වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අකෝඩිං ටු මැතිව් කුඹුකේ වලව්වේ රූගත වෙයි

අකෝඩිං ටු මැතිව් කුඹුකේ වලව්වේ රූගත වෙයි
 

චන්ද්‍රන් රත්නම්ගේ අධ්‍යක්ෂණයක්

ජැකලයින් – ඇලන්සන් කොච් ට ප්‍රධාන චරිත

සිහින් සිරිපොද මුදා හල අහස් ගැබ මොහොතකට සන්සුන් විය. තවමත් වැහි බීරම පහව ගොස් නොමැති හෙයින් හාත්පස ඇත්තේ මඳ කළුවරකි.

අතන තමා තැන.

අතැති කුඩය අකුළමින් මාත් සමඟ සිටි අප ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහගේ දකුණතේ දබර ඇඟිල්ල දික් වූ දෙස මමත් බැලුවෙමි.

මේකද හොරණ කුඹුකෙ වලව්ව.

මට කියැවුණේ ඉබේටමය.

ඔව්.

නොකියම මෙතනට ආපු එකේ අපි නොකියම ඇතුළට යමු.

වලව්වේ දැවැන්ත ගේට්ටු පළු අතරින් අපි දෙදෙනා ඇතුළු වුණෙමු.

ඒ වන විටත් එතැන මහත් කලබලයකි. පනහක් තරම් වූ පිරිසක් ඒ මේ අත දුවමින් සිටියෝය.

කටවත් ආ වගක් ගාණක්වත් නැත. ඔවුන් ඔවුන්ගේ පාඩුවේ වැඩය.

මෙතැන මේ සිදුවන්නේ සුවිශේෂ වූ කටයුත්තකි. තවදුරටත් පැහැදිලි කළහොත් ජාත්‍යන්තරයේ ප්‍රේක්ෂකයා ඉලක්ක කොට තැනෙණ චිත්‍රපටයක රූගත කිරීම් කුඹුක වලව්වේ දැන් සිදු වේ. ජනේලය, ආදර හසුන, පොරොන්දුව, අලිමංකඩ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ චන්ද්‍රන් රත්නම් එහි අධ්‍යක්ෂවරයාය. මේ ඔහු ජාත්‍යන්තරය වෙනුවෙන් අධ්‍යක්ෂණය කරන දෙවැනි චිත්‍රපටයයි. ද කොමන් මෑන් පළමුවැන්න වේ.

මේ දැවැන්ත සිනමාපටයේ ප්‍රධාන චරිත ද්විත්වය රඟනුයේ ලොවම හඳුනන දෙදෙනෙකි. ඔහු සහ ඇය මෙවන් වූ චිත්‍රපටයකට දායක වන පළමු අවස්ථාව මෙය වන්නේය.

චිත්‍රපටයේ නම ඇතුළු තවත් විස්තර දැන ගැනීමේ අටියෙන් මම අධ්‍යක්ෂ රත්නම් හමු වන්නට තීරණය කළෙමි.

ඔයාලා පත්තරෙන් නේද?

අපව මනාව නිරීක්ෂණය කරමින් අයකු ඇසිය.

ඔව්.

අනේ සමාවෙන්න, තවම මේ ෆිල්ම් එක ගැන මීඩියාවලට කියන්න තහනම්. අනික ඔයාලා කාටවත් දන්වලා නෙවෙයි නේද ආවේ?

ඔහුගෙන් අපට ප්‍රශ්න වැලකි. අප නිරුත්තර වීමු. මේ කලබලය ඇසී චන්ද්‍රන් රත්නම් අප වෙත ආවේය.

මේ අපේ සරසවිය පත්තරෙන්නේ. කාට තහනම් වුණත් සරසවියට මගේ වැඩක විස්තර දෙන්න තහනම් නැහැ. ඔන්න මේ ෆිල්ම් එක ගැන මුලින්ම කියන්නේ සරසවියට.

ඔහු සමඟ කතා කොට මම මේ චිත්‍රපටය ගැන තොරතුරු රැසක් දැන ගත්තෙමි.

අකෝඩිං ටු මැතිව්.

ඒ චිත්‍රපටයේ නමය. හැත්තෑව දශකයේ අගභාගයේ මෙරට එක් පුද්ගලයකු විසින් කළ සමූහ ඝාතණයක් ඇසුරෙන් රත්නම් විසින් මෙහි පිටපත සකසා ඇත. එහි ඇතැම් පුද්ගල නාම ඒ අයුරින්ම තිබීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

චිත්‍රපටයේ රඟන ප්‍රධාන නිළි තාරකාවයි ඊළඟට මා සෙව්වේ. ඒ සඳහා මා මෙහි නිශ්චල ඡායාරූප ශිල්පී ධම්මික පතිරත්නගේ පිහිට පැතීය.

ආ . . . එයා වලව්වේ දකුණු පැත්තේ ඉන්නවා. ෂුවර් එකට තැඹිලි බොනවා ඇති.
අකෝඩිං ටු මැතිව් චිත්‍රපටයේ අනෙකුත් පිරවර

රංගනය - දුෂ්යන්ත් වීරමන්, රයන් විජේරත්න, බිම්සා ප්‍රේමරත්න, කියාන් ඔග්‍රැඩි

නිෂ්පාදන පිරිවර
කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න
සංස්කරණය - ජේම්ස් රුක්නිව්
රේඛීය නිෂ්පාදනය - ක්‍රිෂ්ණන් ගුණසේකර
නිෂ්පාදන කළමනාකරණය - චන්දිමාල් කොඩිතුවක්කු
නිෂ්පාදනය - ක්‍රිස්ල්, ඇනිටා එලිසර්
සම නිෂ්පාදනය - ජයන්ත ජයතිලක
අංගය රචනය - නාරද ධනංජි තොටගමුව

මා ඒ සුරූපිණිය සොයා ගියෙමි. ඒ වෙනින් කවුරුවත් නොව මෙරටින් බොලිවුඩ් තිරයට දායාද කල ජැකලයින් ෆර්ඩිනැන්ඩස්ය. ඇය මෙහි ඩැලරින් නම් වූ චරිතය රඟන්නිය. ධම්මික කිව්වා නිවැරැදිය. ඇයගේ අතේ තැඹිලි ගෙඩියකි. දිනකට ඇය තැඹිලි ගෙඩි කිහිපයක් බොන බව ආරංචිය.

එමෙන්ම ඇය පැණි දැමූ කහට තේ බීමට ප්‍රිය කරන බව ද මට එතැනදි දැන ගැනීමට හැකි විය. කෙසේ නමුත් මෙවන් වූ චිත්‍රපටයක රඟන්නට ලැබිම නිසා මෙරටට පැමිණීමට හැකි වීම ගැන ඇයට ඇත්තේ පුදුමාකාර සතුටකි. මේ අතර මෙහි මැතිව්ස්ගේ චරිතය රඟන ඇලන්සන් කොච් මෙතැනට ඇවිත්ය. ඔහු ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය ගායකයෙකි.

ටෙනී අයියා ඔවුන් දෙදෙනාව තබා අපූරු සේයාරූ කිහිපයක් ගත්තේය. මේ අතර රත්නම් ද පැමිණ සමග සේයාරුවක් ගන්නට ඕනෑ යැයි කීවේය. එය ගන්න අතරතුරදී ඔහු විහිළුවට මෙන් ඇල්න්සන්ට ඇඟිලිවලින් අං දෙකක් ද තැබුවේ අප හැමෝමව හිනස්සවමිනි.

වලව්ව ඉදිරියේ කවුරුන් හෝ කිහිප දෙනෙකුගේ උස් කට හඬවල් ඇසීම හේතුවෙන් මං එතැනට ගියෙමි.

මහත්තයෝ වලව්වේ කාට හරි මුකුත් කරදරයක් වෙලාද?

ඔවුන් එලෙස අසන හේතුව මට හිතා ගන්න බැරිය.

අද අපේ සීන් එකකට වලව්වට මිනී පෙට්ටියක් ගෙනාවා. ඒකට මේ ගමේ අය කලබල වෙලා. ඉන්නකො මං මේගොල්ලන්ට තත්ත්වෙ පැහැදිලි කරලා එන්නම්.

සහාය අධ්‍යක්ෂවරයා එලෙස පවසා ඔවුන් අතරට ගියේය.

අකෝඩිං ටු මැතිව් අසූවකට අධික පිරිසක් නිෂ්පාදන කණ්ඩායමට ඇතුළත්ය. ඔවුන් යුහුසුලුව තම කාර්යය නිසියාකාරව ඉටු කරයි.

මේ වන විට ගොම්මන් කළුවර පොළව මත පතිත වෙමින් තිබිණ. එදින ඉන්දීය - ශ්‍රී ලංකා කි‍්‍රකට් තරගය තිබෙන බව අයෙකුට මතක් විය. ඔහු සැනෙකින් අසල ඇති රූපවාහිනී යන්ත්‍රයක් ක්‍රියාත්මක කරලීය.

ජැකලයින් ද සමඟ පැමිණි ඉන්දීය තරණියන් දෙදෙනා එතැනට ආවෝය. තවත් කිහිප දෙනකු ද තරගය නරඹන්නට උනන්දු විය. මේ අතර වාරයේ ඉන්දීය තරුණියන් දෙදෙනාට නොයෙකුත් විහිළු කරමින් කණ්ඩායමේ පිරිස තරගය නරඹන දසුන ඇත්තටම බොහොම විනෝදජනක එකක් විය. ජැකලයින් තමාට කතා කරන්නට පැත්තක් නොමැතිව නිරුත්තරව උන්නාය.

තවත් සුළු මොහොතක් එතැන රැඳී සිටි අප දෙදෙනා සියල්ලන්ට සමු දී යළිත් කොළඹ බලා පිටත්වූයේ සැහැල්ලු වූ මනසිනි.