වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඉනෝකාගේ 3 Face බිෂොප් විද්‍යාලයේදී

ඉනෝකාගේ 3 Face බිෂොප් විද්‍යාලයේදී

එම්. ටී. වී. ආයතනයේ ප්‍රධාන අංග රචනා ශිල්පිනි ඉනෝකා උෂාණී හේවා රණසිංහ ඉදිරිපත් කරන ඒක පුද්ගල චිත්‍ර හා අංග රචනා (Body Paint) ප්‍රදර්ශනය මේ මස 6 සහ 7 යන දෙදින තුළදී සවස 2 සිට 7 දක්වා කොළඹ බිෂොප් විද්‍යාලයීය රංග ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.

අංග රචනා ශිල්පයේ විවිධ ඉසව් ස්පර්ශ කරමින් මෙවැනි ප්‍රදර්ශනයක් මෙරටදී පැවැත්වෙනුයේ ප්‍රථම වතාවටයි. ඒ පිළිබඳ ඉනෝකා අදහස් දක්වන්නේ මෙසේයි.

‘මම මාතර සිට කොළඹ ඇවිත් වසර ගණනක් තිස්සේ ස්ව අධ්‍යනයෙන් ඉගෙන ගත් මේ ශිල්පයට ජාත්‍යන්තර වටිනාකමක් ලබාදීම මගේ අරමුණ. විවිධ මිනිසුන්ගේ රූප සොබාවන් පමණක් නොවෙයි, ගහ කොළ සතා සීපාවුන්ගේ හැඩතලත් මේ ප්‍රදර්ශනයට ඇතුළත්. ඒ වගේම කුඩා කළ ඉඳන් මට චිත්‍ර ඇදීමේ හැකියාවක් තිබුණා. ඒ හැකියාවෙන් පරිසරය පිළිබඳ නිර්මාණය වුණු චිත්‍රත් මේ ප්‍රදර්ශනයට ඇතුළත්. මම මේ ප්‍රදර්ශනය නව මානයකට ගෙන යනවා. බොඩි පේන්ට් කියන කලාව තවම ලංකාවේ ජනප්‍රිය නැහැ. හැබැයි ජාත්‍යන්තරව ලොකු පිළිගැනීමක් තියෙනවා. අන්න ඒ නිසා මෙවැනි ප්‍රදර්ශන හරහා ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙන යෑමත් මගේ අරමුණක්. මහරාජා සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ සහෝදර කලා ශිල්පීන් මේ සඳහා ලබා දෙන සහයෝගයත් මම විශේෂයෙන් මතක් කරනවා.

මම මේ ප්‍රදර්ශනය නම් කරලා තියෙන්නේ ‘3 Face ’කියලා. ප්‍රදර්ශනය ආරම්භ වෙන වෙලාවට තව සජීවී වැඩසටහන් රාශියකුත් සංවිධානය වෙලා තියෙන්නේ. මේ ශිල්පය ඉතාම නිර්මාණශීලීව ප්‍රගුණ කළ යුතු දෙයක්. අනිත් කරුණ තමයි මේ සඳහා මිනිසුන්ගේ විවිධ ඉරියව් හා චර්යා රටාවන් භාවිත කිරීම. ඒ නිසායි මේ වගේ ප්‍රදර්ශනයක වටිනාකම රැදී තියෙන්නේ.’

ඉනෝකාගේ මේ ප්‍රදර්ශනය නොමිළයේ පවත්වන්නකි. මේ සඳහා සරසවිය පාඨක ඔබට ඉනෝකා සහභාගී වන ලෙස ලෙංගතුව ආරාධනා කර සිටින්නීය.