වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




මාත් එක්ක ඔබත් එන්න අතීතයට පිය නඟන්න

මාත් එක්ක ඔබත් එන්න අතීතයට පිය නඟන්න

සුනිල් ආර්. ගමගේ ලියූ ගී ඇතුළත් තැටි 06 ක් සහ පොතක් දොරට වඩියි

ඈතින් ඇසුණේ ජෝතිපාල ගයන ටජ් මහලක් තනවන්න බෑ මට’ ගීතයේ තාලයට ගැයෙනා පදවැලක්. ඒ ගීතය පාසල් ළමුන් අහගෙන සිටියේ මීයට පිම්බා වගේ. ගීත ගැයුම අවසානයේ ඇසුනු වේගවත් අත්පොළසන් හඬ මුළු පාසලම දෙවනත් කරන්නට තරම්.

‘කවුද මේ අලුත් ගායකයා’

ගුරු විවේක කාමරයට වෙලා හිටිය පෙරේරා ටීචර්ගේ හිතේ ඇති වුණේ කුකුසක්. ඈ ඉන් එළියට ආවේ මේ ගායකයාගේ හැඩරුව හිතේ ඇදගන්න හිතාගෙන. ඔහුගේ රුව ඇගේ හිතේ ඇඳ ගත්ත පෙරේරා ටීචර් මේ සිසුවා ගැන සොයා බලන්නත් අමතක කළේ නෑ. ගී ගයන්නට වගේම කවි පද කුරුටු ගාන්නටත් මේ කොලු ගැටයට තිබුණේ අපූරු දක්ෂතාවයක්. ඒ කවි පද අතට ගත්ත පෙරේරා ටීචර්ගේ දෙනෙත් දිළිසුණා.

‘මම මේ කවි ටික ගන්නද සුනිල්?’

ටීචර් ඇහුවේ සුනිල් ආර්. ගමගේ කියලා ගීත ලොවේ නමක් දිනාගෙන සිටින මේ කොලු ගැටයාගෙන්. මුතුවන් දත් දෙපොළ විහිදලා සුනිල් හීනියට හිනා වුණා. සුනිල් හරියට හිනාවෙන්නේ කළුවරේ පොල් කනවා වගේ කියලයි පෙරේරා ටීචර්ට හිතුණේ. සතියක් ගෙවිලා ගියේ ඉබේටම වගේ.

‘සුනිල් ලිව්ව කවි පෙළක් මිහිර පත්තරේ පළ වෙලා’

යාළුවෙක් සුනිල්ට කිව්වේ අපූරු කතාවක්. සුනිල්ටත් පුදුමෙනුත් පුදුමයි.

‘පෙරේරා ටීචර්ගේ මහත්තයා වැඩ කරන්නේ මිහිර පත්තරේ’

මේ අගමුල නැති ප්‍රහේළිකාව විසඳුවේ සුනිල්ගේ යාළුවෙක්. එතකොටම සුනිල්ට මතක් වුණේ පෙරේරා ටීචර්ව. පෙරේරා ටීචර්ගේ මහත්තයා විමලසිරි පෙරේරා. ඔහු එවකට මිහිර පත්තරේ හිටිය කතුවරයා. ඒ වගේම නම දිනූ කවියෙක්. පුංචි කාලේ හිතේ නැගුණු සුනිල්ගේ කවි පදවලට අර්ථයක් ලැබුණේ ඒ ආකාරයට. දිනෙන් දින ඔහුට කවි පද බඳින්නට තිබුණු ආශාව දැඩි වුණා. ඒ විතරක් නෙමෙයි, ගීතයටත් මේ කොලු ගැටයගේ හිත යොමු වුණේ සංසාර පුරුද්දට වගේ.

සුනිල් වඩාත් ආදරය කළ සුජාතා අත්තනායක යුවළ හඳුනා ගන්නට ලැබෙන්නේ මේ අතරදී. ගීයක් පටිගත කරනවා නරඹන්නට සුනිල්ගේ හිතේ උපදින්නේ දොළ දුකක්. ඒ දොළ සංසිඳවා ගන්නට ගිය සුනිල් ගීත රචකයෙක් වෙන්නේ ඉබේමයි. ‘මංගල කසී සළු’ ගීතය සුජාතා අත්තනායක කියන ආදරණීය කෝකිලාවියගේ හඬින් ඇහෙද්දී සුනිල්ට පුදුමයි.

‘සුනිල් ආර්. ගමගේ’

ප්‍රවීණ ගීත රචකයකුවීමේ අක්මුල් නිර්මාණය වුණේ එහෙමයි. අද රටක් දන්න හඳුනන, ආදරය කරන මේ සොඳුරු මිනිසා පසුගිය දිනක අපට හමු වුණේ තවත් අලුත් කටයුත්තක සුබ ලකුණු සමඟිනුයි.

‘මම අලුත් වැඩක් කළා. මෙතෙක් මා ලියූ ගීත එකසිය දාසයක් අඩංගු සංගත තැටි 06 ක්, ඒ ගීත අඩංගු පොත් පිංචක් පසුගියදා එළි දැක්වුණා. ඉන් ගීත 16 ක් ළමා ගීත. ඒ ගීත 16 වෙනම සංගත තැටියක්. සුජාතා අත්තනායක, නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, කරුණාරත්න දිවුල්ගනේ, අමරසිරි පීරිස්, දීපිකා ප්‍රියදර්ශනී, ප්‍රදීපා ධර්මදාස, ජානක වික්‍රමසිංහ, නිරෝෂා විරාජිනී, මිත්‍ර කපුගේ, සහේලි ගමගේ, සුරංජි ශ්‍යාමලිත් ඇතුළු කලාකරුවන් රැසක් ගයන ගීත එහි අඩංගුයි.

ඔහුගේ ළෙන්ගතු හඬ අවදි වුණා. ඔහු රචනා කළ ගීත අහන කොට අපේ හිත්වලට දැනෙන්නේ සංවේදී බවක්. ඒ සංව්දී බවට යටින් දැනෙන කම්පනය කොයි තරම් ද කියලා ඔබටත් දැනෙනවා සිකුරුයි.

‘අපට එහෙම දැනෙන මේ ගීතවල පද කුරුටු ගෑ ඔබගේ සිත කොයි තරම් සංවේදීද?

මං ඇහුවා.

දෙනෙත්වල නැඟණු කඳුළු කිව්වේ ඒ ප්‍රශ්නයට උත්තරයක්. ඔබත් මමත් ආදරය කරන ඒ ගීත කිහිපයකම සංවේදී මතකය ඔහු සිහිපත් කළා මෙතෙක් කාටවත් නොකී කතාවකින්.

කමල් කියන්නේ මගේ ළඟම මිත්‍රයෙක්. පාසල් කාලෙදි ළඟින්ම හිටියා. මේ මිත්‍රයා ඉන් පස්සෙත් මගේ හොඳම මිත්‍රයා වුණා. එකට ගමන් බිමන් ගිය අපි අතර තිබුණේ සහෝදර බැම්මක්. කමල්ට පෙම්වතියක් හිටියා. ඈ ස්වර්ණා. පාසල් ප්‍රේමයක් වුණු නිසාම ඒ කාලේ අපි තුන් දෙනා කතාකර කර හිටියේ එකටමයි. කාලය ගෙවිලා ගියා. දවසක් මාත් එක්ක කමල් මහරගම ඉඳලා කොළඹ එන්න බස් එකට නැග්ගා. බස් එක විජේරාමෙට ළං වුණා. පිරිමි ළමයකුගේ අතේ එල්ලිලා බස් එකට නැග්ග ගැහැනු ළමයයෙක් ළඟ මගේ නෙත නතර වුණා. ‘ස්වර්ණා’ මගේ හිතේ නැගුණේ කුහුලක්. මගේ නෙත නතර වුණේ කමල්ගේ මූණේ. කම්පාව, පරාජය, ගැබ් වෙලා තිබුණ ඒ මූණ කිව්වේ ඒ ස්වර්ණා කියලමයි.

‘මමත් කාලයක් ආදරය කළානේ’

ඔහු කිව්වා. ටික වෙලාවක් ගත වුණා. ස්වර්ණා පෙම්වතාගේ අතේ එල්ලිලා බැහැලා ගියේ මුහුද පැත්තට. ඈ ඔහුගේ අතේ එල්ලිලා උන්න ආකාරය මගේ හිත අරගෙන ගියේ අතීතයට. ගෙදර යනතුරු මට ඉවසිල්ලක් තිබුණේ නෑ. ගෙදරට පය තිබ්බා විතරයි කමල්ගේ හැඟීම මං පදවලට පෙරළුවා.

‘ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මට ද ආදරේ කියා තිබේ’

ටික කාලයක් ගෙවිලා ගියා. මාව හොයාගෙන ආවේ ඥාති පුත්‍රයෙක්. මටත් සිද්ධ වුණේ ඕකමයි. ඔහුගේ හඬ මට දැනුත් ඇහෙනවා වගෙයි.

තවත් දවසක් මම ගෙදර ආවේ හැන්දෑ වෙලා. මිදුලට වැටුණුු රාස්සිගේ අව්වේ පුතා එහාට දිව්වා, මෙහාට දිව්වා. ඔහුගේ මේ දිවිල්ලේ තරම මං බලාගෙන හිටියේ ඈතට වෙලා. රන්වන් පාට පැහැයෙන් දිලෙන සමනලයෙක්. ඌ අල්ලන්න හිතන පුතා වැටි වැටි ඌ පස්සේ දිට්වා. සමනලයාගේ පිහාටු ඉර එළියේ දිළිසුණා. මගේ හිතට දැනුණේ දුක්මුසු බවක්. කඩදාසියත් පෑනත් මේසය ළඟ දැඟලුවා. පෑන අරගෙන මං මෙහෙම ලිව්වා.

‘නිල් කටරොළු මල් ගොමුවේ
පැණි උරනා සමනලයෙක්
මිදුලේ දුව පැන නටනා
පුතුගේ අතේ ගල් අහුරක්
කුරුමානම වැරදුනාට කමක් නෑ පුතේ
සතුනට හිංසා වද දී නොවෙන් පුතේ දඟ ළමයෙක්’

දවසක්, මගේ මිත්‍රයෙක් එක්ක තැපැල් කන්තෝරුවට ගියේ හදිස්සියේම වගේ. එදා පැන්ෂන් පඩි දෙන දවස. මගේ නෙත නතර වුණේ ඒ පෝලිමේ ඉන්න වයසක ජෝඩුවක් ළඟ. ඒ දෙන්නට තිබුණේ ආදරණීය හැසිරීමක්. ආදර බැලුම් හුවමාරුව, බොහොම ප්‍රේමණීයයි. හරියට යෞවන ප්‍රේමවන්තයෝ වගේ. මගේ ළඟ හිටිය මිත්‍රයා මට ළං වුණා.

‘අඳුනනවද දෙන්නා’

‘නෑ’

මම ඔළුව වැනුවා. ඔහු කිව්වේ අපූරු කතාවක්.

‘ඒ දෙන්නා ප්‍රේමවන්තයෝ. ඒත් බැඳලා නෑ. මොකක්දෝ ප්‍රශ්නයක් උඩ මේ දෙන්නා වෙන්ව ඉන්න තීරණය කරලා. පැන්ෂන් පඩිදාට මුණ ගැහෙන දෙන්නා කඩයකට ගිහින් තේ බීලා වෙන් වෙලා යනවා. ඔන්න ඕකයි දෙන්නගේ ආදරේ.’

‘මේක ඇත්තක්ද?’

දෙන්නා එළියට එනතුරුයි මම බලාගෙන හිටියේ. එක පාරටම වැටුණේ වැස්සක්. ගැහැනු කෙනාගේ අතේ තිබුණු කුඩය ඉහිළුණා. දෙන්නම පිය මැන්නේ අර කිව්ව කඩයට. තේ බීලා එළියට ආව දෙන්නම බස් රථ ගාලට ආවේ ගෙදර යන්න. ගැහැනු කෙනා බස් එකට නැග්ගා.

‘ඔය කුඩේ අරගෙන යන්න’

ඈ කිව්වා.

‘ඔයා තෙමෙන්න එපා’

ගැහැනු කෙනාට කුඩය දුන්න පිරිමි කෙනාගේ නෙත් රැඳුණේ බස් එකේ. ඒ බස් එක ගියා. ඇයට අත වැණුව ඔහු පිටත් වුණා. ඒ ඔහුගේ නැවතුම ළඟට යන්නට.

‘පිවිතුරුය පළමු පෙම
බිහිසුණුය බිඳුණු දින
ළෙන්ගතුය සුවඳ ඔබ
සුදු හාමිනේ . . .
තනිකඩය තවම මම . . .

පද එකින් එක ලියැවුණා.

මේ කිව්වේ සුනිල් ආර්. ගමගේ. පද බැන්ද ගී පදවැල් කිහිපයක් සහ ඊට පසුබිම දුන්න සුන්දර මතකයන්.

ඇත්තටම ඒ අතීතය බොහොම සුන්දර මතකයන් ගැබ් වෙලා. අනන්තයි අප්‍රමාණයි. ඒ අතීතයේ සුවඳ අරගෙන ළඟදීම ඔබ හමුවට එන්න මම අදහස් කරනවා. එතෙක් සංගත තැටියේ ගීත රස විඳලා මාත් එක්ක ඔබත් ඒ අතීතයට පිය මනින්න.

ඔහු ආරාධනා කළා.

‘මේ සංයුක්ත තැටවිල නව සංගීත සංයෝජන ඇත්තේ නෑ. පෙර පුරුදු සංගීත ස්වරය සංයුක්ත තැටිවල අඩංගුයි.

ඔහු කිව්වා. සුනිල් ආර්. ගමගේ ගේ ගීත පුරාවත අහන්න පුළුවන් එතෙක්. ‘ඔබ පෙම් කරනා ගී’ සංගත තැටිය ළඟදීම ඔබට රස විඳින්න. කාලයකට පස්සේ අපූරු වැඩක්. සත්තයි ඔබට සිතේවි.