වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ජැකී චෑන් බොලිවුඩ් තරුවක් වෙයි

ජැකී චෑන් බොලිවුඩ් තරුවක් වෙයි

බොලිවුඩයට පැමිණෙන ඕනෑම විදෙස් තාරකාවකට අනිවාර්යයෙන්ම පිළිතුරු දීමට සිදුවන ප්‍රශ්නයක් තිබේ. ඒ ‘ඔබ බොලිවුඩයේ තරුවක් වෙනවාද’ කියන ප්‍රශ්නයයි. මෙවර ඒ පැනයට පිළිතුරු සැපයීමට සිදු වූයේ ජැකී චෑන්ටයි. ඔහු සිය සටන් පහරකටත් වැඩි වේගයෙන් ඊට පිළිතුරු දුන්නේය. ‘ස්ථිරවම, ඇත්තෙන්ම’ ඔහු දුන් පිළිතුරයි.

ඔහු ඉන්දියාවට පැමිණියේ ප්‍රථම වරට පැවැත්වෙන චීන සිනමාපට උළෙලට සහභාගි වීම සඳහායි. සිනමා උළෙල ඇරැඹුණේ ජැකී අධ්‍යක්ෂණය කළ ‘ද චයිනීස් සෝඩියැක්’ සිනමාපටය සමඟයි.

මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු තමන් ඉන්දියාවේ සෑම දෙයටම කැමැති බව කියා සිටියේය. ‘අමීර් ඛාන්ගේ ත්‍රී ඉඩියට්ස්, කඩාහි චිකන්, බිර්යානි, ඉන්දියාවේ මේ සෑම දෙයකටම මං හරි කැමැතියි’ ජැකී පැවසුවේ කුඩා දරුවකු මෙනි.

‘මීට අවුරුදු දහයකට කලින් ඉන්දියාවේ නතර වෙලා මගේ සිනමාපටයක රූගත කිරීම් කළා. ‘මිත්’ ඒ සිනමාපටයයි. එහි රඟපෑමට බොලිවුඩ් තාරකාව මල්ලිකා ෂෙරාවත් එක්කර ගත්තා. මාසය පුරා ඇති තරම් හින්දි සිනමාපට නැරැඹුවා. ගීත ගයන්න, නටන්න මං කැමැතියි. මාත් හොඳ ගායකයෙක්නෙ. ඒ නිසා හිතනවා අධ්‍යක්ෂවරයෙක් අනිවාර්යයෙන්ම චිත්‍රපටයකට ඇරැයුම් කරාවි කියලා. මං ඉතා හොඳ නළුවෙක්. සටන්කාරයෙක් විතරක් නොවෙයි. සටන් . . . සටන් . . . සටන්’ සටන්වලින් හෙම්බත්ව සිටින ජැකී සිනාසුණේ සමච්චලයට වාගෙයි.

‘ඔබ කැමැතිම ඉන්දීය නළුවා කවුරුන් ද?’ යන ප්‍රශ්නයෙන් නම් ජැකී ලිස්සා ගියේය. ‘නම අමතක කරන්න. ගොඩක් අය ඉන්නවා. මං හිතන්නේ ලෝකයේ හොඳම ක්‍රියාදාම වීරයන්, සුරූපි තාරකාවන්, අති දක්ෂ නර්තන ශිල්පිනියන් සිටින්නේ ඉන්දියාවේ කියායි.’ ඔහු ඊට එසේ පිළිතුරු දුන්නේය.

බොලිවුඩ් රංගනයට එක්වීම වගේම දෙරටේ එකතුවෙන් සිනමාපටයක් නිර්මාණය කිරීම ජැකීගේ පැතුමයි.

ශ්‍රී ලාංකික රසිකාවට ෂාරුක්ගෙන් උණුසුම් පිළිගැනීමක්

සුපිරි තරුවකට ආදරය හිමිවන්නේ නව යෞවනියන්ගෙන් පමණක් නොවේ. හැට පැන්න කාන්තාවන්ගේ හදවත් හි උපදින්නේ යොවුන් ආදරයට නොපරදින අන්දමේ ආදරයකි. අපේ ශිරාණි සමරසේකර දැන් හැත්තෑ හැවිරිදි මිත්තණියකි. ඇය ෂාරුක්ට කෙතරම් පෙම් බඳීනවා ද කිවහොත් හැත්තෑ වැනි උපන් දිනය සැමරීම සඳහාම සිය හද දිනූ සුපිරි තරුව ෂාරුක් ඛාන් හමුවීමට මූම්බායි බලා ගියාය.

ෂාරුක්ගේ නිවෙස අසලම හෝටලයක ඇය නතර වූවාය. අසල් රටේ රසිකාවක් මෙලෙසින් පැමිණීම ෂාරුක්ගේ සතුටට හේතු වුණත් වයෝවෘද්ධ මාතාවක් තමන් වෙනුවෙන් මෙතරම් වෙහෙස වීම ගැන ඔහු කනගාටුවට පත් වී තිබේ.

ඇය හමු වූ ෂාරුක් පැයකට වැඩි කාලයක් කෝපි බොමින් සුහද කතාබහක යෙදුණේ ශිරාණිට සදා අමරණීය උපන් දින සැමරුමක් ලබා දෙමිනි.

මේ ශිරාණිගේ පුතු ඇයට දුන් උපන් දින තිළිණයයි. පසුගිය පහළොස් වසර පුරාම ශිරාණි ෂාරුක් රසිකාවකි. ඔහුගේ සිතුවම් පට කිහිපවරක් බලමින්, ගෙයි බිත්ති, නිදන කාමරයේ බිත්ති ඔහුගේ ඡායාරූපවලින් පුරවමින් ශිරාණි සිය ෂාරුක් ආදර ලෝකය ගොඩ නඟා ගන්නීය. මේ නිසා තම මවට දිය යුතු හොඳම තෑග්ග ෂාරුක්ව මුණ ගැසීමට සැලැස්වීම බව පුතු සිතා ගත්තේය. ශිරාණිගේ මූම්බායි ගමන එහි ප්‍රතිඵලයයි.

ෂාරුක් හමුවට යන විට පවුලේ ඡායාරූප ඇල්බමයත්, තමන්ගේ විවිධ වයස් දැක්වෙන ඡයාරූප ඇල්බමයත් ගෙන යාමට අමතක නොකළාය. ඇය සිය ඡායාරූප මත සුපිරි නළුවාට කියා අත්සන් තබාගෙන තිබේ. ශිරාණි සමඟ ‘චෙනායි එක්ස්ප්‍රස්’ ගැන කතා කිරීමට ද ෂාරුක් අමතක නොකළේය.

අසල් රටින් එසේ පැසසුම් ලැබෙද්දී උපන් රටින් නම් මේ දිනවල ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර නොවෙයි. ෂාරුක් - ගෞරි කුලියට ගත් මවකගෙන් දරුවකු අපේක්ෂාවෙන් සිටිති. එය අපේ සුරබිදෙන චිත්‍රපටයේ එන ආකාරයටය. ඔවුන් උපදින්නට සිටින දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය ගැන සොයා බැලීම දැන් නඩු වැටෙන කරුණක් බවට පත් වී අවසානය.

කුලියට ගත් මවට ඉපදීමට සිටින්නේ පිරිමි දරුවෙකි. ඒ කියන්නේ ෂාරුක්ගේ දෙවැනි පුතු ඉපදීමට ආසන්නය. 1996 සිට කලලයේ ගැහැනු පිරිමි බව කල් ඇතිව පරීක්ෂණ මාර්ගයෙන් සොයා බැලීම සපුරා තහනම්ය. පරීක්ෂණය කළ වෛද්‍යවරයාට තුන් වසරක් සිරගතව සිටීමට සිදුවන අතර මවුපියන්ට පස් වසරක් සිරගත වී සිටීමට නියම කෙරේ. මේ ඉන්දියානු නීතිය ෂාරුක් හා ගෞරීටත් අවනඩුවක් වේවි ද? බොහෝ දෙනා ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘චෙනායි එක්ස්ප්‍රස්’වලට ද වඩා වැඩි උනන්දුවක් දක්වන්නේ ඒ පිළිබඳවයි. අමීර් ඛාන්ගේ බාල පුතු ද කුලියට ගත් මවකගේ පුතෙකි. වෙනත් කාන්තාවකගේ ගර්භාෂය කුලියට ගෙන දරුවකු සෑදීම ඛාන් පරපුරේ චාරිත්‍රයක් වෙමින් පවතින පාටය.

වධයක් වූ කලවරි

කලාකරුවකුට තමන්ට කීර්තිය, ධනය ලබා දුන් නිර්මාණය ජීවිත කාලයටම ආශිර්වාදයකි. එහෙත් ධනුෂ්ට නම් එය එසේ නොවේ. ‘කලවරි ඩි’ ගීතයෙන් ලොවක් දිනූ ධනුෂ් ඒ ගීතය හොල්මනක් මෙන් තමන් පසුපස පැමිණ කරදර කරන බව පවසයි.

ධනුෂ් මේ ගීතය ගැයුවේ 2011 දී ‘3’ නම් දකුණු ඉන්දීය සිනමාපටයටයි. දැන් ඔහුට යන එන කොතැනකදීවත් මේ ගීතයෙන් ගැලවීමක් ලැබෙන්නේ නැත. කොයි කවුරුත් ඔහුගෙන් මේ ගීතය ගයන ලෙස ඉල්ලා සිටියි. ‘මට දැන් ඕන කොලවරි ගීතයෙන් ඈත්වෙලා ඉන්න. ආයෙ කවදාවත් ඒ ගීතය කියන්නේ නැහැ’ ඔහු පවසයි. හද රිදුණු තරුණයකු ලෙස සිනමාපටයට ගැයූ ගීතය දැන් සැබෑවටම ධනුෂ්ගේ හද රිදවයි.

ධනුෂ්ගේ කුලුඳුල් බොලිවුඩ් රංගනය ඇතුළත් ’රාන්ජනා’ මේ දිනවල තිරගත වෙයි. බනාරසි තරුණයකු ලෙස ඔහු එහි රඟයි. සිනමාපටයේ ඔහුගේ පෙම්වවතිය වන්නේ සෝනම් කපූර්ය.

හින්දි බස හරි හැටි නොදැන බොලිවුඩයට පිවිසි ධනුෂ් ‘රාන්ජනා’ හි රඟපෑමට ලැබුණේ අහම්බෙන් බව පවසයි. බොලිවුඩයට පැමිණි දකුණු ඉන්දීය තරු සදහටම බොලිවුඩයට උරුමකම් කීමට කැමැති නමුත් ධනුෂ්ගේ හිත නම් ඇත්තේ දකුණු ඉන්දීය සිනමාවටයි. පිටපත කියවීමෙන් පසු චරිතයට ඇති වූ ඇල්ම බොලිවුඩයට එක්වීමේ එකම රහස බව ඔහු පවසයි. කෙසේ වුවත් ධනුෂ්ට දැන් චතුර ලෙස හින්දි බස කතා කිරීමට පුළුවන.

ධනුෂ්ගේ ඊළඟ ඉලක්කය චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමයි. අධ්‍යක්ෂණය ඔහුගේ පරපුරේ උරුමයකි. ධනුෂ්ගේ පියා කස්තුරි රාජා මෙන්ම සොයුරු සෙල්වරාගවන් ද අධ්‍යක්ෂවරුන්ය. ඒ සියල්ලටම වඩා වැදගත් වෙන්නේ ඔහු රජනිකාන්ත් පවුලට සම්බන්ධ වී සිටීමයි.