වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවට වසන්තය රැගෙන අලුත් චිත්‍රපට රැසක්

එනවා! එනවා! මේ වසරේ එනවා

සිනමාවට වසන්තය රැගෙන අලුත් චිත්‍රපට රැසක්

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම

පරා වළලු

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම මුලින්ම

* සමනළ සංධ්වනි
* බෝම්බ සහ රෝස
* රන් කෙවිට 02
* අභිනික්මන
* පරාවර්ථනය

මේ වසරේ නිසැකවම තිරගත වේ

පසුගිය වසරේ තිරගත වූ චිත්‍රපට රැසකි. ඇතැම් ඒවා පේ‍්‍රක්ෂකයින් නැවතත් සිනමා ශාලාවලට අද්දවා ගනිමින් ආදායම් වාර්තා තැබීමට ද, විදෙස් රටවලින් සම්මාන හිමිකර ගැනීමට ද සමත් විය. නමට පමණක් චිත්‍රපට වූ ඒවා ද ඒ අතර තිබිණ. කෙසේ නමුත් කුමන අන්දමින් හෝ අප සිනමාව විවිධ නිර්මාණ බිහි වෙමින් ඉදිරියට යනු දැකිය හැකියි.

මේ වසරේ ද අඩුවක් නොමැතිව සිනමාපට බොහොමයක් ප්‍රේක්ෂකයන්ගේ මනදොල පිනවීමට සැදී පැහැදී බලා සිටියි. ඒවාහි ගුණදොස් රුචි අරුචිකම් විනිශ්චය කිරීම මතුවට ඔබට ඉඩ තබා මේ සූදානම් වන්නේ ඉන් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන ඒමටය. විවිධ තේමාවන් ඔස්සේ නේක රස වින්දන පරාසයන් ස්පර්ෂ කොට තැනුණු සිනමාපටයන් මේ වසරේ තිරගතවීමට නියමිත බව පවසන්නේ සතුටිනි. මේ ඒවායින් අවුරුද්දේ පළමු මාස කිහිපය තුළදී තිරගත වන චිත්‍රපට පිළිබඳ තොරතුරුයි.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම අලුත් අවුරුද්දේ හා හා පුරා කියා තිරගත වන චිත්‍රපටයයි. සිදුහත් කුමරුවන්ගේ ජීවිත කතාව ඇසුරු කොට සමන් වීරමන්ගේ අධ්‍යක්ෂණයෙන් යුතු එහි ඉන්දීය නළු නිළියන් රැසක් චරිත මවන චිත්‍රපටයකි.

ඉන්දියාවෙන් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම හැඩ කරන නළු නිළියන් සහ චරිත මෙසේය. සිද්ධාර්ථ කුමරු ලෙස ගගන් මලික් ද, යශෝධරා දේවිය ලෙස අන්චල් සිං ද, මහමායා දේවිය ලෙස අංශු මලික් ද, දෙවුදත් ලෙස ගෞතම් ගුලාටි ද වේ.

මෙරටින් රන්ජන් රාමනායක, ජීවන් කුමාරණතුංග, බුද්ධදාස විතානාච්චි, ඩග්ලස් රණසිංහ, රොෂාන් රණවන, සාරංග දිසාසේකර, ඇන්ජි පෙරේරා චරිත මවති.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නවීන් ගුණරත්නගේ නිෂ්පාදනයකි.

ජයන්ත චන්ද්‍රසිරි නම් ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂවරයා ගැන අමුතුවෙන් පැවසිය යුතු නොවේ. ස්වකීය අනන්‍යතාවය යටතේ සිනමාත්මක භාෂාව මනාව හසුරවමින් ඔහුගේ නවතම සිනමා කෘතිය සමනළ සංධ්වනිය මේ වසරේදී තිරගත වීමට නියමිතයි.

බහුචිතවාදියා

අභිනික්මන

සමනළ සංධ්වනිය ඔස්සේ ජයන්ත මෙවර අපව රැගෙන යන්නේ අනූව දශකයේ මුල භාගයටය. වගීෂ නම් අති දක්ෂ යොවුන් සංගීතඥයකු ඔහුට වඩා වයසින් මුහුකුරා ගිය කාන්තාවක කෙරෙහි බැඳුණු ගැඹුරු අධ්‍යාත්මික ප්‍රේමයක් පසුබිම් කර ගනිමින් ජයන්ත මෙහි තිර පිටපත සකස් කොට තිබේ. උද්ධික ප්‍රේමරත්න මෙහි වදීෂ වෙයි. යශෝධා විමලධර්ම වැඩිහිටි කාන්තාවගේ චරිතය මවයි.

රොජර් සෙනෙවිරත්න, බුද්ධදාස විතානාච්චි, විල්සන් ගුණරත්න, දමිතා අබේරත්න, පුබුදු චතුරංග, චතුරිකා පීරිස්, රොෂාන් පිලපිටිය, දිමුතු චින්තක, සඳුන් බණ්ඩාර, රෙබෙකා නිර්මලී, ජයතිස්ස අතුලසිරි සමඟ රිදී තිරයට හඳුන්වා දෙන සූර්ය සඳරුවන් ඇතුළු පිරිස සමනළ සංධ්වනිය රංගනයෙන් හැඩ කරති.

මෙය රූ සිනමා වෙනුවෙන් රුවන් ජයසිංහ සහ පාලිත ගුණවර්ධනගේ නිෂ්පාදනයකි.

අනුරුද්ධ ජයසිංහට නම් මේ වසර සුබ වේවි. ඒ සියලුම වැඩ අවසන් කොට කාලාන්තරයක් තිස්සේ ළඟ තියාගෙන සිටි ඔහුගේ දෙවැනි සිනමා කෘතිය බෝම්බ සහ රෝස මෙම වසරේදී තිරගත වන නිසා. මේ වන විට අතිශය ජනප්‍රිය තරුවක් වන විශ්වනාත් කොඩිකාර කුලුඳුලේ රංගන දායකත්වය සැපයූ නිර්මාණය වන්නේ මෙයයි. අනුරුද්ධගේ පළමු සිනමාපටය වන සංක්‍රාන්ති ගිය මඟ නොව වෙනත්ම ආකෘතියකට ඔහු තැනූ බෝම්බ සහ රෝස හි මහේන්ද්‍ර පෙරේරා, උපේක්ෂා ස්වර්ණමාලි, බිමල් ජයකොඩි, ශ්‍රියාණි අමරසේන, ජයනි සේනානායක, සෝමසිරි අලකොලංග, සම්පත් ජයවීර, සරත් කොතලාවල, කලණ ගුණසේකර ආදීහු චරිත මවති.

මෙය එරික් මාකෙවිට සහ ලකී ඉන්ද්‍රාන්ගේ නිෂ්පාදනයකි.

කලකට පසු මෙරටට පැමිණි විශිෂ්ට රංගධර සොමී රත්නායකගේ රංගනය ඇතුළත් පරාවර්ථනය තිරගත වන්නේ ද මෙම වසරේදීයි. එය අත්දැකීම් බහුල කැමරා අධ්‍යක්ෂවරයකු වන ජයනාත් ගුණවර්ධනගේ කුලුඳුල් අධ්‍යක්ෂණයයි. ගායන ශිල්පිනී අමිලා නදීශානි මුල්වරට චිත්‍රපටයක රංගනයේ යෙදෙන්නේ මෙහිය. සොමීගේ රංගන විරාමය නිමාවන පරාවර්ථනයෙහි පුබුදු චතුරංග, දුලානි අනුරාධා, ගීතා කාන්ති ජයකොඩි, බිමල් ජයකොඩි, නලීන් ප්‍රදීප් උඩවෙල, මොරීන් චාරුණී, සරත් කොතලාවල, සංජය ලීලාරත්න, සමන් වීරසිරි, අරුණ ධම්මික, සකුණි මල්ලවආරච්චි රංගනයෙන් හැඩ කරයි.

මෙය මොහොමඩ් මුජාහීඩ්, එම්. ඒ. සී. ආර්. ඩයස් සහ ජයනාත් ගුණවර්ධනගේ නිෂ්පාදනයකි.

පරාවර්ථනයෙහි විශේෂත්වයක් ඇත. ඒ මෙහි සියලුම නළු නිළියන් දර්ශන තලයට යන තෙක් තමන්ට රඟපාන්න ඇත්තේ කුමක්දැයි නොදැන සිටීමය.

වේදිකාවේ වසර ගණනාවක් රැඳී සිටි ප්‍රකට නාට්‍යවේදී හෙක්ටර් කුමාරසිරි අභිනික්මන තුළින් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බවට පත් විය. එය ද මෙම වසරේ ප්‍රදර්ශිත නාම ලැයිස්තුවට ඇතුළත්වේ.

ජෝ අබේවික්‍රමයන් අවසන් වරට චරිත මැවූ අභිනික්මන බෞද්ධ සාමණේර හිමි නමක් වටා ගෙතී ඇති කතා පුවතකි. සුදර්ශන බණ්ඩාර විසින් එම චරිතය රඟනු ලබයි. අයිරාංගනී සේරසිංහ, ඩබ්ලිව්. ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා, මල්කාන්ති ජයසිංහ, නිමල් චන්ද්‍රසිරි, රනිල් කුලසිංහ, ලෝචනා ඉමාෂි, රුවන් දිනේෂ්, කාවින්ද ශ්‍රීමාල් අභිනික්මනහි නළු නිළියන් වේ.

සමනළ සංධේවනි

උදයකාන්ත වර්ණසූරියගේ රන්කෙවිට චිත්‍රපටය ඔබට මතකද? ත්‍රිමාණ තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කළ ගොපළු යකා තිරයට ගෙනා එම සිනමාපටයෙන් බාල මහළු කොයි කවුරුත් මහත් ආශ්වාදයක් වින්දා. එම කතාව නිම වූ තැනින් උදයකාන්ත තවත් චිත්‍රපටයක් කළා. ඒ රන්කෙවිට II ගොපළුගේ වික්‍රම නමිනි.

එය තිරගත වන්නේ ද මේ වසරේදීයි. බෙනට් රත්නායක, ආනන්ද වික්‍රමගේ, සමන් හේමරත්න, චතුර පෙර්රා, සුසන්තා චන්ද්‍රමාලි, සංගීතා බස්නායක, ඉෂාම් සම්සුදීන්, ජනේෂ් සිල්වා, අසේල ජයකොඩි, හරිත් සමරසිංහ, දොන් ගයි සමඟ ත්‍රිමාණ ගොපළු මෙම චිත්‍රපටය රංගනයෙන් ආනන්දනීය කරති. මෙය ප්‍රවින් ජයරත්න, සුරංග ජයසූරිය, ජනිත මාරසිංහ සහ උදයකාන්ත වර්ණසූරියගේ නිෂ්පාදනයකි.

මේ වසරේ තිරගත වේ යැයි නිශ්චිතවම පැවසීමට නොහැකි වුණත් තවත් චිත්‍රපටයන් ප්‍රේක්ෂකයන් හමුවීමට සූදානමිනි. හෙළ සිනමා කිවිදිය සුමිත්‍රා පීරිස්ගේ වෛෂ්ණාවි, ඉනෝකා සත්‍යාංගනීගේ සින්ඩරෙල්ලා, එරංග සේනාරත්නගේ ඇතුවත් බෑ නැතුවත් බෑ, සනත් අබේසේකරගේ සිරි දළදාගමනය, නිලේන්ද්‍ර දේශපි‍්‍රයගේ තන්හා රති රඟා, පි‍්‍රයංකර විතානච්චිගේ සැමීගේ කතාව, සෝමරත්න දිසානායකගේ සිරිපැරකුම්, ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ කෝ මාක් නෝ මාක්, මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා, ප්‍රසන්න විතානගේ ගේ ඔබ නැතිව ඔබ එක්ක, සුනෙත් මාලිංග ලොකුහේවාගේ සුරංගනා ලොවින් ඇවිල්ලා ඉන් කිහිපයකි. මේවා පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී අප ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.

බෝම්බ සහ රෝස

ඔබ නැතුව ඔබ එක්ක

රන් කෙවිට 2

සුරංගනා ලොවින් ඇවිල්ලා