වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




මේ බොලිවුඩ් රැජනන්ගේ වසරයි

මේ බොලිවුඩ් රැජනන්ගේ වසරයි

2012 වසර ගෙවී ගියේ තරුවල බලපරාක්‍රමය තවදුරටත් තහවුරු කරමිණි. අමීර්, ෂාරුක්, සල්මන්, රන්බීර් තරුවල කාන්තියෙන් තාරකා වැසී ගියේ එතරම් විශේෂ මතකයක් ඉතිරි නොකරය. එහෙත් උදා වූ නව වසර බොලිවුඩයේ ජය පිට ජය නංවමින් සිටින නිළි නාම ලේඛනයේ සියලු දෙනාම පෙරට ඇවිත් සිටින්නේ සුපිරි සිනමාපට ලැයිස්තුවක් සමඟයි. 2013 තාරකා රජයන වසරක් වීමට වැඩි ඉඩකඩක් ඇත්තේ ඒ නිසයි.

දීපිකා පදුකෝන් රඟන ‘රේස් 2’, ‘යේ ජවානි හෛ දීවානි’, ‘කොච්චාඩියන් සහ චෙනායි එක්ස්ප්‍රස්’ මේ වසරේදී තිරගතවීමට නියමිතය. ‘ගුන්ඩේ’, ක්‍රිෂ් 3’, ‘මේරි කොම්’ සහ ‘සන්ජීර්’ ප්‍රියංකා චොප්රා රඟන සිනමාපටයි.

මේ වසරේදී දැනට තිරගතවීමට ඇත්තේ කත්‍රිනා කායිෆ් රඟන එකම එක සිනමාපටයකි. ඒ ‘ඩූම් 3’ ය. සෝනම් කපූර්ගේ ද සිනමාපට ත්‍රිත්වයක් පෝලිමේ තිබේ. ඒ ‘භාග් මිඛා භාග්’, ‘රාජ්නා’ සහ ‘කූබ්සූරත්’ය. ‘කූබ්සූරත්’ 1980 දී රේඛා රැගූ සිනමාපටයේ ප්‍රතිනිර්මාණයකි. සෝනම් මෙහි රඟපෑමට පෙර රේඛාගෙන් උපදෙස් ලබාගෙන ද තිබේ.

කරීනා කපූර්ගේ ‘සත්‍යග්‍රහ්’ සහ සෝනක්ෂිගේ ‘වන්ස් අපෝන් අ ටයිම් ඉන් මූම්බායි 2’ සහ ‘ලුටෙරා’ ද තරගයට පෙළ ගැසී සිටී. විද්‍යා බාලන්ගේ ‘සන්චක්කර්’ සහ අනුෂ්කා ෂර්මාගේ ‘මතෘ කි බිජ්ලී කා මන්දෝලා’ ද 2013 සිනමාපට අතර සුවිශේෂීය. අතිශය සාර්ථක වූ විද්‍යාගේ ‘කහානි’ දෙවැන්නක් ද බොහෝ විට මේ වසරේදී බලාපොරොත්තු විය හැකියි.

 

හිරේ නොගියොත් හිරයක් ගන්නවා

ඓශ්වර්යා සහ සල්මන් ඛාන් යනු මෑත ඉතිහාසයේ විරහවෙන් අවසන් වූ බොලිවුඩයේ සුපිරි පෙම් පුවතක ප්‍රධාන චරිත දෙකයි. ඒ වෙන්වීමෙන් පසු දෙදෙනා එකිනෙකා මුණ නොගැසී සිටීමට වගබලා ගත්හ. එහෙත් මෙවර නත්තල් සාදයකදී දෙදෙනා මුණ ගැසී ඇත්තේ නොසිතූ විරූ ආකාරයටයි.

සල්මන් නත්තල් සාදයට පැමිණ තිබෙන්නේ පාන්දර දෙකටය. අභිෂේක් සහ ඈෂ් පාන්දර තුනට පමණ පැමිණ තිබේ. සල්මන් දෙදෙනා උණුසුම් සෙනෙහසින් පිළිගෙන ඇති අතර අභිෂේක් සමඟ ඔහු දිගු වේලාවක් සුහද කතාබහක යෙදී ඇත. ඓශ්වර්යා කතාවට ඉඩදී අභිෂේක් සොයුරිය ස්වේතා සමඟ පසෙකට වී සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

බච්චන් පවුල සහ සල්මන් ඛාන් පවුල අතර ඇත්තේ දිගුකාලීන මිතුදමකි. එහෙත් ඈෂ් බච්චන් පවුලට සම්බන්ධ වීම නිසා මේ සබඳතාව දෙදරා ගියේය. උදා වූ නව වසර දෙපාර්ශ්වයම සුපුරුදු හිතවත්කමින් පිළිගැනීමට සූදානම් බවට මේ සුහද කතාබහම ඉඟියකි.

සල්මන් ඛාන් සිය හතළිස් හත් වැනි උපන් දිනය සැමරුවේ දෙසැම්බර් 27 වැනිදායි. ජීවිතයේ පනස් වැනි සැතපුම් කණුවට තව වසර තුනක් පමණක් ඉතිරි වී ඇතත් තවමත් බොලිවුඩයේ වැඩිම ඉල්ලුමක් තිබෙන තනිකඩයා ඔහුයි. එනිසා සල්මන්ගේ විවාහය ජාතික මට්ටමින් කතාබහට ලක්වන්නක් වී අවසානය.

දැනට සල්මන්ට විරුද්ධව ජෝද්පූර් සහ මූම්බායි උසාවිවල නඩු දෙකක් ඇසෙමින් පවතී. මෑතකදී සල්මන් රූපවාහිනී වැඩ සටහනකට සහභාගි වෙමින් කියා සිටියේ නඩුවලින් නිදහස් වූ පසු පමණක් තමන් විවාහයක් ගැන සිතන බවයි. ‘බිරියට දරුවාත් සමඟ තමාව බැලීමට සිරගෙයට ඒමට සිදු වුණොත් මොන අපරාධයක් ද?’ සල්මන් වැඩසටහනේදී සිනාසෙමින් එසේ පැවසීමට ද අමතක නොකළේය.

මේ දිනවල වෛද්‍යවරු සල්මන්ට ක්‍රියාදාම සිනමාපටවල රැඟීමට ද තහනම් කර තිබේ. ඒ ඔහුගේ මොළයේ රුධිර නාලයක රුධිර කැටියක් ඇති නිසයි. ‘සැත්කමකින් රුධිර කැටිය ඉවත් කළොත් පෙනීම, ශරීර සමබරතාව නැති වෙනවා. ඒ නිසා වෛද්‍යවරුන් ක්‍රියාදාම සිනමාපටවල රඟ නොපා, කෝපයට පත් නොවී, රුධිර පීඩනය පරීක්ෂා කරමින් සිටින ලෙස උපදෙස් දී තිබේ.

කොහොම වුණත් ක්‍රියාදාම දර්ශනවල රඟ නොපා සිටින්න නම් බැහැ. ප්‍රේක්ෂකයන් මගේ සටන් ජවනිකා බැලීමට මුදල් ගෙවනවා නම් මං ඒ දේ කළ යුතුයි.’ රසිකයන්ට ඇති දැඩි ඇල්ම නිසා සල්මන් එසේ පැවසුවත් එය රසිකයන්ගේ මොළයේ රුධිර කැටි වැඩි කරන පිළිතුරක් වූ බව නම් නොඅනුමානයි.

අනිල්, ජෝන් ගී ගයති

නළුවෝ ගී ගැයුවේ අදක ඊයෙක නොවේ. භාරත සිනමා වංශ කතාවේ ආරම්භයේ සිට අද දක්වාම ඊට නිදසුන් ඕනෑතරම්ය. අමිතාබ් බච්චන්, අමීර් ඛාන්, සංජේ දත්, ෂාරුක් ඛාන්, රිතික් රෝෂන් මෑතක ගී ගැයූ නළුවන්ට හොඳම උදාහරණයි.

ඔවුන් ගිය අඩි පාරේ යාමට අලුතින්ම සූදානම් වන්නේ අනිල් කපූර් සහ ජෝන් ඒබ්‍රහම්ය. සන්ජේ ගුප්තාගේ ‘ෂූට් අවුට් ඇට් වාදලා’ සිනමාපටයෙන් දෙදෙනාම ගායකයෝ බවට පත් වී සිටිති. සිනමාපටය තිරගතවීමට නියමිතව ඇත්තේ මැයි පළමුවැනි දිනටයි.

ඔවුන්ගේ ඇසට ප්‍රිය රංගනය කනට මිහිරි හඬක් ගෙන ඒවිද?