වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඔහු ගෙන නිවෙස මට දුන්නා

ඔහු සරසවිය ගෙන නිවෙස මට දුන්නා

සරසවිය පුවත්පත පනස් වැනි වියට පා තැබූ දවසේ සිට එහි එදා සරසවියට දායක වන්නට වරම් ලැබු බොහෝ දෙනා එක්කොට ලියන ලද ලිපි මාලාව මෙයින් නිම වෙයි. සරසවිය ගොඩ නැඟූ සරසවිය සරසවියක් බවට පත් කළ විමලසිරි පෙරේරා ශූරීන්ගේ 21 වැනි ගුණානුස්මරණය අදට යෙදෙයි.

සරසවිය පනස් වසරක ඉතිහාසයේ දීර්ඝ කාලයක් ප්‍රධාන කර්තෘත්වය හෙබ වූ විමලසිරි පෙරේරාගේ බිරිය මියුලින් පෙරේරා සිදු කරන අතීතාවර්ජනයක් මෙලෙස ඔබට කියවන්නට ලැබෙයි.

1948 ජූලි මාසයේ සිළුමිණ පුවත්පතට උප කතුවරයකු අවශ්‍ය බවට දැන්වීමක් පළ කර තිබෙනු දුටු විමලසිරි මහතා ඒ සඳහා ඉල්ලුම්පතක් යැවීය. ටික දිනකින් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම් ලිපියක් ලැබිණි. එවක සිළුමිණ මුල් පුටුව හොබවන ලද්දේ ශ්‍රී ලාල් ලියනගේ මහතාය. සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ විමලසිරි මහතා අගෝස්තු මස සිට රැකියාවට බඳවා ගනු ලැබුවේ මුල් වරට ඩේලිනිවුස් පුවත්පතටය.

ඉන් ටික දිනකට පසු ඔහුව සිළුමිණ කර්තෘ මණ්ඩයට අනුයුක්ත කරනු ලැබීය. එහිදී විමලසිරිට ශ්‍රී ලාල් ලියනගේ මහතාගේ ඇසුරේ පුවත්පත් කලාවේ බොහෝ දෑ ඉගෙන ගන්නට හැකි විය. සිළුමිණ පිටු සංස්කරණය පවා ඔහුට භාර විය. ශ්‍රීී ලාල් ලියනගේ මහතා ඇසුරේ වසර කීපයක් පුහුණුව ලබමින් සිටි විමලසිරිට දක්ෂ පුවත්පත් කතුවරුන් කීප දෙනෙකු යටතේ පුවත්පත් ලොවේ පසුබිම දියුණු කර ගන්නට හැකි විය. මීමන ප්‍රේමතිලක, ඩෙන්සිල් පීරිස් වැනි පුවත්පත් කතුවරුන් සමඟ වැඩ කිරීමට ලැබීමත් පියසේන නිශ්සංක වැනි ප්‍රවීණ පුවත්පත් කලාවේදියකුගේ ඇසුර ලබන්නටත් හෙතෙම වාසනාවන්ත විය.

මීමන ප්‍රේමතිලක කවියා සිළුමිණ ප්‍රධාන කර්තෘ ධූරයට පත්වීමත් සමඟ විමලසිරිගේ හැකියාවන් දුටු මීමන පත්තරයේ වගකීම් රැසක් ඔහුට පැවරුවේය. 1962 දී පොදු රාජ්‍ය මණ්ඩලීය පුවත්පත්වල කලා ශිෂ්‍යත්වයක් ලැබ හය මසක පුහුණුවක් සඳහා එංගලන්තයට යාමට විමලසිරිට සිදු විය. පුහුණුවෙන් පසු නැවතත් ලංකාවට පැමිණි ඔහු සුපුරුදු පරිදි සිළුමිණ හි සේවයට එක් විය. එංගලන්තයේ සිට ලංකාවට පැමිණීමේදී විමලසිරිට ඉන්දියාවේ ෆිල්ම් ෆෙයාර් සඟරාවේ කර්තෘ කරංජියාව මුණ ගැසී එවැනි කලා සඟරාවක අවශ්‍යතාවපිළිබඳ කතාබස් කොට තිබුණි.

මෙහි පැමිණ ටික දිනකින් අලුත් කලා පුවත්පතක අවශ්‍යතාව වැටහී ගියෙන් වරින්වර මෙම අදහස එවක සිළුමිණ ප්‍රධාන කර්තෘ මීමන ප්‍රේමතිලකයන් හා සාකච්ඡාවට ලක්විය. එවක ලේක්හවුස් සභාපතිව සිටි රංජිත් විජයවර්ධනයන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් ඒ සඳහා පූර්ණ අනුමැතිය ලැබුණි. ඒ අනුව මීමන ප්‍රේමතිලකයන්ගේ ප්‍රධාන කර්තෘත්වයෙන් යුතුව ඔහුට සහායක වශයෙන් විමලසිරිත් පත් වී 1963 අප්‍රේල් 10 වැනිදා සරසවිය මංගල කලාපය දොරට වැඩුණි.

ටික දිනකින් විමලසිරි සරසවියේ ප්‍රධාන කර්තෘවරයා විය. සරසවිය පටන්ගත්දා සිටම ඔහු එය මහත් ආදරයෙන් රැක බලා ගත්තේය. සරසවිය සිනමාවට පමණක් ඇප කැප වූ පත්‍රයක් නොවීය. එය සියලු කලා විෂයයන් කෙරෙහි යොමු වූ පුවත්පතක් විය. නැටුම් ගැයුම්වලට පමණක් නොව හෙළ සාහිත්‍ය වෙනුවෙන් ද විශාල මෙහෙවරක් කරනු ලැබීය. මූර්ති කලාව, චිත්‍ර කලාව පිළිබඳවත් එහි ලිපි පළ විය.

එම කලා නිර්මාණ බොහෝ විට සරසවියේ අගැයීමට ලක් විය. එයින් කලාකරුවන්ට යහපතක් සිදු විය. ජාතික වීරයින්, පැරැණි ලේඛකයින්, පැරැණි පුවත්පත් කලාකරුවන් සමරමින් අනගි ලිපි එදා සරසවියේ පළ විය. විශේෂයෙන් කවියන් වෙනුවෙන් කවි පිටුවක් එදා සරසවියේ වෙන් වී තිබුණි. ප්‍රවීණයන්ගේ මෙන්ම ආධුනිකයන්ගේ ද කවි සංකල්පනා එහි ඇතුළත් විය. විමලසිරි පියාගේ ආභාසය නිසාම දෝ වඩාත් කවියට ඇලුම් කළේය. එහෙයින් මේ පුවත්පත හරහා කවියන් වෙනුවෙන් සුවිශාල වැඩ කොටසක් ඔහු ඉටු කරනු ලැබිණි. එදා සරසවියේ කවි සංවාද ඇතුළත් විය. කවි අතිරේක පවා පළ විය.

සරසවියේ එක් පරමාර්ථයක් වූයේ ආධුනිකයාගේ පටන් ප්‍රවීණයා දක්වා කලාකරුවන් දිරිමත් කිරීම හා ඔවුන්ගේ දක්ෂතා අගැයීමට ලක් කිරීමයි. එසේම සෑම කලාකරුවෙකුටම තම දෙපයින් නැඟී සිටීමට අවස්ථාව සලසාදීමයි.

සරසවිය ඉතා ඉක්මනින් පාඨකයන් අතර ජනප්‍රිය විය. ටික දිනකින් පත්‍රය ලක්ෂය ඉක්මවා අලෙවි වන්නට විය. බොහෝ කලාකරුවෝ සරසවිය වටා රොක්වන්නට විය. සිනමා පත්තර කලාවේ පුරෝගාමියකු ලෙස පත්තර කලාවේ ආචාර ධර්ම අකුරටම පිළිපදිමින් ලාභාපේක්ෂාවෙන් තොරව සේවයම අගයමින් සරසවිය සරසවියක් කරන්නට විමලසිරි එදා උත්සාහ ගත් අයුරු එදා බොහෝ අයගේ අගැයුමට ලක්විය. විමලසිරි තුළ කුඩා කළ පටන් කලාවට දැඩි කැමැත්තක් තිබිණි. කලාකරුවන්ට ගෞරවයක් කැමැත්තක් ඔහු තුළ තිබිණි.

එදා මුල්ම සරසවිය සම්මාන උළෙල සංවිධානය කිරීමේ කාර්යයේ පෙරමුණ ගෙන තිබුණේ විමලසිරිය. සම්මාන උළෙල සඳහා චිත්‍රපට තෝරාගෙන තිබුණේ පාඨක ඡන්දයෙනි. ගම්පෙරළිය, සිකුරු තරුව, රන්මුතු දූව, සුහද සොහොයුරෝ, සුවිනීත ලාලනී එදා පාඨකයෝ වැඩි ඡන්දයෙන් තෝරා තිබිණි. විනිශ්චය මණ්ඩලය වෙනුවෙන් එදා චිත්‍රපට අශෝකා සිනමාහලේ තිරගත විය. පාඨකයන් එවන කූපන් එදා ඔහු ගෙදර ගෙනවිත් ගැන බැලීම සිදු කළේ ඉතා රහසිගතවය. ඒ දිනවලට දවස ගානේ පොහොර උර කීපයක් පුරවන ලද කූපන්පත් අපේ ගෙදරට ගෙනවිත් හිතවත් ගමේ කීප දෙනෙක් එකතු කොටගෙන ඒවා ගණන් කිරීම සිදු කළේය. ඒ දවස්වලට ගෙදර පිස්සන් කොටුවක් බඳු විය. කාමර පුරා කූපන්පත් පිර වූ ගෝනි ගොඩ ගැසී තිබුණි.

1964 මැයි 09 වැනි දින ඇරැඹි මුල්ම සරසවිය සම්මාන උළෙල අදත් මට මතකය. විමලසිරි සතුව ඡ් ක 2160 ඒ අංකය දරන මයිනර් කාර් එකක් තිබුණි. ඔහු නිතර ගමන් බිමන් ගියේ ඒ සමඟින්.

මා හට සම්මාන උළෙලට සහභාගි වීමට ඔහු මෝටර් රථය ගෙදරට එවා තිබිණි. උත්සවයට සහභාගි වූ නළු නිළියන් එදා ලේක්හවුස් මන්දිරය අසල සිට අශෝකා සිනමාහල දක්වා ගමන් කරනු ලැබුවේ ඉතා අලංකාර ලෙස සරසන ලද තාරකා යාත්‍රාවක නැගය. මඟ දෙපස මෙන්ම අශෝකා සිනමා ශාලාව අසල දහස් ගණනින් සෙනඟ පොරකකා මෙය දැක බලා ගැනීමට එක්ව සිටියහ. මෙය නැරැඹීමට පැමිණ සිටි ජන ගඟ හැසිරවීමට පොලිස් අශ්වාරෝහකයන් පවා ගෙනවිත් තිබිණි. එදා සම්මාන උළෙලේදී පුණ්‍යා හීන්දෙණිය හොඳම නිළිය ලෙසත් ඩී. ආර්. නානායක්කාර හොඳම නළුවා ලෙසත් සම්මාන ලැබුවා මට මතකය.

සම්මාන උළෙල වාර්ෂිකව ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට විමලසිරි සංවිධායක මණ්ඩලය සමඟ කටයුතු කෙරිණි. ඒ සඳහා රංජිත් විජයවර්ධන මහතාගෙන් අනගි සහායක් ලැබීම මේ කටයුත්ත තවත් පහසු විය. නූටාන්, ජබීන්, මීනා කුමාරි, සුනිල් දත් වැනි භාරතීය නළු නළියන් පවා එදා සරසවිය සම්මාන උළෙල සෝබා සම්පන්න කිරීමට වරින්වර පැමිණියහ. ෆිල්ම් ෆෙයාර් සඟරාවේ සංස්කාරකවරුන් වන කරන්ජියා යුවළ ද මේ සම්මාන උළෙල සඳහා වරක් සහභාගි වූ දින විමලසිරි මට ද ඔවුන් දෙපළ හඳුන්වා දුන්නා මතකය.

66 දී නළු නිළි ක්‍රිකට් තරගයක් ද සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කරුණාරත්න අබේසේකර, විමලසිරි පෙරේරා කටයුතු කළා යන්න මට හොද හැටි මතකය.

විමලසිරිට 1966 දී නවයුගය සඟරාවේ කර්තෘකම ද, 1973 දී සිළුමිණ පුවත්පතේ කර්තෘකම ද හිමි විය. සරසවිය පුවත්පතේ කර්තෘ ධූරය දරන අතරේ නවයුගය, සිළුමිණ පුවත්පත් දෙකේම කර්තෘ ධූර දැරීම විමලසිරිට අභියෝගයක් විය.

පුවත්පත් තුනක් සංස්කරණය කිරීම නිසාම ඔහුට අඩුවෙන්ම තිබූ සම්පත වූයේ විවේකයයි. ලේක්හවුස් ආයතනය මඟින් පිට කළ ප්‍රධාන පෙළේ පුවත්පත් තුනක එක විට ප්‍රධාන කර්තෘවරයා ලෙසින් කටයුතු කිරීමේ භාග්‍ය උදා කරගත් එකම කතුවරයා වුයේ ද විමලසිරි මහතාය. අද දක්වාම ඒ වාර්තාව බිඳ දැමීමට කිසිවකුත් සමත් වී නැතැයි යන්න මගේ හැඟීමයි.

එදා සරසවිය මුල්ම පත්තරය පිට වූදා මට හොඳ හැටි මතකය. එදා සවස ඔහු බොරලැස්ගමුවේ ගෙදර පැමිණියේ එදා මුල් වරට පිට වූ සරසවිය පත්තර කීපයක් රැගෙනය. නැට්ටුවෙක්ගේ චිත්‍රයකින් සැරැසී තිබූ එදා සරසවිය කවරය සිතුවම් කර තිබුණේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වූ ගෞතමදාසයන්ය. මා ද එය එදා බොහෝ ඕනෑකමින් කියවනු ලැබුවේ මුල්ම කලාපය වීම නිසාමය. ඇඟපත සෝදා ගෙන ගෙට ගොඩ වූ විමලසිරි තේ කෝප්පයකින් සප්පායම් වන අතරේ ‘මියුලින් කොහොමද අලුත් පත්තරේ’ කියා මගෙන් ඇසූ අයුරු මට අද මෙන් මතකය.

එවක මා විමලසිරිට හොඳ මානසික නිදහසක් ලබා දී තිබුණේ ගෙදර වැඩ දරුවන්ගේ වැඩ මා වෙත පවරා ගනිමිනි. එවන් නිදහසක් මා ලබා දුන්න ද ඔහු කිසි විටෙකත් දරුවන් හා මා වෙනුවෙන් කළ යුතු යුතුකම් කිසිවක් කිසි දින පැහැර හැරියේ නැත. දරුවෙක් අසනීප වුව ද ඔහු ඒ පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලුවේ අඩුම තරමින් ගෙදරට දුරකථන ඇමතුමක් හෝ ලබා දෙමිනි.

සිළුමිණ පත්තරයේ වැඩ කර විමලසිරි ගෙදර ආවේ පාන්දර යාමයේය. තමන් කරන වැඩ කොටස අවංකව කිරීමේ පුරුද්දක් ඔහු තුළ තිබුණු නිසාම කිසිවකුගෙන් කිසි දිනෙක දෝෂාරෝපණයකට මා දැනුවත්ව විමලසිරිට මුහුණ දිමට සිදු නොවිණි.

ඉරිදාට සිළුමිණ පුවත්පතේ වැඩ අවසන්කර ගෙදර එන විමලසිරිගේ විවේකී දිනය වූයේ සඳුදාය. එදාට ඔහු බොහොමයක් කරනු ලැබුවේ සමාජ සේවයයි.

වැඩි වශයෙන් නළු නිළියන් ඔහු හමුවීමට ගෙදර පැමිණියේ නැත. සමහර විට විමලසිරි එයට එතරම් කැමැත්තක් නොදක්වනවාම විය හැකිය. ජෝ අබේවික්‍රම එවක පවුලේ සාමාජිකයෙක් තරමට අප හා සමීප වී සිටියේය. ඔහු නිතර අප නිවසට පැමිණීම පුරුද්දක් කොට ගෙන තිබුණි. ජෝ එන පසුපස ගමේ කොලු කුරුට්ටන් ද රංචු ගැසී එන්නට වූයෙන් එවැනි මොහොතක ජෝ ආපසු හැරී කොලු පැටවුන් එළවා දමනුයේ එයින් අපට ද කරදරයක් වේ යැයි සිතූ නිසා විය හැකිය.

කොතරම් තානාන්තර ලැබුව ද ඔහු කිසිදු දිනෙක උඩඟු වූයේ ද නැත. මා ද ඔහු ලබා තිබූ කීර්තිය දැක කිසිදා උඩඟු වූයේ ද නැත. නැඟී එන ලේඛකයන්ට ඔහු හැම විටම උදවු කරනු ලැබිණි. ඔහුගේ කාර්යාල කාමරය ලංකාවේ උගතුන් රැස්වන ස්ථානයක් විය. එසේ පැමිණෙන උගතුන්ගෙන් පුවත්පතට ලබා ගත හැකි උපරිම සේවය ලබා ගැනීමට විමලසිරි කවදත් මැලි නොවිණි.

තම කාර්ය මණ්ඩලයට ඔහු ඉතා කාරුණික විය. සහයෝගයෙන් වැඩ කිරීමේ පුරුද්දක් ඔහු සතු විය. නම්‍යශීලී විය. ඕනෑම පුද්ගලයකුගේ සිත් දිනා ගැනීමේ නිරහංකාර ගතිගුණ ඔහු සතු විය. පුවත්පත සැකසීමේ සිට එය මුද්‍රණය දක්වා ප්‍රායෝගික දැනුමක් ඔහු සතු විය. කිසි විටෙකත් අයුක්තියට හිස නැමුවේ නැත. නිහතමානී විය. පුවත්පත් කතුවරයකු ලෙස මනා ශික්ෂණයකින් හා පවිත්‍ර චරිතයකින් හෙබි මහත්මයෙක් විය.

සරසවිය අරඹා ටික කලකින් එහි අලෙවිය වැඩි වී පිටපත් ලක්ෂය ඉක්මවා මුද්‍රණය වන්න පටන්ගත් මොහොතේ විමලසිරි සතුටින් ඉපිල ගියා මට හොඳ හැටි මතකය. ඒ සතුට වෙනුවෙන් විමලසිරි කර්තෘ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වෙනුවෙන් ගෙදර සාදයක් සූදානම් කළේය. එදා සාදයට කර්තෘ මණ්ඩලයේ හිතවතුන් පැමිණ බොරලැස්ගමුවේ ගෙදර කා බී ප්‍රිති වූ හැටි මට තවමත් මතකය. එදා අපේ ගෙදර පුංචි මඟුල් ගෙදරක් හා සමාන විය. සරසවියේ සමහරුන් තරගෙට කවි කිව්වේ පුවත්පතට ආවඩමිනි. අප නිවසේ පැවැති එවැනි සාදවලින් මතකයේ කිසි දිනෙක අමතක නොවන දිනයක් වූයේ ද සරසවිය ලක්ෂය ඉක්මවා අලෙවි වීම නිමිති කර සංවිධානය කළ සාදයයි.

මෙරට සංස්කෘතියට හානිවන පින්තූර කිසිවක් ඔහු පුවත්පත් හි පළ නොකිරීමට වග බලා ගත්තේය. මාගේ ස්වාමියා මුල් වී ආරම්භ කළ සරසවිය පුවත්පත නිසා කලා ලෝකයේ බැබැලෙන පුද්ගලයන් කොතෙක්දැයි මම නොදනිමි. චිත්‍රපට අධ්‍යක්ෂවරු, නිෂ්පාදකයන් ඇතුළු කලා ක්ෂේත්‍රයේ බොහොමයක් දෙනාට එදා සරසවියක් වූ සරසවිය පුවත්පත අද වන තුරුත් ඒ මෙහෙවරේ යෙදී සිටීම ගැන මම හද පත්ලෙන්ම සන්තෝෂ වෙමි.

සරසවිය හරහා රටට බිහි වූ ලේඛකයන් කලාකරුවන් අපමණය. මේ සැමටම සරසවියක් කරන්නට මහා වෘක්ෂයක් වූ මාගේ ස්වාමි පුරුෂයා පිළිබඳ මා තුළ ඇත්තේ ද මහත් වූ ආඩම්බරයකි. එදා මාගේ ස්වාමියාගේ දිරියෙන් ඔපවත් වූ සරසවිය අදත් දිදුලමින් පනස් වෙනි වසරට පා තබා ඇත්තේ එදා මා ස්වාමියාණන් කළ කැප කිරීමේ අභිප්‍රායෙනි.

විමලසිරිට සරසවිය තරම් සමීප වූ පුවත්පතක් නැති තරම්ය. එදා සරසවිය හදා වඩා ගැනීමට ඔහු කළ කැප කිරිම මා බිරිඳක් ලෙසින් හොඳ හැටි දනී. ඒ කැප කිරීම නොවන්නට මේ සරසවිය අද පනස් වසරක් නොපැමිණෙන්නට ඉඩ තිබුණි. සරසවිය නිසා ජාත්‍යන්තරයට ගිය නළුවෝ ද නිළියෝ ද බිහි විය. ඒ ආඩම්බරයේ කොටස්කාරයෙක් වන්නට මා ස්වාමියාණන් වෙනුවෙන් මා හට ද හැකි විය. එදා සරසවිය කාහටත් බෙදුවේ එකම හැන්දෙනි. පාට, පක්ෂ තරාතිරම ඔහු කිසි විටෙක මායිම් නොකළේය. සරසවිය හරහා සිනමා ක්ෂේත්‍රයට විමලසිරි කළ සේවාව අපමණය. ආරම්භයේ පටන් 1977 වනතුරු විමලසිරි සරසවිය හදා වඩා පෝෂණය කළේ තමන්ගේ ඇස් දෙක මෙන්ය. ඒ තරමට ඔහු සරවියට ආදරය කළේය.

1977 ලංකාවේ ඇති වූ නින්දිත දේශපාලනය පුරා වසර තිහක් පුවත්පත් කලාව වෙනුවෙන් විමලසිරි කළ සේවාව අතරමඟ නතර කරනු ලැබුවේය. එදා විමලසිරි බොහෝ දුක් වූයේ තමන් හදා වඩා උස් මහත් කළ සරසවිය හැරදා යාමට සිදු වූ නිසාය. ඒ දුක පිටතට නොපෙන්වා සිතෙහි දරාගෙන සුසුම්ලනවා මා කොතෙකුත් දැක තිබුණි. අද සරසවිය පනස් වෙනි වියට පා තබා ඇත. එහි ආරම්භයට උර දුන් මාගේ ස්වාමියාණන් අද ජීවතුන් අතර නැත. එහෙත් ස්වාමියාණන් හදා වඩා ගත් සරසවිය අදත් ජීවතුන් අතරය. ස්වාමියා ළඟ නැති හුදකලා වූ මම අදත් සරසවිය වැජඹෙන හැටි බලා සතුටක් ලබමි. පනස් වෙනි විය සපුරාලනු ලැබූ සරසවිය ස්වාමියාණන් වෙනුවෙන් උපහාර තිළිණයක් පිරිනැමුවේ එතුමන්ගෙන් වූ සේවාව අගය කිරීමටය. එය එතුමන් වෙනුවෙන් මා ලබන්නට තරම් මාද පින්කර තිබීම ගැන මට ද ඇත්තේ නිහතමානී සතුටකි. 1992 දී බලවත් ලෙස රෝගාතුර වූ මාගේ ස්වාමියාණන් එම වසරේ ජූනි මස 27 වැනිදා සදහටම දෙනෙත් පියා ගත්තේ ඔහු මා වෙත ලබා දුන් විද්‍යා, මධුපානි දියණියන් දෙදෙනාත් ප්‍රසාද්, අශාද්, ප්‍රනීත් පුතුනුවන් තිදෙනාගේ වගකීම් මා වෙත ඉතිරි කරළමිනි.

මගේ ස්වාමියා කර්තෘත්වය හොබවමින් එහි ආරම්භයේ පටන් සරසවිය කලා ලොවේ මිණි පහනක් කරන්නට දායක වූ හැටි මා ඔහුත් සමඟ ජීවන අරගලයේ සිටිමින් හොඳ හැටි අත්දැක්කා මතකය. ඒ අතීත සැමරුම් මැද මා මේ ගෙවන ජීවිතයේ අද සරසවිය කලා ක්ෂේත්‍රයේ මිණි පහනක් ලෙස වැජඹුන ද, ඉදිරියටත් චිරාත් කාලයක් කලා කෙතට දිව්‍ය මාණික්‍යයක්ම වේවා!