වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




වේදිකාව රංගනයට හොඳ තක්සලාවක්

වේදිකාව රංගනයට හොඳ තක්සලාවක්

චතුරිකා ආරියවංශ

ඇය රංගනය මෙන්ම නර්තන ශිල්පිනියක්. නිරූපිකාවක් ලෙසට විටෙක අපට හමුවන ඇය තවත් වරෙක අපට හමුවන්නේ රූපසුන්දරියක ලෙසටයි. මේ දිනවල වේදිකා ගතවන ටෙනිසන් කුරේගේ ‘සිවම්මා ධනපාල’ නාට්‍යයේ කැපී පෙණෙන චරිතයකින් අපට හමුවන මැය රිදී තිරයේ ද සිතුවම් මැවූ තාරකාවක්.

චතුරිකා ආරියවංශ කොහොමඳ මේ ගමන ඇරඹුණේ?

මගෙ පාසල ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහ විදුහල. ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා කලාවට තිබෙන්නෙ ලොකු ආදරයක්. මං නර්තනයට වගේම නිරූපණ ක්ෂේත්‍රයටත් කුඩා කාලෙ ඉඳලාම ආසාවෙන් හිටියේ.

මේ අතරතුර විවිධ කලා කටයුතුවලට සම්බන්ධ වුණා. සිරස ඊ ඍ හි නේත්‍රා, ස්වර්ණවාහිනිය මෙගා ස්ටාර්, දෙරණ සිටි ඔෆ් ඩාන්ස් වගේ වැඩසටහන්වලට නර්තනයෙන් දායක වුණා. මේ අතරතුර නර්තනය වගේම නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු සඳහා දායක වුණේ හරිම ආසාවෙන්.

නිරූපණ ක්ෂේත්‍රයෙන් ඔබ රූ රැජන බවට පත් වෙනවා?

ඔව්, 2012 වසරේ මිස් ශ්‍රී ලංකා තරගාවලිය සඳහා මා ඉදිරිපත් වුණා. එහි අවසන් දොළොස්දෙනාට මාව තේරුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මාසයක් පුරා පිලිපීනයෙ පැවැත්වුණ තරගාවලිය නියෝජනය කරන්නට මට අවස්ථාව උදාවුණා. මිස් අර්ත් තරගාවලියෙදි මිස් ටැලන්ට් කිරුළ මට ලැබුණා. රටවල් 96 ක් පරදවමින් තමයි මට මේ ජයග්‍රහණය ලැබුණේ.

එහිදී මම නර්තනයක් වගේම ටෙනිසන් කුරේ මහතාගේ වේදිකා නාට්‍යයක කොටසක් ඉදිරිපත් කළා.

ඔබ සිනමාවටත් සම්බන්ධයි?

ඔව්, අර්ජුන කමලනාත් ගේ ආශාවේ මායා වගේම බර්මින් ලයිලි ප්‍රනාන්දු ගේ සඳළුතලේ කුමාරිකාවෝ චිත්‍රපටවලට මං දායක වුණා.

වේදිකාව කොහොමද ඔබට දැනෙන්නෙ?

වේදිකාව රංගනයට හොඳ තක්සලාවක්. ඒ වගේම මට වේදිකාවේ කටයුතු කරන්නට ලැබුණේ දැවැන්ත අධ්‍යක්‍ෂවරයකු සමඟ ඒ තමයි ටෙනිසන් කුරේ මහතා. අධ්‍යක්‍ෂවරයකු විතරක් නෙමෙයි එතුමා හොඳ රංගන ශිල්පියෙක්.

ඔබ නර්තනය, රංගනය වගේම නිරූපණ ක්ෂේත්‍ර ඉගෙනගෙන තිබෙනවද?

අධ්‍යනය කරලා තිබෙනවා. නර්තනය, නිරූපණය නම් මම තනිවම තමයි හැදෑරුවේ. අදට වුණත් ඕනෑම සංගීත රටාවකට නර්තනයෙ යෙදෙන්නට මට පුළුවන්. මේ වනවිට නර්තන ප්‍රසංගයක් පවත්වන්නට කටයුතු කරන අතරේ තවත් පරපුරකට නර්තන කලාව බෙදනවා.

මොනවගේ චරිත ද ඔබ බලාපොරොත්තු වෙන්නේ?

මගේ ගති ස්වරූපයට අනුව ගැළපෙන චරිතයක් ලැබුණොත් රඟපානවා. අනිවාර්යයෙන්ම මගෙ බාහිර ස්වරූපයට ගැළපෙන චරිතයක් විය යුතුයි.

ඉදිරියේදී කලා කටයුතු කොහොමද සංවිධානය කරගෙන තිබෙන්නේ?

මේ දිනවල සිවම්මා ධනපාල වේදිකා නාට්‍යය සමඟ කටයුතු කරනවා. ඉදිරියේදී නාට්‍ය කිහිපයකට වගේම චිත්‍රපට කිහිපයකටත් ඇරැයුම් ලැබිලා තිබෙනවා. හැකි සෑම වෙලාවකදීම කලා කටයුතුවලට දායකවීම තමයි මගේ අරමුණ.

විද්‍යුත් ලිපිනය කියමු.

[email protected]