වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අභීත දියණිය නිම වෙයි දැන් ඉතින් මායාවරුන්ගේ ලෝකයට

අභීත දියණිය නිම වෙයි දැන් ඉතින් මායාවරුන්ගේ ලෝකයට
 

අතුල රන්සිරිලාල් ගේ අලුත්ම වික්‍රමය

‘සඳ මිදුල’ට ඇවිදින්ය. ඒ සෞම්‍ය හෝරාව දුක, සුසුම, බාධක, අභියෝග නුවණින්, ඉවසීමෙන්, ගුණවත්කමින් ජයගත් ඔෂින්, චංගුමී, දොං ඊගේ හෝරාව වී අවසන්ය. ලොකු කුඩා සැවොම නැරැඹූ දිරිය දියණියන්ගේ හෝරාවට ජූලි 5 වැනි දින සිට එන අමුත්තිය තින් යාඕය. ඇය පැමිණෙන්නේ මායා ලොවකිනි.

2011 දී චීන රූපවාහිනියෙන් විකාශය කෙරුණු ‘ද හෝලි පර්ල්’ හෙවත් ශුද්ධ වූ මුතු ඇටය ශ්‍රී ලංකාවේදී සිංහල දෙබසින් ‘මායාවරුන්ගේ ලෝකය’ක් වී රස ගැන්වෙයි.

‘ද හෝලි පර්ල්’ ජනප්‍රිය ජපන් මංගා කතා මාලාවක් වූ ‘ඉනූ යාෂා’ ඇසුරින් නිර්මාණය වූවකි. ජනප්‍රවාදයක් පදනම් වූ මේ කතා පෙළෙහි රචිකාව රුමිකො තකහෂියි. ඇය ජපානයේ ඉතා ධනවත්, ජනප්‍රිය නවකතා රචිකාවකි. රුමිකොගේ නිර්මාණය සැයි ජිං ෂං පුංචි තිරයට ගෙන එන ලදී. චීනයේ යුචොව්, හංතියෑන් වැනි සොඳුරු පළාත්වල රූගත කෙරුණු ‘ද හෝලි පර්ල්’ ලොවේම ආකර්ෂණය දිනාගත් ටෙලි වෘතාන්තයකි. මායාව, වීරත්වය, විනෝදය නාට්‍ය මෙතරම් ජනහදට සමීප කළ රහස්ය.

පුරා විද්‍යා මහාචාර්යවරයකුගේ දියණියක වූ තින් යාඕ නව ග්‍රහ චක්‍රය ගැන වැඩි තොරතුරු සෙවීමට යාමේදී වසර තුන්දහස් පන්සියයක ඈත අතීතයට යන්නීය. එහිදී නන් යූ ඒ අධිරාජ්‍යයා, ෆොන්ටිෆෙක්ස් අග රැජින, රුංති රජු, ෂිං යැං යුඒගේ ආත්ම බඳුන, තින් යාඕගේ ජීවිතයට කරන පෙරළියේ අන්දරය මායාවරුන්ගේ ලෝකයයි. චීන ටෙලිවිෂනයේ කොටස් තිස් හයක් පුරා කතාව දිග හැරිණි.

තින් යාඕ / ගිලියන් චුං

මෙහි ප්‍රධාන තාරකාව තින් යාඕට පණ පොවන්නේ ගිලියන් චුංය. 1981 ජනවාරි 21 වැනි දින හොංකොංහි උපන් ඇය තාරකාවක් පමණක් නොව ගායිකාවක්, ගීත රචිකාවක්, තනු නිර්මාණය කරන්නියක් හා ක්‍රියාදාම වීරවරියක් ද වන්නීය.

මායාවරුන්ගේ ටෙලි නිර්මාණයේ මෙන්ම ඇයට සැබෑ ජීවිතයේදීත් සොයුරියක් සිටින්නීය. ඇය නිවුන් සොයුරියකි. දෙදෙනාම කැන්ටොපොප් නිවුන් සංගීත කණ්ඩායමේ සාමාජිකාවන්ය.

ගිලියන් චුං ලෙස පසුව නම වෙනස්කර ගත්ත ද ගිලියන්ගේ මුල් නම චුං ඩික් - සාන්ය. උපාධිධාරිණියක වූ ඇය සිය නමට ‘ගිලියන්’ යන ඉංග්‍රීසි නම එක්කර ගත්තේ ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන කාලයේදීය.

බොහෝ තාරකාවන් සේම ඇය ද මුලින්ම මෝස්තර නිරූපිකාවකි. ගිලියන් තාරකාවක් වූයේ ක්‍රියාදාම වීරවරියක ලෙස ‘යූ මෑන්’ (2002) සිනමාපටයේ රැඟූ පසුවයි. ‘බියොන්ඩ් අවර් කෙන්’ (2004) ඇයගේ රංගන කුසලතාව ඔප්පු කළ සිනමාපටයකි. එහි රංගනයට ඇයට විචාරක ප්‍රසාදය නොමඳව හිමි විය. ගැම් ෂි ගිං සම්මාන උළෙලේදී හොඳම නිළියට ද ගිලියන් නිර්දේශ වූවාය. බියොන්ඩ් අවර් කෙන් ටෝකියෝ අන්තර් ජාතික සිනමා උළෙලේ ප්‍රදර්ශනය කෙරුණු අතර එය හොංකොං සිනමා ඉතිහාසයේ ඉහළ ආදායම් වාර්තා පිහිට වූ සිනමාපටයකි. ඇය රැ¼ගූ ‘49 ඩේයිස්’ (2006) සිනමාපටය ද ඉහළම ආදායම් ලැබූ සිනමාපට අතර වෙයි.

කීර්තිය, ධනය නොඅඩුව ලැබුණත් ගිලියන්ට සිනමාව රෝස මල් මාවතක් නොවිණි. ඇය, ජැකී චෑං, ඇන්ඩ් ලෝ සමඟ මැලේසියාවේ ප්‍රසංගයකට ගිය විට හොර රහසේ ඇය ඇඳුම් මාරු කරන අවස්ථා ඡායාරූප ගතකර සඟරාවක කවරයේ කතාව ලෙස පළ කිරීමෙන් වරක් ඇය කම්පාවට පත් වූවාය.

පසුව එම සඟරාව ඇයගෙන් සමාව ගෙන නෙගටිව් පත් ද ආපසු භාර දී තිබේ. 2006 සිදු වූ එම සිද්ධියේ උණුසුම මැකී යාමටත් පෙර 2008 දී එඩිසන් චෙන් ඇයගේත්, තවත් නිළිියන්ගේත් නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම විශාල ආන්දෝලනයක් ඇති කළේය. එයින් ඇයගේ ප්‍රතිරූපයට බලවත් හානියක් සිදු විය. ගිලියන් රසික ප්‍රජාවගෙන් සිය අනුවණකමට සමාව ගත්තාය. එනිසාම ඇයට 2008 ඔලිම්පික් සමාරම්භක උළෙලට ද සහභාගිවීමට ඉඩක් නොලැබුණි.

මේ හේතුවෙන් රංගනයට එල්ල වූ බලපෑම කෙතරම්දැයි කිවහොත් වසරකට වැඩි කාලයක් කිසිදු සිනමාපටයකට ඇය සම්බන්ධ නොවූවාය. කිහිප වරක්ම ගිලියන් සියදිවි නසා ගැනීමට ද උත්සාහ කළාය. කටුක අත්දැකීම් පිරි අපල කාලයේදී ඇය කුංෆු, ජිම්නාස්ටික්ස්, ගායනය, නර්තනය, රංගනය හැදෑරුවේ වෘත්තීය මට්ටම වඩාත් ඔප් නංවා ගැනීමටයි. ට්වින්ස් මිෂන්, නරාකා 19, ට්‍රයිවල් මැටර්ස්, ෆොරෙවර් එන්ත්‍රල්ඩ්, ඩබ්ලිව්, ජස්ට් අනදර් පැන්ඩෝරාස් බොක්ස්, එක්ස්, ද ෆැන්ටාක්ටික්ස් වෝටර් බේබ්ස්, සුපර් ප්ලේයර්, නයිට් මෙයාර්, ඇය රංගනයෙන් දායක වූ සිනමාපටයි.

මේ වසරේදී ඇය රැඟූ ලව් රීටේක්, එල්පී මෑන් : ද ෆයිනල් ෆයිට්, ඉන්ෆර්නෝ, ද මිඩස් මච්, ද ෆොක්ස් ලවර් තිරගත වීමට නියමිතයි.

‘ද හෝලි පර්ල්’, ඕල් අබවුට් බෝයිස්, ට්‍රයම්ප් ඉන් ද ස්කයිස්, ද මන්කි කිං කුවෙස්ට් ෆො ද සූත්‍ර, කුංෆු සොකර් වැනි ටෙලි වෘතාන්ත ගණනාවකම ඇය ප්‍රධාන තාරකාවකි. ජර්නි ඔෆ් ද ෆෝචූන් ගෝඩ් 2013 වසරේදී විකාශය කෙරෙන ඇය රැඟූ ටෙලි වෘතාන්තයයි. ගිලියන් 2010 දී කුලුඳුල් කේවල ගීත ඇල්බමය නිකුත් කළාය.

සරාගී තාරකාවක් ලෙස නම කැළැල් වුව ද ඇය තවමත් තනිකඩය.

* තින් යාඕට පෙම් බඳින වන් තියෑන්ට පණ පොවන්නේ පුර්බා යාල්ය. ඔහු ද ගී ගයන තරුවකි. 1985 ජූලි 8 වැනිදා චීනයේ සී චොන් ප්‍රාන්තයේ උපන් ඔහු පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ වයස අවුරුදු ඟසයක් පිරෙන තුරු පමණයි. ඉන් පසු නිවෙසින් පිට වී ජීවත්වීමට විවිධ රැකියාවල නිරත විය. ‘ද ප්‍රින්ස් ඔෆ් ද හිමාලයාස්’ රැඟූ පසු තරු ගායකයකු ලෙස ලෝකයේම ආකර්ෂණය දිනා ගැනිමට තරම් පුර්බා වාසනාවන්ත විය. 2007 විශේෂ ඔලිම්පික් උළෙලේ පරිසමාප්ත උළෙලේ ගී ගැයුවේ ඔහුයි.

රුං තී රජු ලෙස රඟන පැට්‍රික් ටෑම් හතළිස් හතර හැවිරිදි හොකොං නළු ගායකයෙකි. විවාහක ඔහු දෙදරු පියෙකි. 1988 හොංකොං නවක ගායන තරු මංගල්‍යයේ ප්‍රථමයා වී ගායන ලොවට දොරට වැඩි ඔහු 1999 හොංකොං සිනමා උළෙලේ හොඳම සහාය නළුවා වී රංගනයෙන් සමත්කම් පෑවේය.

* කුවෝ චන් නී, මූලියන් ලෙස රඟන්නීය. තිස් එක් හැවිරිදි ඇය රූපවාහිනී නාට්‍ය විස්සකට වඩා රඟපා ඇති නිළියකි. ලාන් හූවා හුවා ඇය රඟපා ඇති එකම සිනමාපටයයි.

මායාවරුන්ගේ ලෝකයේ රජ කරන සෙස්සෝ:

* මහාචාර්ය තින් - ෂු යාඕ ෂුවාන්
* වන් තියෑන් – පුර්බා යාල්
* රුං ති රජු - පැට්‍රික් ටෑම්
* මූලියන් – කුවෝ චන් නී
* තිං ෂිං - ෂ් යොචුමිං
* වූ තාඕ – ජියොං ඊ
* යූ ත්‍රියේ - ලී කියෑන්
* මෝ යින් - ලූ තිං යූ

හඬ මුසු කළෝ:

* කරුණාරත්න අමරසිංහ – මහාචාර්යතුමා
* නීලිකා මද්දුම – මියුවා දෙවඟන
* ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ – රුංති රජු
* චේතනා කැටගොඩ – තින් යාඕ
* ලක්මාලි වෙලගෙදර - ෆාන්ටිෆෙක්ස් මොයින් (අග රැජිණි)
* චරිත් සේනානායක – මායා රජු
* සේනානි වික්‍රමසිංහ - සිං චිං
* ඩිෂාන් ෂාමින්ද – වන් තියෑන්
* නිලාන් වර්ණජිත් – වූ තාඕ
* තාරක මඩවිට විතානගේ - සෙන්පති
* ජයනි රංජානා - යූ තීයේ
* ඉරේෂා ලක්මාලි - මායා දේවි
* ලසදුනී ජයවර්ධන – මූලියන්
* තනාකා තාරකී - ෂියැං යූ ඒ

ඇතුළු පිරිස

තේමා ගී තනු - ජයන්ත රත්නායක

තේමා ගී ගැයුම – ඇන්ජලින් ගුණතිලක, මරියෝ ආනන්ද

හඬ කැවීම, නිපැයුම, මෙහෙයුම, සංස්කරණය හා තේමා ගී පද – හඬ කැවීම් අංශයේ අධ්‍යක්ෂ - අතුල රන්සිරිලාල්