වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලි සිත්තම් රැසක් නව වසරේ නිවෙසට

ටෙලි සිත්තම් රැසක් නව වසරේ නිවෙසට

චංචල රේඛා, ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපට ඇසුරෙන් තැනූ ටෙලි නාට්‍ය ඒ අතරේ

සතුරු මිතුරු

වෙරෝනා

2013 නව වසර උදා වෙලා. අලුත් අවුරුද්ද උදා වන විට මේ වසර තුළදී සිදු කරන්නට නියමිත සියලු දේ පිළිබඳ ඔබ සැලසුම් සකස් කළේ වසර ආරම්භයටත් පෙර සිටමයි.

හැම දෙනෙක්ම අලුත් අවුරුද්ද භාර ගන්නේ අලුත් බලාපොරොත්තු සමඟින්. මේ හැම දේම සමඟින් කාර්යබහුල ඔබේ ජීවිතයේ ටෙලි නාට්‍ය වෙනුවෙන් කාලය වෙන් කරන්න ඔබ අමතක කරන්නේ නැති බව නම් විශ්වාසයි. දහසකුත් වැඩ මධ්‍යයේ වුවද ඔබ රූපවාහිනි යන්ත්‍රය ඉදිරියේ අසුන් ගන්නේ ඒ වෙනුවෙන්. උදා වූ මේ 2013 වසරේදී ඔබ හමුවන්නට ටෙලි සිත්තම් රැසක් පෙර මඟ බලන් ඉන්න වග නම් සරසවිය පාඨක ඔබට රහසක් නම් නොවන බව විශ්වාසයි.

විවිධ කතා තේමාවලින් යුතු ටෙලි නාට්‍ය රැසක් මේ වසරේදී ඔබට නැරැඹීමට අවස්ථාව ලැබෙනු ඇත. පුංචි තිරයෙන් රසබර හරබර කතා රැසක් ඔබට තිළිණ කළ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස් ඔබ වෙනුවෙන් වෙනස් කතා තේමාවක් රැගත් ටෙලි නාට්‍යයක් ගෙන එන්නට සූදානම්. ‘සතුරු මිතුරු’ විශ්‍රාම ලත් රේසිං කාර් ධාවකයන් දෙදෙනෙකුගේ පවුල් දෙකක් වටා ගෙතුන අපූරු ටෙලි නාට්‍යයක්.

රිය අනතුරක් සමඟින් සතුරු වූ මෙම පවුල් දෙක තුළින් ඇති වන ආදර කතාවක් සමඟින් ඉදිරියට ගලා යන කතාවක් මෙහි ඇතුළත්වේ. කමල් දේශප්‍රිය, ලකී ඩයස්, මොරින් චාරුණී, බිමල් ජයකොඩි, යශෝධා විමලධර්ම, විශ්ව ලංකා, හර්ෂ තෙන්නකෝන්, ප්‍රියා රණසිංහ, කාවිංග පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි, ලියෝනි කොතාවල, රුවන්ගි රත්නායක, වත්සලා දියලගොඩ, සුජීව ප්‍රියලාල්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, රෙබෙකා නිර්මලී, චින්තක වාස් මෙහි චරිත සඳහා පණ පොවති.

නොපසු බසිනා වීර්යයෙන් කටයුතු කරන තරුණ පිරිසකගේ උත්සාහයක් ගැන කියවෙන තවත් ටෙලි නාට්‍යක් ‘ඩස්ට්’. කලා අධ්‍යක්ෂවරයෙකු වූ සුජීව ගුණරත්නගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන ‘ඩස්ට්’ ටෙලි නාට්‍යයේ කතාව නාට්‍ය හා රංග කලාව හැදෑරීමට ගමේ සිට කොළඹට පැමිණෙන තරුණ පිරිසක් වටා ගෙතී ඇත. මෙහිදී ඔවුන් නාට්‍යයක් නිර්මාණය කරන්නට ගන්නා වීර්යය එහිදී පැන නැගෙන ගැටළු වගේම එම තරුණ පිරිස වටා සිදුවන විවිධ සිදුවීම්වලින් ඔවුන්ට අත්වන ඉරණම කියවෙයි.

රොෂාන් රවීන්ද්‍ර, අනුරුද්ධිකා පාදුක්කගේ, ජනක් ප්‍රේමලාල්, කළණ ගුණසේකර, සුමිත් රත්නායක, චලිත් මනුරංග, දිනක්ෂි ප්‍රියසාද්, ගංගා ජීවනි වැලිවත්ත, රොෂානා ඔන්ඩච්චි, අනූෂා දිසානායක, දීපාල් ගුණරත්න, සීතා කුමාරි, දයා වයමන්, තිලක් ජයකොඩි, වෙලේගෙදර රණසිංහ, මොහොමඩ් අල් රජාස්, නිමල් යටිවැල්ල, මනුෂ පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, සරත් දික්කුඹුර, චම්පික ප්‍රියදර්ශන, පද්මා මෙන්ඩිස්, ඉනෝකා දයානි ඇතුළු පිරිසක් මේ සඳහා දායක වෙති. ‘ඩස්ට්’ රොහාන් කුමාරසිංහගේ නිෂ්පාදනයකි.

අපේ සිනමාවේ විශේෂ වූ චිත්‍රපට කිහිපයකුත් ටෙලි නාට්‍ය ලෙස මේ වසරේදී ඔබේ ආලින්දයට එන්නට සූදානම්. ඒ අතර සිංහල සිනමා ඉතිහාසයේ 26 වැනි චිත්‍රපටය වූ ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටය ටෙලි නාට්‍යයක් ලෙස ඔබ ඉදිරියේ නුදුරේදීම දිග හැරෙනු ඇත. 1954 වසරේදී ඒ. බී. රාජ් විසින් අධ්‍යක්ෂණය කළ ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටය එස්. එම්. නායගම්ගේ නිෂ්පාදනයක්. ‘ලංකාරෙන් මලක් පිපි සැළෙන්නේ’, ‘ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි මරුව ළඟා වෙනවා’ අහංකාර ස්ත්‍රී චිත්‍රපටයෙන් එදත් අදත් ජනප්‍රිය ගීත දෙකක්.

එදා ක්ලැරිස් ද සිල්වා, හියුගෝ ප්‍රනාන්දු, රවීන්ද්‍ර රූපසේන, රෝහිනී ජයකොඩි ඇතුළු පිරිසක් අහංකාර ස්ත්‍රී චිත්‍රපටයට පණ දුන්නා. අද එය ටෙලි නාට්‍යයක් ලෙස එළි දකින්නේ එදා එහි ළමා නිළියක ලෙස රංගනයෙන් එකතු වූ වීණා ජයකොඩි අද ද චරිතයකට එකතුවීමෙනි. ඇයත් සමඟ ආනන්ද වික්‍රමගේ, ජනක් ප්‍රේමලාල්, උදිත් අබේරත්න, ශ්‍රියානි මහවත්ත, ප්‍රියන්ත මන්සිළු, ප්‍රසාද් ගලප්පත්ති, සුරන්දි සිල්වා, රූපසේන ලෝළුවාගොඩ, චාලි සේනානායක, නිලංගනී පෙරේරා, ගුණවර්ධන හෙට්ටිආරච්චි, අනෝජා වීරසේකර, නෙත්මි මිෂෙල්, නුවන් කළුආරච්චි, සුගත් ජානක රංගනයෙන් එකතුª වෙනවා. අහංකාර ස්ත්‍රී ටෙලි නාට්‍ය ඩෙන්සිල් ජයවීරගේ අධ්‍යක්ෂණයක්. ආචාර්ය සහීඩා හෙට්ටිආරච්චිගේ නිෂ්පාදනයක්.

සේන සමරසිංහ අධ්‍යක්ෂණය කළ ‘චංචල රේඛා’ චිත්‍රපටය අදටත් ජනප්‍රිය චිත්‍රපටයක්. ගාමිණී ෆොන්සේකා, නදීකා ගුණසේකර ප්‍රධාන භූමිකා රඟදැක් වූ චංචල රේඛා චිත්‍රපටයේ කතාව ලියවුණේ සෝමපාල ලීලානන්ද විසින්. සුනෙත් මාලිංග ලොකුහේවා විසින් අධ්‍යක්ෂණය කළ චංචල රේඛා ටෙලි නාට්‍යයේදී තිර රචනය ද ඔහුගේමයි. එදා ගාමිණී ෆොන්සේකාගේ චරිතයට අද ටෙලි නාට්‍යයේදී ගයාන් වික්‍රමතිලක පණ පොවන අතර නදීකා ගුණසේකර දායක වූ දං චූටිගේ චරිතයට අද පණ පොවන්නී දිනක්ෂි ප්‍රියසාද් විසිනි. ඔවුන් සමඟින් නදීකා ගුණසේකර, සාරංග දිසාසේකර, මුතු තරංගා, සරත් කොතලාවල, කාවිංග පෙරේරා, මේනකා මදුවන්ති, ක්ලීටස් මෙන්ඩිස්, ග්‍රේස් ආරියවිමල්, නිල්මිණි කෝට්ටේගොඩ, චින්තක පීරිස්, සඳනි විජේසිංහ, තාරක අධිකාරි, එරන්ද ලක්ෂාන් ඇතුළු පිරිසක් දායක වෙති. චංචල රේඛා නිෂ්පාදනය ආචාර්ය ජගත් විජේනායක සහ සිසිර කුමාරතුංග විසිනි.

චංචල රේඛා

ගිනි අවි සහ ගිනිකෙළි

ගිරිකුළ

අනුර හොරේෂස්ගේ ගිනි අවි සහ ගිනි කෙළි කෘති මාලාව ඇසුරින් සාරංග මෙන්ඩිස් නිර්මාණය කළ ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි නාට්‍යයත් ඉදිරියේදී නරඹන්නට අවස්ථාව ඔබට ලැබෙන්නට නියමිතයි. ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, පාලිත සිල්වා, ලකී ඩයස්, රෙක්ස් කොඩිප්පිලි, බුද්ධදාස විතානආරච්චි, සරත් කොතලාවල, නිරෝෂන් විජේසිංහ, කපිල සිගේරා, සහන් රන්වල, කුමාර තිරිමාදුර, ගාමිණී ජයලත්, විල්සන් කරු, සෝමසිරි අලකොලංග, සෝමවීර ගමගේ, හේමන්ත ඊරියගම, මිහිර සිරිතිලක, බුද්ධික ලොකුකැටිය, අජිත් නානායක්කාර, නිමන්ති පෝරගේ, ශිරෝමිකා ප්‍රනාන්දු, ඉන්දිකා සුබසිංහ, අශිකා මතසිංහ, සුරංගි රුවන්මාලි ඇතුළු පිරිසක් මෙහි චරිත සඳහා පණ පොවති.

අනුර හොරේෂස් විසින් රචිත පුවත්පත් ලිපි පෙළක් ඇසුරින් ගිනි අවි සහ ගිනි කෙළි කෘති පෙළ බිහි විය. පසුව මේ ඇසුරින් උදයකාන්ත වර්ණසූරිය විසින් ආන්දෝලනාත්මක චිත්‍රපටයක් ද නිර්මාණය කරන ලදී. සොඳුරු දඩබිම චිත්‍රපටයට පාදක වූයේ ද ගිනි අවි සහ ගිනි කෙළි කතාවේ කොටසක්ම වන අතර ඉදිරියේදී ටෙලි නාට්‍යයක් ලෙස එය පුංචි තිරයේ දිග හැරෙන්නට නියමිතව ඇත. ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි සිත්තම මහේන්ද්‍ර සිල්වා සහ චාමිකා මෙන්ඩිස්ගේ නිෂ්පාදනයකි.

මීට අමතරව තවත් සුන්දර දසුන් සමඟින් සොඳුරු කතාවක් පුංචි තිරයෙන් නුදුරේදීම ඔබ හමුවන්නට නියමිතයි. ආදරය, අනුකම්පාව, වෛරය, පළිගැනීම යන හැම දෙයක්ම ඇතුළත් මේ කතාව ‘වෙරෝනා’. ඉතාලිය, ශ්‍රී ලංකාව සහ ස්විස්ටර්ලන්තයේ සුන්දරත්වය සමඟින් දිග හැරෙන මේ ආදර කතාව ටෙලි සිත්තමකට නැගෙන වෙරෝනා හි අධ්‍යක්ෂණය රංගන ශිල්පිනී ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකා ශ්‍රියානි අමරසේන විසිනි.

රවින්ද්‍ර රන්දෙණිය, ශ්‍රියාණි අමරසේන, ඕෂධී හේවාමද්දුම, ජගත් චමිල, සාරංග දිසාසේකර, බුද්ධදාස විතානආරච්චි, ග්‍රේස් ආරියවිමල්, ප්‍රතිභා හෙට්ටිආරච්චි, උමයංගනා වික්‍රමසිංහ, අජිත් ලොකුගේ, සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනී ජයකොඩි, නිලන්ති ඩයස්, ඉන්දික ධර්මතිලක, නිලංගනි පෙරේරා සෝමසිරි කොළඹගේ, මලර් ආටිගල ඇතුළු පිරිසක් ‘වෙරෝනා’ හි රංගන දායකත්වය ලබා දෙති. වෙරෝනා නිෂ්පාදනය රොෂාන් ප්‍රනාන්දු (ඉතාලිය), චානක පෙරේරා, ඕෂධී හේවාමද්දුම විසිනි.

සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක් ඇසුරින් තැනූ ‘චායා’ ටෙලි සිත්තමත් ළඟදීම ඔබට රසවිඳීන්නට හැකි තවත් ටෙලි නාට්‍යයක්. මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පියෙකු වන විශ්වනාත් කොඩිකාර සමගින් මහේෂි මධුසංඛා ‘චායා’ හි ප්‍රධාන චරිත නිරූපණය කරති. සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන මෙම ටෙලි සිත්තමේ නිෂ්පාදනය දේශමාන්‍ය උපුල් ජයසිංහ විසිනි.

මීට අමතරව මෙගා ටෙලි නාට්‍ය රැල්ලෙන් බැහැරව පුංචි තිරයේ දිග හැරෙන්නට නියමිත නාට්‍යයක් ‘ගිරිකුල’. ස්වයංජාත, බැද්දෙගෙදර, වනවදුලේ වසන්තය වැනි සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ සුදත් රෝහණගේ නවතම ටෙලි සිත්තමයි ‘ගිරිකුල’. නවගත්තේගමදී මෙම ටෙලි නාට්‍යය රූ ගැන්වෙනවා.

උදා වූ 2013 අලුත් අවුරුද්දේ ඔබ ප්‍රිය කරන කලා තරු සමඟින් මෙම ටෙලි සිත්තම් නුදුරේදීම පුංචි තිරයෙන් ඔබේ ආලින්දයේදී දිග හැරෙනු ඇත.