වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




එක් චිත්‍රපටයකට ගීත හැට දෙකක්

ඉන්දියානු සිනමා කතාව 22

එක් චිත්‍රපටයකට ගීත හැට දෙකක්

කථානාද සිනමාව ඉන්දියාව එක් පසකින් උඩු යටිකුරු කළේ ය. විශේෂයෙන් බොහෝ පැරැණි චිත්‍රාගාර වැසී යන්නට පටන් ගත්තේ ය .

එයට එක් හේතුවක් නම් මුල් යුගයේ චිත්‍රාගාර සියල්ල ශබ්දයට නිරාවරණය වන ආකාර?යෙන් සෑදූ ඒවා වීම ය. ස්වභාවික ආලෝකය මගින් රූ ගැන්වීම සඳහා චිත්‍රාගාර තැනුණ බැවින් ඒවාට වහල පියස්සක් නොවිණ. එහෙයින් එයට ශබ්දය ගලා ඒම වළක්වා ගත නොහැකි විය.අනිත් අතට චිත්‍රපට කැමරා සියල්ල අධික ශබ්දයෙන් යුක්ත විය. ඒ සියල්ල චිත්‍රපටයට ඇතුළත් වීම වළක්වා ගත නොහැකි විය.

මුල් යුගයේ ශබ්දාගාර නොවූ බැවින් රූපයත්, ශබ්දයත් පටිගත කෙරුනේ එකවර ය. එබැවින් චිත්‍රපටයට අදාළ නොවන බොහෝ ශබ්ද චිත්‍රපට පිටපතට ඇතුළුවීම වළක්වා ගත නොහැකි විය. එයටත් වඩා ඒ වනවිට ඉන්දියානු සිනමාවේ නම් දරා සිටි සුපිරි තරු බහුතරය ගීත ගායනයෙහි හෝ දෙබස් උච්චාරණයෙහි ලා අසමත්තු වූහ. මේ බොහොමයක් නළු නිළියන් ඇංග්ලෝ ඉන්දියානුවන් වූ බැවින් ඔවුන් බහුතරය ඉන්දියානු මවු භාෂා කතා කිරීමෙහි ලා අපොහොසත් විය.

එමෙන්ම අලම් අරා තනන ලද සිනමා සම්ප්‍රදාය ගීතයටත්, නර්තනයටත්, දෙබසටත් වැඩි ඉඩකඩක් ලබා දුන්නේ ය. සිනමාව ව්‍යාපාරයක් ලෙස හඳුනා සිටි මදාන් තියටර්ස් මුල්ම බෙංගාලි චිත්‍රපටය වන ජමායි ශාස්ති සහ ඔවුන්ගේ මුල්ම හින්දි චිත්‍රපටය වන ශිරින් ෆර්හාඩ් සඳහා ප්‍රධාන නළු නිළියන් සියල්ලම අලුතෙන් සොයා ගත්තේ වේදිකාවේ උපකාරයෙනි.ශිරින් ෆර්හාඩ්ප්‍රධාන නළු නිළි යුවළ වූයේ මාස්ටර් නිසාර් සහ සහ මිස් ජෙහාන් අරා දෙපොළ ය. ඔවුන් දෙදෙනාම ඒ වනවිට උර්දු නාට්‍යයක් වූ ශිරින් ෆර්හාඩ් ගී වෙළෙඳ තැටි සඳහා ගායනා කොට නමක් දිනූ දෙපළකි. ශිරින් ෆර්හාඩ් කෙතරම් ජනප්‍රිය වීද යත් මදාන් තියටර්ස් වසරක් ඇතුළත කතානාද චිත්‍රපට අටක් නිෂ්පාදනය කරන්නට සැලසුම් කළහ.

එහෙත් මුලින් පවසන ආකාරය ට හැමෝටම එලෙස වාසනාවක් නොතිබුණි. බොහෝ පැරැණි නළු නිළියන් ලවා රූපගත කරන අතරවාරයේ මයික්‍රෆෝනය යොදවා දෙබස් කැවීමට තැත් කිරීම චිත්‍රපට දළ සේයාපට නිකරුණේ වැය කිරීමක් ලෙස සිනමා සමාගම්වලට පෙනිණ. මේ තත්ත්වය වඩාත්ම බලපෑවේ හින්දුස්ථාන් පික්චර්ස් සහ කොහිනූර් පික්චර්ස් යන සමාගම්වලට ය. පාල්කේ වැනි පුරෝගාමින් ගෙන් සැදුනු හින්දුස්තාන් පික්චර්ස් ශබ්ද තාක්ෂණයෙන් සිදුවන විප්ලවය පිළි ගැනීමට සූදානම් වූයේ නැත. ඉන්දියාවේ ඇතැම් සිනමාහල්වල තත්ත්වය ද එයම විය.

කතානාද සිනමාව එක් අතකින් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රබෝධයට හේතුවූවා මෙන්ම තවත් අතකින් කර්මාන්තයේ අලුත් වියවුල් රැසක් නිර්මාණය කළේය. එය ඉන්දියානු සිනමවාට පමණක් පොදුවූ කරුණක් නොවීය. ලෝකයේම කතානාද සිනමාව ඇරැඹීමත් සමඟ මේ ප්‍රවණතාව දැක ගත හැකි විය. එක් පසෙකින් පැරැණි පරම්පරාවත්, අලුත් පරම්පරාවත් අතර ගැටුමක් එහි සඳහන් විය. එහෙත් එහි රැඳීය හැකිවූයේ අලුතින් සිතන පිරිසට පමනි. ඉන්දියාව වෙන රටවලට වඩා එය සාපේක්ෂව වෙනස් වූයේ එහි රට ඇතුළත විවිධ භාෂා පෙළක් තිබුණ හෙයිනි. මුල්ම ඉන්දියානු චිත්‍රපටය කතා කළේ හින්දි භාෂාවෙනි. එහෙත් එය උර්දු බස කතා කරන්නන්ට තේරුම් ගැනීම අපහසු නොවීය.

මුල්ම ප්‍රාන්ත භාෂිත චිත්‍රපටය වූයේ බෙංගාලි බසින් තැනුණ ‘ජමායි ශාස්ති‘ චිත්‍රපටයයි. එය තිරගත වූයේ 1931 අප්‍රෙල් 11 වැනි දිනය. අධ්‍යක්ෂණය අමර් චෞදරි ගෙනි. දෙමළ භාෂාවෙන් තැනුණ ‘කලිදාස්‘ සහ තෙළිඟු බසින් තැනුණ ‘භක්ත ප්‍රහ්ලාද‘ යන චිත්‍රපට යුගලම අර්දේශර් එම්.අයිරානිගේ නිෂ්පාදනයන් වූ අතර මේ චිත්‍රපට යුගලම අධ්‍යක්ෂණය කරන ලද්දේ එච්.එම්.රෙඩ්ඩි විසිනි.මරාති බසින් තැනුණ මුල්ම චිත්‍රපටය නිපදවීමේ ගෞරවය පූනා වේ ප්‍රභාත් චිත්‍රාගාරය හිමි කර ගත් අතර එහි අධ්‍යක්ෂවරයා වූයේ වී.ශාන්තාරාම් ය.

ගුජරාටි බසින් තැනුන ‘නරසිං මෙහ්තා‘ මුල්ම චිත්‍රපටය විය. අධ්‍යක්ෂණය කරන ලදදේ භවානි භවායි විසිනි. කන්නඩ මුල්ම චිත්‍රපටය දෘව කුමාර් නිර්මාණය කරන ලද්දේ ගුබ්බි විරන්නා විසිනි. මේ චිත්‍රපට සියල්ල 1931 සහ 34 කාලයේ නිර්මාණය වූ චිත්‍රපට වෙයි. එහෙත් හින්දි භාෂාව ඉන්දියානුවන් බහුතරතයකගේ භාෂාව වූ අතර එම නිසාම හින්දි සිනමාවේ බලපෑමෙන් මිදෙන්නට ප්‍රාන්ත සිනමාවට නොහැකි විය. එහෙත් වඩාත් වෙනස් ගැටලුවකට මුහුණ දුන් තවත් පිරිසක් නම් විදේශ චිත්‍රපට ආනයන කරුවන් ය.

ඉංග්‍රීසි චිත්‍රපට බහුතරය ඉංග්‍රීසි උගත් මැද පන්තියට සීමා වූ අතර වෙනත් භාෂාවලින් තැනුණ චිත්‍රපටවලට ඇති ඉල්ලුම සීමා විය. කතානාද සිනමාව පිවිසෙන්නට පෙර චැප්ලින්ට මෙන්ම රුසියාවේ සර්ජි අයින්ස්ටයින්ට ද ඉන්දියාවේ වෙළෙඳ පොළක් තිබුණ ද අනතුරුව කතානාද සිනමාව සමඟ එය ඉංග්‍රීසි චිත්‍රපටවලටම සින්න විය. එමෙන්ම ඒ වනවිට ඇතැම් ඉන්දියානු චිත්‍රපට සඳහා විදේශ වෙළෙඳ පොළක් පැවැති අතර හින්දි හෝ ප්‍රාන්ත බසින් කතා කළ චිත්‍රපට සඳහා එම වෙළෙඳ පොළ අහිමි විය.

මේ අතර වාරයේ පාර්සි නාට්‍යයන්ට සිනමාවේ විශාල ඉල්ලුමක් ඇති විය. නාරායන් ප්‍රසාද් බේතාබ්,අගා හෂීර් කාශ්මිර්,හකීම් අහමඩ් සුජා,ජෝශප් ඩේවිඩ් වැනි පාර්සි නාට්‍යය රචකයන්ට ඉහළම මිලත් ගෙවන්නට තරම් මේ තරගය දැඩි විය. මේ ඉල්ලුම සමඟ පාර්සි නාට්‍යය කරුවන්ට පැවැත්ම සඳහා කළ හැකි එකම කාර්යය වූයේ එම නාට්‍යය රඟ දැක්වීම නොව චිත්‍රපට ක්ෂේත්‍රයට යොමු වීම ය. බටහිර උපත ලද සිනමාවට ඉන්දියානු නාට්‍ය සම්ප්‍රදායන්ගේ උරුම වූ ගීත නැටුම් සංගීතය ගලා ආවේ කතානාද සිනමාව සමඟ ය. එමෙන්ම භාවාතීශය නාට්‍ය සිදුවීම් ඉන්දියානු සිනමාවට ආවේණික ලක්ෂණයක් විය.

එමෙන්ම බොහෝ ඉන්දියානු චිත්‍රපට කෙළවර වූයේ සුඛාන්තයකිනි. එය ‘ඉන්ද්‍රසභා‘ නම් විය. අවද් හි අවසාන මහරාජ් වන වජිඩ් අලි ෂාගේ නාට්‍ය රචකයා වන අගා හසන් අමානාත් විසින් රචනා කරන ලද මේ නාට්‍යය කෙතරම් ජනප්‍රියවී ද යත් එය වසර පනස් තුනක් ම වේදිකා ගත කෙරිණ. එමෙන්ම ඉන්දියානු ජනප්‍රිය සංස්කෘතිය නිර්මාණය කිරීමේ දී අලි ෂාගේ බලපෑම ද බෙහෙවින් සඳහන් කළ යුතු වෙයි.

පසු කලෙක සත්‍යජිත් රායි විසින් සිනමාවට නඟන ලද ‘සත්රන්ජ් කේ කිලාරි‘ චිත්‍රපටයේ අම්ජාඩ් ඛාන් විසින් නිරූපණය කරන ලදදේ අලි ෂා රජුගේ චරිතයයි. ඉන්ද්‍ර සභා කෙතරම් ජනප්‍රියවී ද යත් එය 1863 වසරේ දී ජර්මානු බසින් ද වේදිකා ගත වූ වග වාර්තා වන්නකි. අනෙක් බලපෑම නම් පාර්සි නාටක බලපෑමයි. ඉන්ද්‍ර සභා නට්‍ය මගින් අරඹන ලද සම්ප්‍රදාය පසු කලෙක පාර්සි නාට්‍ය හරහා වර්ධන විය. මෙම පාර්සි නාට්‍ය ඉන්දියානු සිනමාවට ගායකයෝ, රංගන ශිල්පීහු සහ නර්තන ශිල්පීහු රැසක් දායාද කළහ.

එක් අතකින් ‘නාට්‍ය ශාස්ත්‍රය‘ සිය ජීවිතයේ කොටසක් බවට පත් කර ගත් සංස්කෘතියකට මේ සියල්ලම එක්රැස් කර ගැනීමටත්, එමගින් සිනමාවේ සම්ප්‍රදායන් වෙනස් කරමින් ඔවුන්ටම ආවේණික සිනමාවක් ගොඩ නැඟීම පුදුමයක් නොවීය. ඔවුන් ගොඩ නඟන ලද නාට්‍ය සම්ප්‍රදායන්ට එංගලන්තයේ ටියුඩර් නාට්‍ය සම්ප්‍රදායන්ගේ බලපෑම ඇතිවූයේ නාවික කර්මාන්තයේ යෙදුන පාර්සිවරුන් එකී නාට්‍ය සම්ප්‍රදායන් දැන ගත් බැවිනි. පාර්සි නාටකවලට ක්‍රියාදාම දර්ශන එක්වූයේ එමගිනි. මේ සියලු ගුණ ඉන්දියානු කතානාද සිනමාව වැඩි දියුණු කිරීමෙහි ලා මහත් උපකාරි විණ. ඉන්ද්‍ර සභා නාට්‍ය පසු කලෙක මදාන් විසින් සිනමාවට නංවන ලද අතර එයට ඇතුළත් වූ ගීත සංඛ්‍යාව 62 ක් විය. පර්සියානු සහ සංස්කෘත පුරාණවලට අමතරව රචකයෝ ඉංග්‍රීසි සාහිත්‍යයෙන් ද සිය නිර්මාණ සඳහා වස්තු බීජ සොයා ගත්හ. එහෙත් ඒ හැම විටම එය ඉන්දියානු පේ‍්‍රක්ෂකයන්ට ගැළපෙන පරිදි රචනා කරන්නට ඔවුහු සමත් වූහ.

ජහන් අරා කජ්ජන්,මුක්තාර් බේගම්,ගොහාර්, ජද්දන් බායි,අමිර්බායි කර්නාටකී,සෝරා,මාස්ටර් නිහාර්,කේ.එල්.සයිගාල් වැනි ගායක, ගායිකාවන්, නළු නිළියන් ද උස්තාද් ජන්දේ ඛාන්,ගෝවින්ද්රාඕ තෙම්බේ,මාස්ටර් ක්‍රිෂ්ණාරාඕ,රායිචාන්ද් බොරාල්,පන්කජ් මලික් වැනි සංගීතඥයන්ද සිනමාවට දායක වන්නට පටන් ගත්තේ ඒ අනුව ය. ඔවුහු පාර්සි මෙන්ම මරාති සහ බෙංගාලි නාට්‍යයන්ගේද ඒ වනවිට නමක් තබා සිටියහ.

අලම් අරා චිත්‍රපටයෙන් පසු අයිරානිගේ ඉම්පිරියල් පික්චර්ස් සමාගම ඉතා ඉක්මනින් දවුලත් කා නාශා,මධුරි,දෟපදි,දාකු කී ලඩ්කි,ගුල් සනෝබර්,ඉන්දිරා මා වැනි චිත්‍රපට ද, මදාන් සමාගම ලයිලා මජ්නු,සකුන්තලා,බිල්වාමංගල්,වැනි කලකට ඉහත නිහඬ චිත්‍රපට ලෙස දුටු චිත්‍රපට රැසක් කතානාද චිත්‍රපට ලෙස යළි ප්‍රති නිර්මාණය කළහ. එහි වඩාත්ම වෙනස් කාරණය වූයේ මේ හැම චිත්‍රපටයක්ම ගීත විස්සකට වැඩි ගණනක් ඇතුළත් ව තිබීමයි. එපමණක් නොව පැරැණි චිත්‍රපට යළි ප්‍රති නිර්මාණය සඳහා අවසර ගැනීමක් අවශ්‍ය නොවුයේ ඒ වනවිට ඉන්දියාවේ බුද්ධිමය දේපළ පනතක් නොවුණ බැවිනි.

එහෙත් අමතක නොකළ යුතු කාරණයක් වනුයේ නිහඬ සිනමාව අවසන් වනවිට එහි නියැලි සංඛ්‍යාවයි. මුළු මහත් රට පුරා ඒ වනවිට එහි නියැලි සංඛ්‍යාව 65,000 ක් විය. ඒ සෘජුව සහ වක්‍ර මාර්ගයෙන් එහි යැපුන පිරිස විය. මේ වනවිට මදාන් ඉම්පිරියල්,ශර්ධා,ක්‍රිෂ්නා සහ රන්ජිත් යන සමාගම් කතානාද සිනමාව වෙනුවෙන් හැඩ ගැසෙන්නට සමත් විය. මදාන් සමාගම සිය සිනමා නිර්මාණ සඳහා විදේශ රටවලින් කාර්මික ශිල්පීන් පවා ගෙන්වා ගැන්මට සමත් විය.

එහෙත් අති නවීන පහසුකම්වලින් හෙබි සිනමාහල් 126 ක්ද වඩාත් අංග සම්පූර්ණ චිත්‍රාගාරයන් ද ඉතා ඉහළ මිල ගණන් ගෙවන ලද නළු නිළියන් ඇතුළු දේශීය හා විදේශීය සිනමා ශිල්පීන් ද සහිත මදාන් සමාගමේ අවසානයද ඒ සමඟ නොදැනුවත්වම ළං විණ. එක් අතකින් එක්වර ආයෝජනය කළ විශාල මුදල සමාගමේ අනාගතය දැඩි අවදානමට ලක් කළේය. බලාපොරොත්තු සහගතව එක්වර තැනූ ඇතැම් චිත්‍රපට වාණිජමය වශයෙන් සාර්ථක වූයේ නැත. ‘බිල්වාමංගල්‘ එවැන්නකි. ඒ සමඟ ඔවුන් යටතේ සිටි සේවක කළමනාකරණය දුර්වල වන්නට විය. පවුලේ අර්බුද ද ඒ අතර බලපාන්නට විය.

සිනමාහල් හරහා ලැබිය යුතු ආදායම් අහිමි වන්නට පටන් ගත්තේ දුර්වල කළමනාකරණය සමඟ ය. ඒ සමඟ සිනමාහල් එකින් එක විකුණා දැමීමට හෝ වසා දමන්නට සිදුවිය. ලංකාවේ ඔවුන් සතුව පැවැති එල්ෆින්ස්ටන්,මැජස්ටික්,එම්පයර්, වැනි සිනමාහල් රැසම මෙරට ගොඩ නැඟෙමින් පැවැති අලුත් සිනමා ව්‍යාපාරයක් වූ සිලෝන් තියටර්ස් සමාගම මගින් මිලයට ගැනිණ. අනතුරුව චිත්‍රාගාරයේ එක් එක් අංශ ද වැසෙන්නට පටන් ගත්තේය. එහෙත් හොලිවුඩ් සිනමා සම්ප්‍රදාය හඳුනාගෙන ඉන්දියානු සිනමා ව්‍යාපාරය වර්තමානයේ පවතින සැලසුමට දියුණු කළේ මදාන්ය. එහෙත් සිනමාව යනු ලාබ ලබන ව්‍යාපාරයක් විනා අතීතාවර්ජනයෙන් සැනසිය හැකි සිහින මන්දිරයක් නොවන බව පසක් කරමින් මදාන් සමාගම 1937 වනවිට සම්පූර්ණයෙන් අවසන් විය.

ඔවුන් විසින් ගොඩ නඟන ලද ඉන්දියාවේ මුල්ම ස්ථාවර සිනමාහල වූ කල්කටාවේ එල්ෆින්ස්ටන් සිනමාහල වර්තමානයේ බටහිර බෙංගාල ප්‍රාන්ත රජය මගින් මිලයට ගෙන එය නවීකරණය කොට චිත්‍රපට ප්‍රදර්ශනයට එක් කොට ඇත්තේ චැප්ලින් නමිනි. මදාන් නමින් අද ඉන්දියාවේ ඉතිරි වී ඇත්තේ කල්කටාවේ කුඩා වීදියක් ඒ නමින් නම් කිරීම හේතුවෙනි. මදාන් පවුලෙන් අද සිනමාවට සම්බන්ධ ව සිටිනුයේ හොලිවුඩ් නළුවෙක් වන එරික් අවාරි ය. ඔහු ජේ.ජේ.මදාන්ගේ මී මුනුපුරෙකි. එහෙත් මදාන් ඉන්දියාවේ මුල්ම සිනමාහලේ ආකෘතියටම ගොඩ නඟන ලද මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහල රංග ශාලාවක් ලෙස නවීකරණය වෙමින් පවතින අයුරු ඒ අසලින් යන්නෙකුට පෙනෙන්නට ලැබෙයි.

මතු සම්බන්ධයි