

ඔබ දෙදෙනාටම එකම චිත්‍රපටයේ රංගනයට ආරාධනාවක් ලැබුණොත්?

සමනලී - මං කැමැතියි. චරිතය හොඳීන් ලියලා තියෙනවා නම් චිත්‍රපටය හොඳ නම් ඒ ආරාධනාව අනිවාර්යයෙන්ම පිළිගන්නවා.

සෙනාලි - සතුටින් භාර ගන්නවා. සමනලී අක්කි එක්ක අක්කයි නංගියි වගේ රඟපාන්න ආසයි. ඒක මට ලොකු දෙයක්. එතකොට අක්කි රඟපානවා මට ඇස් ඉදිරිපිටදීම බලන්නත් පුළුවන්. එයින් මගේ රංගන ජීවිතයට ඉගෙන ගන්න බොහෝ දේ ලැබේවි.

සෙනාලිගේ රංගනය ගැන සමනලීට මොකද හිතෙන්නේ?

සෙනාලිගේ පළමු රංගනය ලෙස සිරි පැරකුම්හි සිරිමල් එතනාගේ චරිතයෙන් මම ලොකු දෙයක් බලාපෙරොත්තු වුණේ නැහැ. එයා වැඩි කාලයක් ජීවත් වුණේ එංගලන්තයේ. එයාගේ රංගන හැකියාව ගැන ගොඩක් සතුටුයි. චිත්‍රපටය බලන්න ගියාම පෙනුණා ඇය කෙතරම් සාර්ථකව එය ඉදිරිපත් කරලා තියෙනවාද කියලා. දෙබස් හැසිරවීම, හැඟීම්, මුහුණේ ඉරියව් වැනි මේ හැම දෙයක්ම හරිම ලස්සනට ඇය හසුරුවා තිබුණා. රංගන ශිල්පිනියකට අවශ්‍ය මූලික දේ නංගි ළඟ තියෙනවා. රංගන ක්ෂේත්‍රයේ ඇය සාර්ථක ගමනක යෙදෙයි කියලා මම විශ්වාස කරනවා. එයා ගැන මට හරිම සතුටුයි.

ඒ වගේම සමනලීගේ රංගනය ගැන සෙනාලිගෙ අදහසුත් කියමු?

අක්කිගෙ රංගන ජීවිතය දිහා බලද්දී මට ගොඩක් සතුටුයි. රසික ප්‍රසාදය දිනාගත් සාර්ථක රංගන ශිල්පිනියක ලෙස සමනලී, ෆොන්සේකාගේ පවුලේ කෙනෙක් විදියට මගේ අක්කි ගැන මට ආඩම්බරයි. ඇයගෙනුත් මට ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. ඒක මට ගොඩක් වටිනවා. සමනලී අක්කි මගේ අක්කා කෙනෙක් වගේ. ඇය රංගන ක්ෂේත්‍රයේ සිටීම නංගි විදියට මට ලොකු ශක්තියක්.

මාලිනී ෆොන්සේකා කියන්නේ හෙළ සිනමාවේ නිළි රැජන. ඇය ඔබගේ ආදරණීය නැන්දා. ඒ ගැන මොකද හිතනේනේ?

සමනලී - අද මට කලා ක්ෂේත්‍රයේ මේ තරම් දුරක් පැමිණෙන්න ආදර්ශය වුණේ නැන්දා තමයි. ඇය ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු ආඩම්බරයක්. ඇයගේ උපදෙස් මගේ රංගන ජීවිතය සාර්ථක කළා. ඒ වගේමයි ඇගේ රංගනය තුළින් මම ගොඩක දේ ඉගෙන ගත්තා.

සෙනාලි - පුංචි කාලේ නැන්දා රඟපාන චිත්‍රපටවල විවිධ චරිත අතරත් මම ඇය දැක්කේ මගේ ලොකු නැන්දා විදියටමයි. තේරෙන වයසට ආවාම තමයි මට දැනුණේ මගේ ලොකු නැන්දා මාලිනී ෆොන්සේකා රටටම වටිනා වස්තුවක් කියලා. ඇය මට ගුරුවරියක්. ඇගේ අඩි පාරේ යන්න මම කැමැතියි.

මේ දවස්වල ඔබ දෙපොලගේ අලුත්ම විස්තරත් දැනගන්න කැමැතියි?

සෙනාලි - මේ දවස්වල තිරගත කෙරෙන සිරි පැරකුම් චිත්‍රපටයේ එම කටයුතුවලට දායක වෙලා ඉන්නවා. ඒ හැරුණාම රංගනයට තවත් ආරාධනා කිහිපක්ම ලැබිලා තියෙනවා.

සමනලී - මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටයේත් වින්දන හා කල්පගේ හැපි බර්ත්ඩේ චිත්‍රපටයේ රූගත කරීම් අවසන් කළා. මේ දිනවල එහි හඬ කැවීම් සඳහා තමයි කාලය වෙන් කරලා තියෙන්නේ. ඊට අමතරව ශමීර රංගනගේ මෝටර් බයිසිකල් චිත්‍රපටයේ හා බූඩිගේ අලුත් චිත්‍රපටය නිම්නයක හුදකලාව චිත්‍රපටයට දායකත්වය ලබා දෙනවා. ඒ වගේම ඒ ලෙවල් ඉවරයි ටෙලි නාට්‍යයටත් දායක වෙලා ඉන්නවා.

ඉදිරිය සැළසුම් කරලා තියෙන්නේ කොහොමද?

සමනලී - පසුගිය කාලයේ මමයි මහත්තයයි දෙන්නම ලංකාවේ හිටියේ නැහැ. දැන් අපි දෙන්නම රංගන කටයුතුවල නිරත වෙනවා. ඊට අමතරව අපි ළඟදී නුගේගොඩ  ‘BreadWay’ නමින් ව්‍යාපාරයක් ආරම්භ කළා. එය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යන්න තමයි කටයුතු කරන්නේ. ඒ හැරුණාම අපි දෙන්නා හරිම සතුටින් ජීවත් වෙනවා.

සෙනාලි - උසස් අධ්‍යාපන කටයුතු සඳහා නැවතත් එංගලන්තයට යන්න බලාපොරොත්තු වෙනවා. එහිදී ලබන අවුරුද්දේ සිට ජීව වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න තීරණය කරලා තියෙන්නේ. ඒ අතරේ ලංකාවට ඇවිත් හොඳ නිර්මාණ සඳහා දායක වෙන්නත් බලාපොරොත්තු වෙනවා.