වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




එදා මා ගැන ලියපු ලිපි සේරම අදත් මා ළඟ

එදා මා ගැන ලියපු ලිපි සේරම අදත් මා ළඟ

සරසවිය මුල්ම ජනප්‍රිය නිළිය ජීවරාණි කුරුකුලසූරිය

ඒ තරු පිරි අහසකි. රාජගිරියේ රෝයල් පාක්හි පහළොස්වැනි තට්ටුවට ගොඩ නැඟුණු විට තරු ඇත්තේ අත පොවන මානයේය. කෙතරම් තරු පායා තිබුණ ද මේ තරුවේ දීප්තියට සියලු තරුවල දීප්තිය පරදී.

ජනප්‍රිය නිළිය ලෙසින් පළමු සරසවිය සම්මානය දිනා ගැනීම ඊට ඇති හොඳම සාක්ෂියයි. 1965 ප්‍රථම ජනප්‍රිය නිළිය ලෙසින් සරසවිය සම්මාන දිනාගත් ජීවරාණි කුරුකුලසූරිය 1966 දීත් රසිකයන්ගේ වඩාත් හද දිනූ තාරකාව වූවාය.

1964 දී පළමු සරසවිය සම්මාන උළෙලේදී ජනප්‍රියම තරු නම් කෙරුණා නම් එහි ද හිමිකාරිය වනු ඇත්තේ ජීවරාණිය. එහෙත් සම්මාන නොලැබුණ ද පළමු සරසවිය සම්මාන උළෙලට සහභාගිවීමට ලැබීම අපේ ජ්‍යෙෂ්ඨ නිළිියට තවමත් අභිමානවත්, සොඳුරු මතකයකි.

‘එදා මං ඇන්දේ පුංචි රතුමල් අල්ලපු සුදු පාට සාරියක්. ප්‍රවීණ නිළියන්, යොවුන් නිළියන් සියල්ලෝම ලේක්හවුසිය ළඟින් තාරකා යානයට ගොඩ වැදුණා.

තුරඟ තරග පිටිය, අසෝකා සිනමා ශාලාව කරා යානය ගියේ ඇවිදිනවා වාගේ සෙමින්. යානාවේ පිච්ච මල් සුවඳින් මුළු පරිසරයම මිහිරි වුණා.

මට හැඟුණේ දිව්‍ය රථයකින් දෙව්ලොව පාවෙනවා වගෙයි.

රසිකයන්ගෙන් කෙළවරක් නැතිව ඇල්බම් දිගු වුණා. අත්සන් කරලම දෑත් රිදුණා. සමහරු අත වනනවා. තවත් අය හිනාවෙනවා. මේ හැමෝටම සුහද ප්‍රතිචාර දැක්වූවා.

පළමු සරසවිය සිනමා උළෙලේ චිත්‍රපට උළෙලේ පළමුවෙන්ම පෙන්නුවේ රන්මුතු දූවයි. එයත් මගේ නොමියෙන මතකයක්. පාඨක ඡන්දයෙන් ජනප්‍රිය නිළිය තේරුවා.

අපේ ගෙදර පත්තරේ කූපනයවත් පුරවා අරින්නේ නැතිව මා ජනප්‍රිය නිළිය වුණා. පළමු ජනප්‍රිය නිළිය ලෙස 1966 දී සම්මානය ලබා ගත් දිනය ජීවිතයේ සතුට උතුරා ගිය දවසක්.

එදා මං වේදිකාවට ඇවිත් ගී ගැයුවා. උඩරට නැටුමක් නැටුවා. ඒ වේදිකාවේදීම ජනප්‍රිය නිළිය ලෙසින් සම්මාන ද ලබා ගත්තා. ගායිකාවක්, නර්තන ශිල්පිනියක්, නිළියක්, භූමිකා තුනක්ම එකම දිනයක එකම වේදිකාවේ.

ජීවිතයේ මේ දුර්ලබ අත්දැකීම කවදාවත් අමතක වෙන්නේ නැහැ. එය ඕනෑම තාරකාවක ලබන දුලබ අත්දැකීමක්. එවර උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ භාරතයේ සුපිරි තාරකාවක වූ නූටාන්. එයත් සොඳුරු මතකයක්.

* සම්මාන උළෙලක් බොහෝ විට මතභේදාත්මකයි. කෙනකුට සතුටක් ගෙන එද්දී, තවත් අයකුª වේදනාවට පත් කරනවා. ඔබට ඇත්තේ සතුටු මතකයක් පමණ ද?

ලංකාවේ සිටින සෑම අවස්ථාවකම සරසවිය සම්මාන උළෙලට සහභාගි වී තිබෙනවා. මට නොලැබුණත් අනෙක් අයට සම්මාන ලැබෙද්දී හදවතින්ම සතුටු වෙනවා. ජනප්‍රිය නිළිය ලෙසින් දෙවරක් හා සිනමාවට කළ සේවය වෙනුවෙන් යාවජීව සම්මාන ලැබීම නිසා සම්මාන මගේ ජීවිතයට නුහුරු නැහැ. ඒත් හිතේ පුංචි දුකක් නැහැයි කිව්වොත් වැරැදියි.

‘සෙනෙහස’ සිනමාපටයේ රංගනයට මා හොඳම නිළිය වේවියි කියා මුළු ප්‍රේක්ෂකාගාරයම බලාපොරොත්තුවෙන් සිටියා. අධ්‍යක්ෂ හර්බට් එම්. සෙනෙවිරත්නත් මට සම්මාන ලැබේවියි කියා ලොකු බලාපොරොත්තුවකින් සිටියා. ඔහු හොඳම නළුවා වුණු පසු අනෙක් අයගෙන් මට සම්මානය නොලැබුණේ ඇයි කියා විමසා තිබෙනවා. කොහොම වුණත් ‘සෙනෙහස’ රංගනයට ජූරියේ විශේෂ සම්මානයක් නම් පිරිනැමුණා. ‘සසරක හැටි’ සිනමාපටයටත් කුසලතා සම්මාන ලැබුණා.

ලැබුණු සරසවිය සම්මානවලින් මා ළඟ අද ඉතිරි වී තිබෙන්නේ සම්මාන දෙකක් පමණයි. ජනප්‍රිය සම්මාන දෙකම හා රඟපෑමට ලැබුණු සම්මානය හොරු අරන්. එයත් වේදනාකාරී අත්දැකීමක්.

සම්මාන ආපහු ලැබෙන්න සලස්වනවා නම් . . . .

* ජීවරාණි සහ සරසවිය අතර ඇත්තේ හරි අපූරු නෑකමක් නේද?

අපොයි ඔව්. 1963 සරසවිය පුවත්පත ඇරැඹුණු දිනයේ පටන් ඇතිවුණු නෑකම දැන් ඕනෑකමක් වෙලා. ලංකාවෙ හිටියත් ඔස්ට්‍රේලියාවේ හිටියත් සරසවිය පත්තරය නම් ගන්නවාමයි.

ලංකාවේ පදිංචි වෙලා ඉන්දැද්දී සෑම සතියකම වගේ මගේ ගැන ලිපි යනවා. රට ඉන්න විටත්, ලංකාවට ආවමත් මාව අමතක කළේ නැහැ. අවුරුද්දකට වරක්වත් සරසවිය පුවත්පත ආදරණීය රසිකයන්ට මගේත්, පවුලේත් තොරතුරු ලබා දෙනවා.

හැටේ දශකයේ සිට මා ගැන අපූරු විශේෂාංග පළ වුණා. කවර රාශියක් පළ වුණා. ඒ අතරේ ජපන් කුඩයක් ඉහළගෙන, ගවුමක් ඇඳගෙන ඉන්න පින්තූරය තාම මතකයි.

මගේ තනි ඡායාරූප පමණක් නොව අනුලා, සන්ධ්‍යා, විජිත මල්ලිකා වැනි සහෝදර නිළියන් සමඟ මා සිටින කවර ද පළ වී තිබෙනවා.

1966 දී මගෙන් කවියෙන් ප්‍රශ්න අහන පිටුවක් පළ වුණා. එක් පාඨකයෙක් ‘ලස්සනට අන්දා, ගෙන යන දිනය කැන්දා, ජීවාගෙ නැන්දා, කවුරු වේවි ද අනේ මන්දා’ කියා ලියා එවා තිබුණා. මං ඒකට ‘අනේ මන්දා – නැත්නම් ඔබේ නිවෙසට එමි හොඳ ද? කොහු මිටි පාර මගෙ ඔළුවට ලැබේවි ද?’ ලෙසින් පිළිතුරු දුන්නා. පාඨකයෝ හොඳ හොඳ ප්‍රශ්න ඇහුවා. හරිම විනෝදජනකයි.

සිනමාපට රූගත කිරීමේදී සිදුවන විවිධ රසවත් සිද්ධි වාර්තා වුණා. නිළියක් වීමට කැමැති අයට උපදෙස්, සිනා ගෙනෙන තරු, එදා ඔබේ හද අරගත්, පුංචි ජීවරාණි, එදා තිරේ, තරුවක් ලියයි, පෙර පරපුර, වැනි විශේෂාංග ඒ කාලේ හරි ජනප්‍රිය වුණා. ‘අවුල් වූ ආලය’ නමින් පින්තූර කතාවක් පළ වුණා. ඒ පින්තූර කතාවේ මා සමඟ ගාමිණීත් රඟපෑවා.

රංගනය නවත්වලා දස වසරකට පසුත් සරසවියේ කවර ගියා.

සරසවිය ලියුම් මල්ලට මෙන්ම නිවෙසටත් ලියුම් 300 ක් විතර ලැබුණා. රට ගියාමත් ලැබෙන ලියුම් මිටිවලින් අඩුවක් තිබුණේ නැහැ.

* ඒ අතරේ ආදර ලියුම් රැසක් තිබෙන්න ඇති නේද?

විවාහ වෙන තුරුම ඒවයින් නම් අඩුවක් තිබුණේ නැහැ. සරසවියට ලැබෙන ලියුම් මල්ලේ වැඩිපුරම තිබුණේ මායි ගාමිණියි සැබෑ ජීවිතයේදීත් පෙම්වතුන් ද? කියන ප්‍රශ්නයලු.

* අදටත් ඔබ ගැන පළ වූ ලිපි සුරක්ෂිතව පවතිනවා නේද?

ඔව්. මං කාර්යබහුල කාලයේ මවුපියන් පත්තරේ අරගෙන පරෙස්සම් කරලා තිබ්බා. රසිකයෝ මගේ ලිපිවල ඡායා පිටපත් රැගෙන ලිපියේ මුල් පිටපත් මට පරිත්‍යාග කළා. ඒවා සියල්ලම සුරක්ෂිතව තබාගෙන සිටිනවා.

මිත්තණියක හා මුත්තණුවක වී ජීවිතයේ සැඳෑ සමය ගත කරන අපි දෙදෙනා ඉඩක් ලැබෙන හැම වෙලාවෙම 1963 සිට අද දක්වා වූ සරසවියේ පිටු අතරේ ඇති සොඳුරු මතකයන් සිංහාවලෝකනය කරනවා.

සරසවි වරම් ලබා ලොවක් අතවැසි කළ යුග යුග හද බැඳි ජීවරාණි කුරුකුලසූරිය නම් තාරකාවට අදත් සරසවිය පුවත්පත සමීපම පුවත්පත් මිතුරියයි. සරසවියට ද පනස් වැනි විය සපුරද්දී මේ ළබැඳී මිතුරිය කිසිසේත්ම අමතක කළ නොහැකිය.